ඇල්පිටිය රෝහලේ ගැටලු සම්බන්ධීකරණ කමිටුවේදී මතුවේ

0
29


ඇල්පිටිය – ගයාන් ගුණසේකර

ඇල්පිටිය මූලික රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟය නිසා රෝහලේ නේවාසික හා බාහිර රෝගීන්ට නිසි ප්‍රතිකාර ලබාදීමේදී ගැටලු මතුවී ඇතැයි ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය අතුල ක්‍රිශාන්ත මහතා පැවැසීය.

වෛද්‍ය අධිකාරිවරයා මේ බව පැවැසුවේ ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිනි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගිය 22දා මෙම රැස්වීම පැවැත්විණි.

එහිදී රෝහලේ අඩුපාඩු පිළිබඳව සභාපතිනිය කළ විමසීමේදී වැඩිදුරටත් කරුණු දැක්වූ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය අතුල ක්‍රිශාන්ත මහතා, ‘ඒ’ ශේ්‍රණියේ රෝහල් අතුරින් දැඩි සත්කාර ඒකකයක් (I.C.U.)  නොමැති එකම රෝහල ඇල්පිටිය මූලික රෝහලයි. මෙහි දැනට ශල්‍යාගාර දෙකක් තිබෙනවා. මේ දෙකේ හදිසි ප්‍රතිකාර කිරීමට වගේම සිහි නැති කිරීම් කරන වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරු 9 දෙනයි දැනට ඉන්නේ. ඒ සඳහා අඩුම තරමින් වෛද්‍යවරු 20ක් අවශ්‍යයි. මේ රෝහලට වෛද්‍යවරු 150ක් අවශ්‍ය වුණත් දැනට ඉන්නේ වෛද්‍යවරු 49ක් පමණයි. බළපිටිය රෝහලෙන් හා කරාපිටිය රෝහලෙන් එවන්නේ නැහැ. කරාපිටිය රෝහලේ දැනට වෛද්‍යවරුන්ගේ අතිරික්තයක් ඇතත් මේ ස්ථාන මාරුවීම් කළ අය එන්නේ නැහැ. නමුත් අපේ රෝහලෙන් ස්ථාන මාරුවීම් ලැබූ අය අප නිදහස් කර යවා තිබෙනවා.

මේ රෝහලේ එක් ශල්‍යාගාරයක් පසුගිය කාලයේ වෛද්‍යවරුන්ගේ හිඟය හා වෙනත් අඩුපාඩු නිසා වසා දමා තිබුණා. මේ නිසා හදිසි රෝගීන්ගේ සැත්කම් කරද්දී අනෙක් සැත්කම් සඳහා බලාසිටි රෝගීන් වෙනත් රෝහල් කරා යන තත්ත්වයක් උදාවී තිබුණා. මේ නිසා අප නැවතත් එම ශල්‍යාගාරයත් විවෘත කළා.

රෝහලේ පැවැත්වෙන සායන සඳහා වරකට රෝගීන් අටසියයක් පමණ පැමිණෙනවා. නමුත් ඒ සඳහා ඉන්නේ වෛද්‍යවරුන් හතර දෙනයි. මෙම අසීරුතා මැද වුණත් ඇල්පිටිය මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයක් ආරම්භ කිරීමට අප කටයුතු යොදා තිබෙනවා. මේ රෝහල සඳහා අඩුම තරමින් තව වෛද්‍යවරු විස්සක්වත් ලැබෙනවා නම් අපහසුතාවකින් තොරව මේ රෝහලේ ප්‍රතිකාර කටයුතු කරගෙන යා හැකියි.

වෛද්‍යවරු බෙදීයෑමේ විෂමතාවක් තිබෙනවා. මීට එක් හේතුවක් වෙලා තිබෙන්නේ මේ ප්‍රදේශවල තිබෙන පහසුකම්වල අඩුපාඩුයි. හොඳ පාසල් නැවතීමේ පහසුකම් ආදිය ගැන හිතල සමහරු වෛද්‍යවරු මෙහාට එන්නේ නැහැ. මේ රෝහලට පැමිණෙන වෛද්‍ය අධිකාරිවරුන් ඉන්නේ ඉතාම කෙටි කාලයයි. මාරුවී යනවා. මහජන නියෝජිතයන් කිහිප දෙනකු මෙහිදී චෝදනා කළ අතර ඒ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය අධිකාරිවරයා පරිපාලන උපාධිය සමත් වූ වෛද්‍යවරුන් අවුරුදු හයක් බලා ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරු 72ක් ඉන්නවා පත්වීම් නොලැබ. ඒ අයට ලොකු අසාධාරණයක් වී තිබෙනවා. එසේම මෙම රෝහලට එන වෛද්‍ය අධිකාරිවරුන්ට ස්ථිර වෛද්‍ය අධිකාරිවරයකු ලෙස ස්ථිර පත්වීම් නොලැබීම ඇතුළු හේතු ගණනාවක් මීට හේතුවී තිබෙනවා.

මෙහිදී මහජන නියෝජිතයකු පවසා සිටියේ මෙම රෝහලේ වෛද්‍ය අධිකාරිවරුන් සඳහා පහසුකම් සහිත නිල නිවාසයක් නොමැති බවය. මේ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු විමසීමෙන් අනතුරුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ මේ සියලු කරුණු මීළඟ දිස්ත්‍රික් කමිටුවට තමන් ඉදිරිපත් කරන බවය.