අධිකරණ නියෝගය කඩකර මෙහෙණි ආරාම ඉඩමට ඇතුළු වූ පුද්ගලයා දින 14ක් රිමාන්ඩ්

0
34


කැලණිය – කුසුම් එස්. හැන්නදි

මෙහෙණි ආරාමයක් පවත්වාගෙන ගිය නිරවුල් ඔප්පු සහිත ඉඩමකට කුමන හේතුවක් මත හෝ ඇතුළු නොවන ලෙස මහර මහෙස්ත්‍රාත් අධිකරණය පැනවූ නියෝගය කඩ කළ කැලණිය එම්. ඒ. පෙරේරා මාවතේ පදිංචි පුද්ගලයකු දින දාහතරක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර අංක දෙක අධිකරණයේ මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා 24 වැනිදා නියෝග කළේය.

පසුගිය 23 වැනිදා කැලණියේ සුමංගලා ධර්ම ශ්‍රී හේමමාලී භික්‍ෂුණින් වහන්සේ කැලණිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසියේ දැනුවත් කිරීමට අනුව සැකකරු එදින අධිකරණය හමුවේ පෙනී සිට ඇත. යෝජිත ඉඩම මීට වසර තිස්පහකට පමණ පෙර කතෝලික බැතිමත් පවුලක් කුඩා කල පැවිදි වූ මෙම මෙහෙණින් වහන්සේට ආරාමයක් සාදා ගැනීම සඳහා පූජා කර ඇත.

එම ස්ථානයේ මීට පෙර භික්‍ෂුණින් වහන්සේලා පිරිසක් ආරාමයක් සාදාගෙන පදිංචිව සිට ඇති අතර ඉහත සඳහන් සැකකරු විසින් යකඩ පොල්ලකින් පහර දීමෙන් සුෂුම්නාව බිඳීයෑම නිසා හේමමාලී භික්‍ෂුණිය වෙනත් ආරාමයකට ගොස් ඇත. එම භික්‍ෂුණින් වහන්සේට ඉඩමේ හිමිකම පිළිබඳව නීත්‍යනුකූල නිරවුල් ඔප්පුවක් ඇති බව උන්වහන්සේ වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ විශ්‍රාමික විනිසුරු නීතිඥ කුමාර ඒකරත්න මහතා කරුණු අනාවරණය කළේය.

විත්තිකරුගේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉඩම නීත්‍යනුකූල එකක් නොව රජයේ ඉඩමක් යැයි පැවැසූ අතර සත්‍ය සොයා නොබලා තම සේවාදායකයා කියූ පමණින් අධිකරණයට අසත්‍ය ප්‍රකාශ නොකරන ලෙස විනිසුරු කේමින් ද පෙරේරා මහතා විත්තියේ නීතිඥවරියට තදින්ම අවවාද කරමින් සැකකරු අප්‍රේල් මස 7 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

කැලණිය පොලිසිය පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළේය.