0
23


මේ දවස්වල රූගත කිරීම් එක්ක කාර්යබහුල වෙලාද ඉන්නේ? 

ටෙලි නාට්‍යය කිහිපයකම වැඩකටයුතු නිසා ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා. මේ දවස්වල පණ්ඩු, බ්ලැක්පූල්, පාර වසා ඇත කියන ටෙලි නිර්මාණවල වැඩකටයුතු කරගෙන යනවා. 

වේදිකාව තුළින් ලැබූ පන්නරය, රූප මාධ්‍යට පිවිසීමේදී කොයිතරම් දුරට බලපෑම් සහගත වුණාද? 

වේදිකා රංගනයේ සහ සිනමාව, ටෙලි නාට්‍යය රංගනය අතර වෙනසක් තියෙනවා. මම හිතන්නේ ඒ වෙනස එක එක්කෙනාට දැනෙන විධිය වෙනස්. මම රූප මාධ්‍යට පිවිසෙන කාලය වෙද්දී වේදිකා රංගනය තුළින් බොහෝ දේවල් ඉගෙනගෙන තිබුණා. සම්මානයට පාත්‍ර වුණු අවස්ථා තිබුණා. වේදිකාව තුළින් ලද අත්දැකීම් නිසාම කැමරාව ඉස්සරහා රඟපාන එක මට ලොකු අභියෝගයක් වුණේ නැහැ.  

තමන්ගේ ජීවිතයට සමීප යැයි හැඟුණු ඔබ වඩාත් ආස කළ නිර්මාණයක් හෝ චරිතයක් තියෙනවද? 

මම සාමාන්‍යයෙන් බාරගන්නා හැම චරිතයක්ම බොහොම ආසාවෙන් කැපවීමෙන් කරන කෙනෙක්. ජීවිත අත්දැකීම්වලට සම්බන්ධ හෝ සමීප දෙයක් නොවුණත් මගේ රංගන ජීවිතය තුළ වෙනසක් කරන්නට හැකි වුණු ප්‍රේක්ෂක ආදරය බොහෝ සේ ලැබුණු චරිත කිහිපයක්ම තියෙනවා. මුතු වරුසා, නෑනලා, බ්ලැක්පූල් යන නිර්මාණවල මම රංගනයෙන් දායක වූ චරිත මට තරමක් සමීප බවක් තිබුණා. වෙනසක් කරන්න ලැබුණු නිර්මාණ කියලත් හ¾දුන්වන්න පුළුවන්. තව එක දෙයක් සඳහන් කළ යුතුයි. ‘ඉගිලෙන මාළුවෝ’ නිර්මාණය සඳහා වූ තහනම ඉවත් වෙලා එය තිරගත වීමට නියමිතයි. එහි අභියෝගාත්මක චරිතයක් සඳහා මම දායක වුණා. ඒක ලොකු සතුටක්. බොහොම කැපවීමෙන් කළ නිර්මාණයක්. ඒක වෙනමම කතා කළ යුතු මාතෘකාවක්.  

වේදිකා රංගනය සාර්ථකව සිදු කිරීමට භෞතිකව ලොකු වෙහෙසක් දරන්න වෙනවා. ඒ සඳහා කායිකව වගේම හඬ පුහුණුවක් අවශ්‍ය වෙනවා නේද? 

මෙහෙමයි. වේදිකා රංගනයක් සඳහා අපට ලොකු කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි ප්‍රධානම දේ. නිර්මාණයේ සාර්ථකත්වය රඳා පවතින්නේ රංගන ශිල්පීන්ගේ කැපවීම සහ පුහුණු කාලය මත. වේදිකාව තුළ පමණක් නෙමෙයි ටෙලි නිර්මාණවල වගේම සිනමාව තුළත් රංගන ශිල්පීන්ට ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා. අපි හිතමු රජ කාලේ කතා පුවතක් ටෙලි නිර්මාණයක් විධියට එළියට එනවා කියලා. ඒ සඳහා විශේෂ වූ ඇ¾දුම්, ආභරණ ආදිය ඇඳ පැලඳ ගෙන ඒ ඒ කටයුතුවල නිරත වෙන්නත් ලොකු පරිශ්‍රමයක් දරන්න වෙනවා. වේදිකාව තුළ වගේම පුංචි තිරය තුළත් වැඩ කරපු කෙනෙක් විධියට මම හිතන්නේ ඕනෑම නිර්මාණයක සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙස විය යුතුයි. නමුත් වෙහෙස වීමේ සහ වෙහෙස විය යුතු ප්‍රමාණය රංගන ශිල්පියාගේ පරිචය මත තීරණය වෙනවා. 

කලාව තුළ වෙනසක් කළ හැකි පෙරළිකාර නවකයන්  ක්ෂේත්‍රය තුළ සිටිනවාද? 

