වෛද්‍ය සිසුන් 5000කගේ අනාගතය අඳුරේ

0
23

වෛද්‍ය උපාධිය හැදෑරීමට චීනයට ගොස් සිට 2019 අවසන් මාස කිහිපයෙන් පසු ශ්‍රී  ලංකාවට නිවාඩු සඳහා පැමිණි සිසුන් 5,000කට අධික පිරිසකට තම ප්‍රායෝගික පුහුණුව සඳහා ආපසු චීනයට යෑමට නොහැකි වී ඇතැයි ‘ඉරිදා මව්බිම’ට වාර්තා වේ.

වසර 6ක උපාධි පාඨමාලා සඳහා ගිය මෙම සිසුන් මෙරටට පැමිණීමෙන් පසු චීනයේ කොරෝනා අවසන් වුවත් ආපසු චීනයට යා නොහැකි වූයේ චීනයට ඇතුළුවීමට විදේශිකයන්ට අවසර නොලැබුණු බැවිනි.

මෙම සිසුන්ගෙන් බහුතරයක් මේ වනවිට ප්‍රායෝගික පුහුණු සඳහා සහභාගි විය යුතු වන අතර ඒ ඒ විශ්වවිද්‍යාලවලින් දන්වා ඇත්තේ එම පුහුණුවද න්‍යායාත්මක පාඩම් ඉගෙනගත් අයුරින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරනු හැර විකල්පයක් නැති බවයි.

මේ පිළිබඳව ශ්‍රී  ලංකා වෛද්‍ය සභාවෙන් විමසූ බවත් ප්‍රායෝගික පුහුණුව රෝහලක නොලබා කිසිසේත්ම වෛද්‍ය සේවයට එක්විය නොහැකි බව වෛද්‍ය සභාව පැවැසූ බව ෂිගුවාන් විශ්වවිද්‍යාලයේ පස් වැනි වසර කණ්ඩායමේ කැඳවුම්කරු ප්‍රින්ස් පෙරේරා ‘ඉරිදා මව්බිම’ට කීය.

චීනයට යා නොහැකි බැවින්ද ප්‍රායෝගික පුහුණුව අත්‍යවශ්‍ය බැවින්ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යම් පියවරක් ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.