උඩරඹුක්කැටිය ගමේ අයට යන්න එන්න පාරක් නෑ

0
30


නිසි පාරක් නොමැතිවීමෙන් සමෘද්ධි දීමනාවෙන් හා කුලී වැඩ කිරීමෙන් ජීවත්වන පවුල් 30ක් පමණ විවිධ දුෂ්කරතා රැසකට මුහුණදී සිටිති. ගමේ දරුවන්ට පාසල් යෑම සඳහා දිනපතා කිලෝමීටර් 12ක පමණ දුරක් කඳු හෙල් තරණය කර පාසලකට යෑමට වී තිබේ. ගම්වැසියෝ ඒ පිළිබඳ මෙසේ අදහස් පළ කළහ.

ඩී.එම්. කරුණාසුන්දර මහතා: උඩරඹුක්කැටිය කියන්නේ රජවරු පවා ආවා ගිය ගමක්. ඒත් තාමත් ගමට පාරක් නැහැ. අවුරුදු ගාණකට පෙර ගමට පාරක් කැපුවා. ඒත් ඒකේ වැඩ අවසන් කළේ නැහැ. මේ වන විට පාර කැලේට යටවෙලා. අඩි පාරක් වගෙයි. මේ ගමේ සිට කන්ද බැහැගෙන හැතැප්ම පහක් විතර පයින් ගිහින් තමා බස් එකට නඟින්න ඕනෑ.

ඩී.එම්. දයාවතී මහත්මිය: 

අපිට ළඟම නගරය මීගහකිවුල. දුර හැතැප්ම 15කට වැඩියි. ගමේ ඉඳලා බෝගහතැන්න ගම දක්වා හැතැප්ම හතරක් විතර පයින් මේ කන්ද බැහැගෙන යන්න වෙනවා. එතැන ඉඳලා බස් එකකින් තමයි අපි ගමන් බිමන් යන්නේ. අපේ දරුවොත් උදේ සවස මේ කන්ද බැහැගෙන හැතැප්ම පහක් විතර ගෙවාගෙන කළුගහකදුර පාසලට යනවා ඉගෙන ගන්න.

ඩී.එම්. ජයසුන්දර මහතා: 

හැම අවුරුද්දෙම පාර හදනවා. හැබැයි වැස්ස ආවම හදපු පාර හෝදගෙන යනවා. තාමත් මේ පාර අඩි පාරක් වගෙයි. දිය කඳුරු හරහා බෝක්කු පාලම් නැහැ. වැස්ස කාලෙට පාර වතුරට යට වෙනවා.

ගමට වාහනයක් එන්නෙ නැති නිසා ගමේ මිනිස්සු බඩු මුට්ටු ඔළුවේ තියාගෙන බෝගහතැන්න හන්දියට පයින් යන්න ඕනෑ. නැත්නම් තවලම්වලින් තමා බඩු ගෙනියන්න වෙන්නේ. ගමේ කෙනෙක් ලෙඩ වුණොත් පුටුවක තියාගෙන උස්සගෙන තමයි යන්න වෙන්නේ.

ඩී.එම්. සිරියාවතී මහත්මිය: 

ගමේ ගස්කොළන්වල අඹ, කොස්, දෙල් හැදෙනවා. ඒත් ඵලදාව නගරයට ගෙනියන්න බැරිව ඒව ගස් යට වැටිලා විනාශ වෙනවා. කාලෙකට ඉස්සර මේ ගමේ හුඟ දෙනෙක් රස්සාවක් විදිහට කළේ කිතුල් මැදීමයි. ඒත් අලුත් පරම්පරාව ඒ රස්සාවට කැමැති නැහැ. ඒ ළමයි භාගෙට ඉගෙන ගෙන පාසල අතඇරලා කොළඹ පැත්තේ රස්සාවලට යනවා. 

ගම හරහා ‍ෙදාළ පාරවල් කීපයක්ම ගලා බහිනවා. ඒත් ගමේ බොහෝ දෙනකුට හරියට බොන්න වතුර ටිකක් නැහැ. බොන්නේ අපිරිසුදු වතුර. මේ ගමට පාරක් හදලා දෙන්න කියලා අපි ඉල්ලන්නේ අද ඊයේ ඉඳලා නොවෙයි. පාර හදලා දෙන්න කියලා කියන්න ඕනෑ හැමෝටම කියනවා. සල්ලි වෙන්වෙලා කියලත් බලධාරීන් කියනවා. හැබැයි පාර හදන පාටක් නෑ.

මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් දිසානායක: 

රජය මඟින් ක්‍රියාත්මක ගම්බද මාර්ග කිලෝමීටර් ලක්‍ෂයක් ඉදිකිරීමේ වැඩසටහන් යටතේ මෙම ගම්මානයේ ප්‍රවේශ මාර්ගය ඉදිකිරීම සඳහා විශාල මුදලක් මේ වන විට වෙන්කර තිබෙනවා. අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලැබී තිබෙනවා. නමුත් මේ වන තුරුත් මාර්ගය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකු ඉදිරිපත් වී නැහැ. ඒ හේතුවෙන් තමයි මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාද වී තිබෙන්නේ. කොන්ත්‍රාත්කරුවකු ඉදිරිපත් වූ වහාම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට  කටයුතු කරනවා. 

මීගහකිවුල – රුවන් කුමාර