අලුත් අය හොයන්න

0
63


මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. ජනතාව මම වුණත් මගේ ආණ්ඩුවේ ඇමැතිවරු වුවත් මන්ත්‍රිවරු වුවත් ඔබ බලාපොරොත්තු වූ දේ ඉටු නොකළොත් පරණ කණ්ඩායමක් හොයන්න එපා. අලුත් අය හොයන්න.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මේ කතාව කීවේ ඉකුත් වසරේ නොවැම්බර් මස 16දා අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. 2015 – 2019 ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් 106ක් හිමි කරගෙන සිටි එක්සත් ජාතික පක්‍ෂය මුළුමනින්ම පරාජය කොට එක් ජාතික ලැයිස්තු අසුනක් පමණක් පක්‍ෂ නායකයාට ලැබෙන තැනට ජනතාව ඡන්දය පාවිච්චි කළේ අලුත් අය හොයා ගන්නටය. ජනාධිපති ගෝඨාභය දේශපාලනයට අලුත්ය. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගෙන් වැඩි පිරිසක් අලුත්ය. එහෙත් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුවී තිබේද? යහපාලන යුගයේ පැවතුණාටත් වඩා බරපතළ ආර්ථික අගාධයකට රට ඇද වැටී තිබේ. ජනතාව අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටිති. ජනාධිපති කළ ඉල්ලීම ඉටු කරන්නට අවස්ථාව පැමිණ ඇතත් එය ක්‍ෂණිකව කළ හැකිද?

ආණ්ඩුවේම හවුල්කාර පක්‍ෂ 11ක් වෙනම කණ්ඩායමක් ලෙස පෙළ ගැසී දැන් අලුත් ජනතා බල ප්‍රවාහයකට නායකත්වය දෙන්නට පෙරුම් පුරමින් සිටී. ඉකුත් 24දා මුළු රට හරිමඟට ජාතික වැඩපිළිවෙළ සම්බන්ධව අතිගරු මහ නාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා පක්‍ෂ එකොළහේ කණ්ඩායම මහනුවරට ගියේය. කණ්ඩායමේ අරමුණු සම්බන්ධව අවධානය යොමු කළ මහ නාහිමිවරුන් ප්‍රකාශ කළේ රට මුහුණ දෙමින් සිටින අර්බුදවලින් නිදහස් කර ගැනීම රටට ආදරය කරන කාගෙ කාගෙත් වගකීමක් බවය.

රජය සිදුකරන ඇතැම් කටයුතුවල විනිවිදභාවයක් පෙනෙන්නට නොමැතිවීම ගැටලුකාරී තත්ත්වයක් බව මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පැවැසූහ. කිසි කලෙක නොවූ විරූ ආකාරයෙන් ජනතාව දැඩි පීඩනයට ලක්ව සිටින මේ අවස්ථාවේ රජය හා සියලු පක්‍ෂ ඒ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කිරීම වැදගත් බවද උන්වහන්සේ අවධාරණය කළහ.

අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් ප්‍රකාශ කළේ රටක පාලකයන් සියලුදේට ප්‍රථමයෙන් රට ගැන සිතිය යුතු බවය. මේ රටේ ජනතාවට ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මෙහෙම ගියොත් රට විකුණයිද කියන සැකය ජනතාවට මතුවී ඇති බවත් උන්වහන්සේ පැවැසූහ. මහ නාහිමිවරුන් පක්‍ෂ එකොළහේ නියෝජිතයන් හමුවේ පැවැසුවේ වර්තමානයේ මේ රට බරපතළ අර්බුද රැසකට මුහුණ දී සිටින බවය. එහෙත් රටේ පාලක පිරිස මේ තීරණාත්මක මොහොතේ කටයුතු කරමින් සිටින්නේ ළිප ගිනි අවුළුවන තෙක් හැළියේ දිය කෙළිමින් සිටින කකුළුවන්ගේ නැටිල්ල හා සමානවය. වතුර ගොජ ගොජ ගා නටන්නට පටන්ගත් විට සියල්ල හමාරය.

විමල් වීරවංශලා නොව ගෝඨාභයලා, මහින්දලා මහ නායක මාහිමිවරුන් බැහැදකින්නට ගියත් රට බරපතළ විපතකට වැටී ඇති බව උන්වහන්සේලා පවසනු ඇත. ඒ දේශපාලනික මැදිහත්වීමක් නොව, අත්‍යවශ්‍ය යුග කාර්යභාරයකට දායක වීමකි. ජාතික අර්බුද අවස්ථාවලදී රට එයින් මුදා ගන්නට මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා, මඟ පෙන්වීම අවශ්‍යමය.

