කුලියාපිටියේ සමුපකාර ඡන්දයක් ගැටුමකින් කෙළවර වෙයි

0
16


කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් වන සුගත් රෝහණ අබේකෝන් මහතා සහ කමල් කීර්තිරත්න මහතා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි  සමන්ප්‍රිය හේරත් මහතාගේ ආරක්ෂක නිලධාරියා සහ තවත් ආධාරකරුවන් දෙදෙනක් නාරම්මල රෝහලේ ප්‍රතිකාර ලබති. කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි සුමිත් ස්වර්ණසිරි බණ්ඩාර මහතා සහ ඔහුගේ ආධාරකරුවන් තිදෙනකු කුලියාපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    සමුපකාර නිලවරණයේදී පොහොට්ටුව නියෝජනය කරමින් තරග වැදුණු පිරිස පරාජය කරමින් විවිධ පක්‍ෂවලින් සැදුම්ලත් කණ්ඩායමක් ජයගැනීමෙන් අනතුරුව ප්‍රචණ්ඩකාරී තත්ත්වය ඇතිවූ බව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිසගේ සුවදුක් බැලීමට පැමිණි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉ¾දුනිල් අමරසේන මහතා රෝහල් පරිශ්‍රයේදී මාධ්‍යට පැවැසීය.

 ඒ මහතා මෙසේද පැවැසීය.

“මේ රටට අත්කරලා තියන ඉරණමට ජනතාව ලබාදෙන ප්‍රතිචාර පිළිබඳව දේශපාලකයන් උපේක්‍ෂාවෙන් බලන් ඉන්න වෙනවා. ඡන්ද පැරදුණාම ප්‍රකෝපකාරීව හැසිරිලා හරියන්නෙ නැහැ. කොහොම නමුත් සාමාජික සංඛ්‍යාව 90ක් පමණ ඉන්න පිරිසෙන් අපිට සාමාජිකයන් 60කට වඩා ජය ගන්න ලැබුණා. ආසන සංවිධායක මන්ත්‍රි සමන්ප්‍රිය හේරත් මහත්තයාගෙ හෙංචයියො උදේ ඉඳලා බීමතින් ප්‍රාදේශික ගණනාවකටම පැනලා, බොහොම සාමකාමීව පැවැති මැතිවරණය පිස්සො වගේ පැනලා කෙලෙසන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ගුටිකාපු පිරිසක් බලන්න තමයි අපිත් ආවෙ. 

ගුටිකාපු එක කනගාටුවට කරුණක් වුණත් අපි ආඩම්බර වෙනවා. එහෙම තාඩන පීඩනවලට ගොදුරුවෙමින් හෝ සමුපකාර බලය ඒකාබද්ධ විපක්‍ෂයට ලබාදෙන්නට කටයුතු කිරීම සම්බන්ධව. ඒ මන්ත්‍රිවරයාගෙ හා ආරක්‍ෂක නිලධාරිවරයාගෙ පහරදීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරයකුත් අද රෝහල්ගතව ඉන්නවා. ජනතාව මේ ආණ්ඩුවට තියෙන විරෝධය සමුපකාරයෙ පටන් පෙන්වනවා. මොන මැරයො දාගෙන දැඟලුවත් ජනතා ප්‍රතිචාරය තමයි මේ. ඒ නිසා අපි නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වෙන අයුරු බලාගෙන ඉන්නවා.”

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ප්‍රිය හේරත් මහතා මෙසේ පැවැසීය. 

“ඊයේ පැවැති සමුපකාර නිලවරණයේදී නක්කාවත්ත අපි පරාජය වුණා. ඒ අවස්ථාවේදී එම ස්ථානය ආසන්නයේ 25කට අධික පිරිසක් හූ කියමින් හිටියා. එහි ප්‍රාදේශීය සභා මන්ත්‍රි සුමිත් බණ්ඩාර මහත්තයත් හිටියා. ඒ අවස්ථාවෙ මම වාහනේ එමින් සිටියදී ගල් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ අවස්ථාවෙ නාරම්මල පොලිස් ස්ථානාධිපතිවරයත් හිටියා.

 මමත් බැස්සා. ‘හූ’ කියමින් හිටි පිරිස මෙහෙයවා තිබෙන්නෙ සුමිත් මන්ත්‍රිවරයා බවත් අපේ පිරිස පැමිණියහොත් ගැටුමක් නිර්මාණය කිරීමට එතුමා සංවිධානය කළ බවත් අපිට ආරංචි වුණා. ඒ පිළිබඳ විමසන්න වාහනයෙන් බසින විටත් ගැටුමක් ඇති වුණා. ඒකෙ භයානක ප්‍රතිඵලයක් විදිහට අපේ මන්ත්‍රිවරුන් වගේම පෞද්ගලික ආරක්‍ෂක නිලධාරිවරයා ඇතුළු ආධාරකරුවන් නාරම්මල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. අපි පොලිසියෙන් ඉල්ලුවා මීට ආරක්‍ෂිත කැමරා දර්ශන ඇසුරු කර ගනිමින් මේ පිළිබඳ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් කරන්න කියලා. 

කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි සුමිත් ස්වර්ණසිරි බණ්ඩාර මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ නක්කාවත්ත සමුපකාරයට කාරක සභිකයන් තෝරාපත් කර ගැනීමේදී පොහොට්ටුවෙන් 16 දෙනකුත් නක්කාවත්ත ගමේ පොදු සංවිධානයක් ලෙස 16 දෙනකුත් ඉදිරිපත් වුණා. එයින් පොහොට්ටුවේ 16ම පරාජයට පත්වුණා. අපේ කණ්ඩායමේ 16ම දිනුවා. ඒකට තරහට තමයි සමන්ප්‍රිය මන්ත්‍රිතුමා ඇතුළු පිරිස අපිට පහර දුන්නෙ.

මේ පිළිබඳව නාරම්මල පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි රංජිත් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සිද්ධිය පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම පැමිණිලි ලැබී ඇති බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බවත් පැවැසීය.

කුලියාපිටිය – ශාඛ්‍ය ඉඳුවර,රඹාවැව – කේ.ඒ. ජයසූරිය