අලුත් විධියට හිතන අලුත් දෙයක් කරන්න උත්සාහ කරන නවක පරපුරේ අධ්‍යක්ෂවරයෙක් මට මුණගැහුණා. ඔහුගේ නම නිලංක නිසලාංජල්. ඔහු සමඟ වැඩ කරන්න මට අවස්ථාව නොලැබුණත් මම ඔහුගේ වැඩ දැකලා තියෙනවා. මම ඔහුව තරුණ අධ්‍යක්ෂවරයෙක් විධියට හ¾දුනාගත් පළමු දවසෙම මට මතක් වුණේ මගේ තරුණ කාලය. ඒකට හේතුව තමයි තරුණ කාලය කියන්නේ ගැහැනු පිරිමි භේදයක් නැතිවම අලුත් දේවල් කරන්න උත්සාහ කරන සීමා මායිම් බිඳදමාගෙන ඉස්සරහට යන්න පුළුවන් අමුතුම ජවයක් හිතට එන කාල සීමාවක්. මම ඒක ඔහුත්, ඔහුගේ නිර්මාණවලට සම්බන්ධ වෙන පිරිසවත් දකිනවා. මම හිතන්නේ මේ වගේ පිරිස් තව ඕනෑ තරම් ඇති. ඔවුන් කලාවට හොඳ බලපෑමක් සිදු කරාවි.

සමාජ මාධ්‍යයන් හරහා කලාවට පිවිසෙන්න නව ‍ෙදාරටුවක් බිහිවීම තුළින් නවක පරපුරට අලුත් අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. මේ ගැන ඔබේ අදහස? 

මම හිතන්නේ මට මාවවත් කලාකරුවෙක් ලෙස අර්ථදක්වන්න බැහැ. අපි තව දේවල් ඉගෙනගත යුතුයි. තව තව දේවල් අත්හදා බැලිය යුතුයි. අපි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන කාලේ අද වගේ අවස්ථාවන් තිබුණේ නැහැ. කලාවට සම්බන්ධ වෙන්න තිබුණු සුදුසුම මාර්ගය වුණේ වේදිකාව. ඒ හරහා දැඩි පුහුණුවක් සමඟ බොහෝ දෙනෙක් කලාවට ප්‍රවිෂ්ට වුණා. රූප මාධ්‍ය ප්‍රචලිත වීමත් එක්ක තවත් ‍ෙදාරටුවක් විවර වුණා. මේ වෙද්දී සාමාජ මාධ්‍ය සංකල්පය කරළියට ඇවිත් තියෙනවා. අපේ රටේ දක්ෂ දරුවන් වෙනුවෙන් මේ වගේ වේදිකාවක් බිහි වෙන එක හොඳයි. ඒ හරහා බිහි වෙන නවකයන්ව අපිට බැහැර කරන්න බැහැ. අවර ගණයේ නිර්මාණ වගේම බොහොම නිර්මාණශීලී දේවල් කරන දරුවෝ මේ සමාජ මාධ්‍ය හරහා බිහි වෙලා තිබෙනවා. ඒක අගය කළ යුතුයි. 

රංගන ශිල්පීන්ව ආයාසයකින් තොරවම එකම රාමුවකට කොටු වීම පිළිබඳව සහ එම අත්දැකීම අත්විඳි කලාකාරිනියක් විධියට මේ කාරණය ඔබ දකින්නේ කොහොමද? 

එකම ආරයේ චරිතයන් සඳහා ආරාධනා ලැබෙන එකනම් ඇත්තටම මොකක් නිසාද වෙන්නේ කියලා හිතාගන්න අමාරුයි. යම් චරිතයක් අපි හොඳටම කළොත් ඒ වගේම චරිතවලටමයි ආරාධනා ලැබෙන්නේ. මමත් කාලයකට කලින් මේ තත්ත්වයට මුහුණ දුන්නා. එක් තැනකදී මමම ඒ සීමාව අයින් කර ගත්තා. ආරාධනා ලැබුණු නිර්මාණ ප්‍රතික්ෂේප කළා. ඒ වගේම ඔවුන්ට මම පහදලා දුන්නා. නමුත් අදටත් ඒකාකාරී චරිත ලැබෙනවා ඉඳලා හිටලා. මෙහෙම දේකුත් තියෙනවා. රංගන ශිල්පියාටත් හැකියාවක් තියෙන්න ඕනි එම චරිතය ඇතුළේ  උපක්‍රමශීලීව වෙනසක් කරන්න. ඒක ඔහුගේ හෝ ඇයගේ දක්ෂතාව මත තීරණය වෙනවා. 

මෙගා ටෙලිනාට්‍ය සංකල්පය ආරම්භ වීමත් සමඟ නේද කලාකරුවන්ගේ ගෙවීම් සහ කාලය සම්බන්ධ ගැටලු බරපතළව කතා බහට ලක් වුණේ? 

ගෙවීම් කටයුතුවල, රූගත කිරීම් සඳහා ගත වෙන කාලය, කම්කරුවන් වගේ වැඩ කරන්න වෙලා තියෙනවා කියලා නැඟුණු චෝදනා මෙගා ටෙලි නාට්‍යය තුළ පමණක් පවතින දෙයක් නෙමෙයි. එම ගැටලුකාරී තත්ත්වයන් ආරම්භ වුණේ මෙගා ටෙලිනාට්‍ය හරහා වෙන්න පුළුවන්. නමුත් දැන් ඒක සමස්ත පද්ධතිය පුරාම පැතිරිලා අවසන්. මෙගා ටෙලි නාට්‍ය නැවත්තුවා කියලා මේ ගැටලු නැති වෙන්නෙත් නැහැ. මොකද බෙහෙත් කරන්න ඕනි ගහේ මුලට මිසක් අතුවලට නෙවෙයි.

නිකේෂලා රණතුංග