පරණ කණ්ඩායමක් හොයන්න එපා අලුත් අය හොයන්න කියා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කීවේ අර්බුදය අද තරම් මෝරා වැඩී නොතිබුණු ඉකුත් වසරේය. එහෙත් එසමයෙහි වුවද අනාගත අර්බුදයක අඳුරු සෙවණැලි දසතින් දිස්වෙමින් තිබිණ. කොවිඩ් වසංගතය විසින් සියල්ල යටපත් කොට තිබූ හෙයින් පාලකයන් කටයුතු කළේ සියල්ල සැණෙකින් විසඳන්නට තමන්ට අයෝමය ශක්තියක් ඇතැයි සිතමිනි. එහෙත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද? බරපතළ විදේශ විනිමය හිඟයකට මුහුණ දෙන්නට සිදුවී තිබේ. නැව් ඇවිත් තිබෙන බව කීවත් ගෑස් පෝලිම්, තෙල් පෝලිම්වල අඩුවක් නැත. උහුලනු බැරි තරමට බඩු මිල ඉහළ ගොසිනි. විදුලිය කපන්නේ නැති බවට පාරම්බාමින් සිටි අමාත්‍ය ලොකුගේ දැන් කියන්නේ තාක්‍ෂණික හේතු පාලනය කරන්නට අපොහොසත් වී ඇති බවය. අමාත්‍යවරයාට තාක්‍ෂණික හේතු පෙනෙන්නේ දැන්ය. කීයටවත් අයි. එම්. එෆ්. යන්නේ නැතැයි කිය කියා සිටි අයත් දැන් ඒ ගැන ඕනෑවටත් වඩා වධ විඳින්නට පටන්ගෙනය.

විමල් වීරවංශට, උදය ගම්මන්පිලට දැන් ආණ්ඩුවේ ඇමැතිකම් නැත. වාසුගේ ඇමැතිකමත් ෂුවර් නැති බව ඔහු පාර්ලිමේන්තුවේදී කියයි. මහ නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබන්නට ගිය විමල් වීරවංශ මාධ්‍ය හමුවෙහි ප්‍රකාශ කළේ ආණ්ඩුවේ බහුතරය නැති කරන්නට දැන් පියවර ගනිමින් සිටින බවය. බහුතරය කෙසේ වෙතත් ඇතැම් මැති ඇමැතිලාගේ උද්ධච්චභාවය හෝ සිඳ බිඳලන්නට කවුරුන් හෝ ඉදිරිපත් විය යුතුව ඇති මොහොතකි.

විමල් කියන්නේ මේ වනවිට රටේ අහසින් කොටසක් ඉන්දියාවට විකුණා ඇති බවය. අහස විකිණිය හැකි නම් පොළොව ගැන කියනු කවරේද? ඉතිහාසයේ ඉන්දියාව අප රට සමඟ කළ ගනුදෙනු ගැන යළි යළිත් සිතා බලන්නට කාලයයි මේ. 1987 වසරේ ජුනි මස 04දා සවස 3.15ට ගුවනින් අප රටට පරිප්පු ඇතුළු සහනාධාර දැමීමෙන් කළ බලහත්කාරකම රට අඳුරු අගාධයකට ඇද දැමීමේ ඛේදවාචකයක සමාරම්භයක් වූ සැටි අමතක කළ යුතු නැත. රටම අඳුරේ තබා 1987 වර්ෂයේ ජූලි මස 29දා අස්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසු එළඹුණේ යක්‍ෂයාගේ හෝරාවය. මේ රට ආයෙත් ගෙන යා යුත්තේ කොතනටද? ආණ්ඩුවකට සීමාන්තික බලයක් ලබාදීමෙන් සිදුවන විනාශය ගැන කල්පසුවී හෝ යළි සලකා බැලීම ප්‍රඥාගෝචරය.

රාජ්‍ය බලයේ උල්පත මෙන්ම හිමිකරුවන් වන්නේ මහජනතාවය. මෙහි ලිබරල් දේශපාලන න්‍යායෙහි පදනමය. ඒ අනුව ආණ්ඩු බලය පාරම්පරික උරුමයක් නොව භාරකාර බලයකි. මහජනතාව ඒ බලය කොන්දේසි විරහිතව තමන්ගේම නියෝජිත පිරිසකට භාරදී තිබේ. ඒ තමන්ගේ අපේක්‍ෂා ඉටුවනු දැකීමටය. එය එසේ නොවුණු කල කළ යුත්තේ කුමක්ද? ප්‍රජාතන්ත්‍රීය පාලනයක් ක්‍රියාත්මක වන රටවල ඒ වෙනුවෙන් පෙළ ගැසීමේ, සංවිධානය වීමේ ඉඩ ප්‍රස්තාව, අයිතිය සමස්ත පුරවැසියන්ට හිමිය. එම පුරවැසි අයිතිවාසිකමට ද්‍රෝහිකම් කිරීමට අත්තනෝමතික පාලකයන්ට ඉඩ නොතැබිය යුතුය.

දැන් සැපද? දැන් සතුටුද? යනාදී ප්‍රශ්නවලින් උසුළු විසුළු කරන දේශපාලනය අවසන් කළ යුතුව තිබේ. ආණ්ඩුවේ හොඳ හිත පලුදුවේය යන භීතියෙන් අරපරිස්සමින් වචන, ප්‍රකාශ පළ කරන කයිවාරු දේශපාලනයට වහා තිත තැබිය යුතුව තිබේ. පාලක පක්‍ෂයට බහුතර බලයෙන් උදම්ව තවදුරටත් පිස්සු කෙළ කෙළ වැජඹෙන්නට ඉඩ නොතැබිය යුතුය. ආණ්ඩුවේම හවුල්කාර පක්‍ෂ එකමුතුව කාලීනව වැදගත් වන්නේ ඒ අර්ථයෙනි. අතිගරු මහ නායක මාහිමිවරුන්ගේ ගෞරවනීය අනුශාසනය රටට අවශ්‍ය වන්නේද මෙවැනි මොහොතකය.