ආණ්ඩුව ගෙදර යවන ගොවි සටන හෙට අරඹනවා

0
17


අනුරාධා හේරත්

ආණ්ඩු හැදූ, ආණ්ඩු කැඩූ, ආණ්ඩු සම්බන්ධ තීන්දු ගත්, ගොවීන්ගේ ආණ්ඩුව ගෙදර යවන දැවැන්ත සටන හෙට (29දා) පොළොන්නරුවෙන් අරඹන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික නාමල් කරුණාරත්න ‘මව්බිම’ට පැවැසීය.

මෙපමණ කලක් ගොවීන් පොහොර, වගා වන්දි සහ අනෙකුත් සහන ඉල්ලූ නමුත් හෙට (29දා) ගෙන එන්නේ ආණ්ඩුව වහාම ගෙදර යන්නැයි කරන සංඥාව බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුව ගෙදර යවන මෙම දැවැන්ත පෙළපාළිය පොළොන්නරුව වකුගඩු රෝහල අසලින් ආරම්භ කර පස්වරු 2.00ට පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසලදී රැලියක් පවත්වන බවත්, එහිදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ගොවියන් අමතන බවත් කරුණාරත්න මහතා කීය.

රටේ වැඩිම ඡන්දදායකයන් පිරිසක් නියෝජනය කරන්නේ ගොවීන් වන අතර ආණ්ඩු සම්බන්ධ තීරණ ගැනීමට ඔවුන්ට ඉතා වැඩි බලයක් පවතින බව ආණ්ඩුව අවබෝධ කරගත යුතු යැයිද නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය.

වී, එළවළු, පලතුරු ඇතුළු සියලුම දෑ වගා කරන ගොවීන් කැඳවනවා සේම ගොවි සටනට සම්පූර්ණ සහාය දීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් බවත්  ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

තවදුරටත් ආණ්ඩුවට ගොවියන් වෙනුවෙන් කිසිවක් කළ නොහැකි බැවින් ආණ්ඩුව වහාම සිහසුනෙන් බැසීමට සූදානම් වන ලෙස හෙතෙම වැඩිදුරටත් පැවැසීය.