සංහිඳියාව පෙළපොතට

0
22

තරිඳු නානායක්කාර

ජාතික සමඟිය හා සංහිඳියාව ඇති කිරීමට අදාළ විෂය කරුණු පාසල් පෙළපොතට හා විශ්වවිද්‍යාල විෂය නිර්දේශයන්ට ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටින බව ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීප්ති ළමාහේවා පැවැසීය. 

මෙරට විවිධ කාලවකවානුවල පැවැති යුද්ධයන් සහ බෝම්බ පිපිරීම් ඇතුළු අන්තවාදී ගැටුම් හේතුවෙන් ජාතීන් අතර බෙදීම් ඇතිවී තිබීම හේතුවෙන් සියලුදෙනා එකම රටක් ලෙස නැඟී සිටීමට අවශ්‍ය හෙයින් මෙම පියවර ගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.

ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ පෙරේදා (25දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම මෙසේ කීය.

මේ වන විටත් උතුරු – නැඟෙනහිර පළාත්වල සිටින විවිධ ජාතීන් අතර සමඟිය හා සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය. මීට අමතරව සෑම ග්‍රාම නිලධාරි වසමක්ම ආවරණය වන පරිදි සංහිඳියා කමිටුවක් ඇති කර අදාළ වසමේ ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි සහ සමථ මණ්ඩල නිලධාරීන් මඟින් ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගනු ලබන බවද හෙතෙම කීය.

රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන් වෙත මෙම සංහිඳියාව සහ සමඟිය පිළිබඳව ඇති වටිනාකම ගෙන යෑම වෙනුවෙන් පාසල්වල සහ විශ්වවිද්‍යාලවල විෂය නිර්දේශයන් මෙන්ම සමිති සමාගම් පිහිටුවමින් ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

තරුණ පරපුර දැනුවත් කිරීම වෙනුවෙන් යොවුන් සේනාංක සහ ක්‍රීඩා සමාජ වැනි තරුණයන්ගේ සමිති සමාගම් මෙම ජාතික අරමුණු වෙනුවෙන් දායක කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද හෙතෙම පැවැසීය. මෙම වැඩසටහන් කරගෙන යෑමට අධිකරණ ඇමැති අලි සබි්‍රගේ සහයෝගය උපරිම අයුරින් ලැබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.