ඉන්ධන හා ගෑස් හිඟය එළවළු මිලටත් බලපාලා

0
19


බොරලන්ද – සමන් නැඳුන්ගමුව

රටේ පවතින ඉන්ධන හා ගෑස් හිඟයේ බලපෑම උඩරට එළවළු වර්ගවල මිලටද බලපෑම් එල්ල කර ඇතැයි කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් මහින්ද ප්‍රේමසිරි ඒකනායක මහතා පැවැසීය.

එළවළු ප්‍රවාහන ලොරි රථ සඳහා ඉන්ධන ලබා ගැනීමේ ඇති අපහසුතාව සහ ගෑස් හිඟය නිසා ආපනශාලා බොහෝමයක් වසා තැබීම නිසා එළවළු ඉල්ලුම අඩුවීම නිසා මිල අඩුවීම වී ඇති බවත් ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වෙළෙන්දෝ පවසති.

කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් මහින්ද ප්‍රේමසිරි ඒකනායක මහතා මෙසේද පැවැසීය.

මේ වන විට කැප්පෙටිපොළ විශේෂිත ආර්ථක මධ්‍යස්ථානයට පැමිණෙන පිට පළාත් වෙළෙඳුන්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් අඩු වෙමින් පවතිනවා. ඔවුන් පවසන්නේ එක් ගමන් වාරයක් සඳහා ලොරි රථවලට අවශ්‍ය ඩීසල් ලබා ගැනීමට දින ගණන් පෝලිම්වල සිටීමට වී ඇති බවයි. මේ නිසා පිට පළාත්වල සිට පැමිණෙන වෙළෙඳුන්ගේ ප්‍රමාණය හොඳටම අඩුයි.

කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල තීරණය වන්නේ ඉල්ලුම අනුවයි. ඉල්ලුම අඩු නිසා මේ වන විට මිල පහත වැටිලා. ගෝවා කිලෝවක් මේ වන විට රුපියල් 30කට පමණ පහත වැටිලා. අනෙකුත් එළවළු වර්ගත් ඒ වගේ තමයි. මේ නිසා ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු විකුණා ගන්න අපට මහත් වෙහෙසක් දරන්න වෙලා. මේ හේතුවෙන් තමන් රැගෙන එන එළවළු තොග විකුණා ගන්න බැරිව ගොවීනුත් අන්ත අසරණයි. ඔවුන්ට දවස පුරා ආර්ථික මධ්‍යස්ථානයට වෙලා ඉන්න වෙලා. එළවළු ලොරි රථ සඳහා ඉන්ධන ලබා ගැනීමට යම් ක්‍රමවේදයක් සකසනවා නම් මේ ගැටලුව යම් තරමකින් හෝ විස¼දා ගත හැකියි.

කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග වෙළෙන්දකු වන මනෝජ් ප්‍රසංග (මංජු) මහතා, 

පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා රැසක් වහලා. නිවෙස්වලටත් ගෑස් නැහැ. මේ නිසා පාරිභෝගිකයනුත් ආපන ශාලාවලත් එළවළු ඉල්ලුම හොඳටම අඩුවෙලා කියලයි පිට පළාත්වලින් කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලට ගන්න එන වෙළෙඳුන් පවසන්නේ. පවතින පොහොර හිඟයෙනුත් බැට කෑ ගොවීන් ඉතා වෙහෙසක් දරා නොයෙක් දුක් ගැහැට විඳිමින් තමයි එළවළු වගා කළේ. දින ගණනක් පෝලිම්වල ඉඳලා ඩීසල් ටිකක් වාහනයකට ගහගෙන තම එළවළු අස්වැන්න විකුණාගන්න ආර්ථික මධ්‍යස්ථානයට අරන් එනවා. අස්වැන්නට හොඳ මිලක් ලැබුණේ නැත්නම් එසේත් නැත්නම් විකුණා ගන්න වෙළෙඳුන් නැති වුණොත් ගොවීන් අන්ත අසරණ වෙනවා. මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තිබුණට ඒවා මිලට ගන්න ප්‍රමාණවත් තරම් වෙළෙන්දෝ නැහැ. අපිත් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් ලෙස මේ ගැටලුවට මුහුණ පා ඉන්නවා.