කරඳගහමඩ-තඹලකැටිය ගම්මානයේ සංවර්ධනය හීනයක් වෙලා

0
31


මීගහකිවුල – රුවන් කුමාර

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්   කරඳගහමඩ තඹලකැටිය මාර්ගය දැඩි සේ අබලන්ව ඇත.

මෙම ගම්මානය මෑත කාලයේදී කිසිදු සංවර්ධනයකට ලක් නොවූ දුෂ්කර ගම්මානයක් බවද ජනතාව පවසති. ප්‍රධාන මාර්ගයේ සිට ගම්මානය වෙත යෑමට ඇති  කිලෝමීටර් තුනක් පමණ වූ මාර්ගය අබලන් වීම මෙම ගම්වාසීන්ට ඇති ප්‍රධානතම ගැටලුව බව ගම්මු පවසති.

ගමට එන්නට ඇති මාර්ගය කැඩී බිඳී වළවල් හෑරී විනාශයට පත්ව ඇති අතර බොහෝ ස්ථානවල විශාල මඩ ගොහොරු ඉදිවී ඇතැයිද ජනතාව පවසති. මාර්ගය දෙපස ඇති කානු හෝ මාර්ගය හරහා ගලා යන ‍ෙදාළ පාරවල් හරහා පාලම් බෝක්කු ආදියද ඉදිකර නොමැත.මෙම තත්ත්වය මත සුළු වර්ෂාවකදී පවා මාර්ගය ජලයෙන් යට වන අතර ජලය බැස යන තුරු ජනතාවට මාර්ගයේ පසෙකට වී බලා සිටීමට සිදුව ඇතැයිද ගම්මු පවසති. මාර්ගයක් නොතිබීම නිසා ගමේ ප්‍රවාහන කටයුතු අඩාල වී ඇති අතර සැතපුම් තුනක් පමණ පා ගමනින් ප්‍රධාන මාර්ගයක් වෙත ඒමට ඔවුන්ට සිදුව ඇත. මෙම තත්ත්වය මත ගමේ කෘෂි නිෂ්පාදන නගරයට රැගෙන යෑමද, නගරයෙන් බඩු භාණ්ඩ ගම්මානය වෙත ගෙන ඒමද විශාල ගැටලුවක්ව ඇතැයි ගම්මු පවසති. මාර්ගය අබලන් වීම හේතුවෙන් කුලී රථ රියැදුරෝ සාමාන්‍ය ගාස්තුව මෙන් දෙතුන් ගුණයක ගාස්තුවක් අය කරන බවද ගම්මු පවසති.

මෙරට මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට වැඩි ප්‍රමුඛතාවක් ලබාදී ඇති වකවානුවක මෙම මාර්ගය මඟ හැර යෑම විශාල ගැටලුවක් බව ගම්මු පවසති. එසේ හෙයින් ඉදිරි සංවර්ධන ව්‍යාපෘතියක දී හෝ මෙම මාර්ගය ඉදි කර දෙන්නැයි තඹලකැටිය හා මාර්ගය දෙපස පිහිටි අනිත් ගම්මානවල ජනතාව රජයෙන් ඉල්ලති.