අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි පැමිණි විගස විශේෂ මාධ්‍ය හමුවක්

0
34


සවනි ශේශාධි 

වතිකානය බලා පිටත්ව ගිය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉදිරි දින කිහිපයේදී දිවයිනට පැමිණීමට නියමිත බව කතෝලික සභාවේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට පැවැසීය. 

අගරදගුරු හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගියේ පසුගිය පෙබරවාරි 22 වැනිදා රාත්‍රියේදීය. උන්වහන්සේ මෙරටට පැමිණි පසු එම සංචාරයේදී හමුවූ විදේශීය නියෝජිතයන් හා එළැඹුණු තීරණ පිළිබඳවත්, වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමේ ඉදිරි යාන්ත්‍රණය පිළිබඳවත් සියලු දෙනා දැනුවත් කිරීමට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සැලසුම් කොට ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.  

මසකට අධික කාලයක් රෝමයේ වතිකානය ඇතුළු නගර කිහිපයක කළ සංචාරයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, වතිකානුවේ රාජ්‍ය ලේකම් පීත්‍රෝ පැරොලින් හිමිපාණන් හා එරට ඉහළ පෙළේ කාදිනල් හිමිවරුන් කිහිපදෙනකු සමඟ මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ ඇතුළු පිරිසක්ද හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි එම ප්‍රකාශකයා පැවැසීය. 

පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ මෙතෙක් දේශීය වශයෙන් කර ඇති විමර්ශන, ඒ පිළිබඳව ගෙන ඇති පියවර හා වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමට කතෝලික සභාව අනුගමනය කළ ක්‍රියාමාර්ග ගැන මෙහිදී සාකච්ඡාවට බ¾දුන් වූ බවද හෙතෙම කීය.

පාස්කු ප්‍රහාරයට වසර තුනක් සපිරෙනදා රටපුරා විශේෂ යැදුම් මෙහෙයන් පැවැත්වීමට කතෝලික සභාව තීරණය කොට ඇති බව වාර්තා වුවද මේ වනතුරු පාස්කු ප්‍රහාරයේ තුන්වැනි සමරුව වෙනුවෙන් කරන අනෙකුත් වැඩපිළිවෙළ පිළිබඳව නිශ්චිත තීරණයකට එළැඹ නැතැයි වාර්තා වේ. 

කාදිනල් හිමියන් මෙරටට පැමිණි පසු කතෝලික සභා සාමාජිකයන් එක්ව සාකච්ඡා කොට තුන් වැනි වර්ෂ පූර්ණ සැමරුම කෙසේ කළ යුතුද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළැඹෙන බවද එම ප්‍රකාශකයා කීය.

මෙවර පාස්කු ඉරිදා දිනය යෙදෙන අප්‍රේල් දාහත් වැනිදා සුපුරුදු අයුරින් පාස්කු ඉරු දින දේව මෙහෙයන් පැවැත්වෙන බවද ඒ හා සමගාමීව පාස්කු ප්‍රහාරයට වසර තුනක් සපිරෙන අප්‍රේල් 21දා විශේෂ යැදුම් මෙහෙයන්ද පැවැත්වෙන බවද එම ප්‍රකාශකයා පැවසීය.