කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිට වුණෙත් දේව බලයෙන් කැලේ රජකම ගන්න ගිය නරියට වුණ දේමයි

0
33


දඹුල්ල – කේ.කේ. ආරියදාස

වර්තමාන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයාට වී ඇත්තේ දේව බලයෙන් කැලේ රජකම  ගන්නට ගිය නරියාට වූ  දේම බව සියම් මහ නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහ නායක මෙන්ම රන්ගිරි රන්කෙත  කාබනික ගොවිපළේ නිර්මාතෘ දඹුල්ල කණ්ඩලම ශ්‍රී  සුමංගල ගොවි සංවිධානයේ සභාපති ඉනාමළුවේ ශ්‍රී  සුමංගල නාහිමියෝ පවසති.

චීන  කාබනික පොහොර නැව නැවත ගෙන ඒමට තමන් කටයුතු කරන බවට පසුගියදා පුවත්පත් මඟින් දැන ගැනීමට හැකි වූ බවත් ඒ අනුව මෙම පුවත අසා තමන් වහන්සේ විමතියට පත්වූයේ යැයි සඳහන් කළහ.

දඹුල්ල රන්ගිරි රන්කෙත  කාබනික ගොවිපළේ පැවිදි ගොවි සංවිධාන දැනුවත් කිරීමේ  වැඩසටහනක්  අතරතුර ශෂීන්ද්‍ර  රාජපක්ෂ  කෘෂිකර්ම අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් නාහිමියන්ගෙන් විමසීමේදී නිල් නරි කතාව ඊට ගැළපෙන  බව පැවැසූහ.  

නාහිමියෝ වැඩිදුරටත් මෙසේද පැවැසූහ. 

චීනයෙන් ගෙන්වන  කාබනික  පොහොරවල  මොනවද තියෙන්නේ කියලා නිසි ලෙස අවබෝධ කරගත යුතුයි. චීනයේ  අතිවිශාල ජනතාවක් ජීවත් වෙනවා. දිනකට විශාල  කැළිකසළ ප්‍රමාණයක් ඉවතලනවා. ඒක චීනයට මහා බාධාවක්.   ඒ අය ඉවත් කරන කැළිකසළ  විජලනය කරලා  කුඩු කරලා තමයි එවන්නේ.

මේවයෙ ක්‍ෂ්‍ර්ද්‍ර ජීවීන්, රසායනික ද්‍රව්‍ය ආදී රටට අහිතකර ශාක බීජ සහ හඳුනා නොගත් බොහෝ දේ පවතිනවා. මෙවැනි දේ නිසි කාබනික පොහොර කියන්නේ  මොනවාද යන්න තේරුමක් නැතිව රාජ්‍ය අමාත්‍යවරයා නොදන්නාකම පෙන්වනවද එහෙම නොමැති නම් රජය අපහසුතාවට පත් කිරීම සඳහා මේක කරනවද කියලා අපිට සැකයක් පවතිනවා.

ඩොලර් නැතිව විශාල අපහසුතාවකට පත්වෙලා ඉන්න අවස්ථාවක් තමයි පවතින්නේ. මේ ඇමැතිවරයා උද්ධච්චකමින් කියන්නේ චීන  පොහොර නැව නැවත ගේනවා කියලානෙ.

මේ අයට වෙන්නේ කැලේ හොරෙන් රජ වෙන්න ගිය නරියට වෙච්ච දේම තමයි.

දවසක් උදේ නරි රැළක් ‘හූ’ කියන්න පටන් ගත්තා. හූ හඬ ඇහුණු පාට වැටුණු  නරියත් එකවරම ‘හූ’ තිබ්බා. මුළු කැලේ ඔක්කොම දැන ගත්තා  දෙවියෙක් එවපු රජෙක් නෙවේ මේ නරියෙක් කියලා. 

මෙන්න මේ දේම තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. කිසිවක් නොදන්නා අය රජු වුණාම ඔවුන් දන්නා දේ නිකම්ම එළියට එනවා. මෙයා කට පියාගෙන හිටියා නම් හරි. නැත්නම් වෙන්නේ මේක තමයි. 

මේ පොහොර නැව ගේන්න මෙතරම් පොරකන්නේ ඇයිද කියලා ජනතාව දන්නවා. මේ මිනිස්සුන්ට නැවේ ආවේ මොනවද කියලා අවශ්‍ය නැහැ. තමන්ට ලැබෙන දේ විතරයි බලන්නේ.