වැහි කවිය පිදුවේ මගේ ආදරණීය සැමියාට

0
63


කොහොමද වැහි කවියට පසුබිම හැදෙන්නේ?

වැහි කවියට මම තේමාව කර ගත්තේ මගේ සැමියා. ඔහු සහ මම විවාහ වෙලා වසර නවයක්. ඉතින් නවවැනි විවාහ සංවත්සරයට ත්‍යාගයක් විධියට තමයි වැහි කවිය තිළිණ කළේ. මම මගේ දුව වෙනුවෙන්, තාත්තා වෙනුවෙන්, අම්මා වෙනුවෙන් ගීත නිර්මාණය කළා. නමුත් සැමියා වෙනුවෙන් ගීතයක් කරලා තිබුණෙ නැහැ. මේ වසර නවයටම මම ඔහුට දුන් තෑගිවලට වඩා ඔහු මේ ත්‍යාගය ඉතා ආදරෙන් භාර ගත්තා. මෙහි පදරචනය සිදුකළේ මා විසින්මයි. සංගීතය සැපයුවේ නදීක ජයවර්ධන. රූප රචනය කළේ පුෂ්පිත නිර්මාල් විසින්.

ලැබෙන ප්‍රතිචාර පිළිබඳ කතා කළොත්?

ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. මේ දවස් කිහිපය ඇතුළත ගීතය ලක්ෂ ගණනක් නරඹලා තියෙනවා. ගැහැනු ළමයින්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා වැඩියි. මම හිතන්නේ පිරිමි කෙනකුට ස්තූතියි කියලා හදපු පළමුවැනි ගීතය මෙය වෙන්න ඇති. බොහෝ අය පිරිමි අය වෙනුවෙන් ගීත නිර්මාණය කළාට ස්තූතියි කියලා ගීත ලියනවා අඩුයි. ඉතින් මෙයට රසිකයන්ගෙන් බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය කියන්නේ මෙහි වචන හිතට තදින් දැනෙනවා කියලයි.

“වැහි කවිය” ඔබ සැමියාට නිර්මාණය කළ නිසාම ඔබේ සහ සැමියාගේ මුණගැසීමත් මතක් කරමු?

ඔහු සහ මම විවාහ වෙන්නේ විවාහ යෝජනාවකින්. ඒ මුණගැසීම මතක් කළොත් මම විශ්වවිද්‍යාලයේ පළමුවැනි වසරේ ඉගෙන ගන්න කාලයේදී මට නිවෙසින් විවාහ යෝජනා ගෙනාවා සහ හෙව්වා. නමුත් ඒ කිසිම කෙනෙක් වෙනුවෙන් මගේ සිත ගියේ නැහැ. මෙහෙම සිටින විට මගේ යහළුවෙක් පැවැසුවා නුවර සිටින ඇයගේ මිතුරු ඉන්ජිනේරුවරයෙක් මා ගැන අහනවා කියලා. මම කිව්වා මට නිවැරැදිව උත්තරයක් දෙන්න බැරි නිසා ගෙදරින් ඇවිත් අහන්න කියලා. මම එහෙම කිව්වත් මම හිතුවේ නැහැ ඔහු නුවර ඉඳන්ම මේ සඳහාම පැමිණෙයි කියලා. ඒත් ඔහු ආවා. පසුව නිවෙසින් ලැබුණු ආශීර්වාදය සමඟ ඔහුව මුණගැහිලා මාස තුනකින් අපි විවාහ වුණා.

අභිෂේකා පූර්ණකාලීනව කලාවේ නියැළෙන කෙනෙක්ද?

මම මේ වන විට චර්මරෝග සම්බන්ධව පාරම්පරික වෛද්‍යවරියක්. ඊට අමතරව මගේ රූපලාවණ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා. විශ්වවිද්‍යාල දේශකවරියක් විදිහටත් කාර්යබහුලයි. මේ හැමදේම එක්කම තමයි ගායනයත් කරන්නේ.

මේ හැමදේම සමබරව කරගෙන යෑම පහසුයිද?

ඔව්. මේ හැමදේම මම ආසාවෙන් කරන්නේ. ඒ නිසා මට කිසිම වෙහෙසක් දැනෙන්නේ නැහැ.

අභිෂේකා ගායනා කරන සෑම ගීතයක්ම ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගන්නවා. 

ඒ ගැන දැනෙන හැඟීම කොහොමද?

මම හිතන්නේ එයා. මට ලැබුණු පිනක් කියලයි. සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙක් සින්දුවක් කළත් සෑහෙන්න මහන්සියක් වෙලා තමයි කරන්නේ.  මම ඇත්තටම මගේ වැඩවලට එහෙම මහන්සි වෙන්නේ නැහැ. වැහි කවියේ වීඩියෝ එක වුණත් හරිම අඩු බජට් එකකින් කරපු වීඩියෝ එකක්.  නමුත් ජනප්‍රිය වුණා. ඉතින් මට ඉන්න සබුද්ධික ප්‍රේක්ෂකාගාරයට හැමදාම වගේ ස්තූතියි කියන්න ඕනෑ මට ලබාදෙන ආදරයට.

ඔබට තාත්තා දුන් ශක්තිය වෙනුවෙන් එයට උපහාරයක් විදිහට තාත්තා වෙනුවෙන් “චන්ද්‍ර මණ්ඩලේ “ගීතය කරනවා. ඒ ගැන කතා කළොත්?

චන්ද්‍ර මණ්ඩලේ Original සින්දුව සුනිල් එදිරිසිංහ මහත්මයගේ. එයින් කියැවෙන්නේ දුව පැනලා ගියපු තාත්තා කෙනකුගේ හැඟීම. මෙය අහද්දී මට සිතුණා වැඩියෙන්ම වේදනාව වැඩි දුවෙක් නැති වූ තාත්තා කෙනකුටද තාත්තා නැති වූ දුවකුටද කියලා. ඒ ගැන හිතනකොට මට හිතුණා මේක ගැන කරන්න හොඳම සින්දුව මේක කියලා සහ මේ සින්දුව ලියන්නත් හොඳම කෙනා ඒ සින්දුව ලියපු කෙනාමයි කියලා. පසුව මම රත්න ශ්‍රී  විජේසිංහ මහත්මයට මේ අදහස් පැවැසුවා. ඔහු විනාඩි දහයකින් මට මේ ගීතය ලියලා දුන්නා. මට මතකයි මම මේ සින්දුව ලියලා රෙකෝඩ් කරලා යැව්වේ රත්න ශ්‍රී  මහත්මයගේ දුවට. ඇය එය අහලා ඉකිගහලා අඬලා තිබුණා. ඇයි තාත්තා මෙහෙම දෙයක් ලිව්වේ කියලා. මට එතකොට තේරුණා දුවෙක් නැතිවුණ තාත්තා කෙනෙක්ට වඩා තාත්තා කෙනෙක් නැති වුණ දුවෙකුට ගොඩක් සිතට අමාරුයි නේද කියලා.

දුවගේ අනාගතය හදන්න මවක් ලෙස ඔබේ සැලසුම් කොහොමද?

මගේ දුව දැන් 3 ශේ්‍රණියේ ඉගෙන ගන්න දරුවෙක්. එයාට දෙන්න පුළුවන් හැමදේම මම දෙනවා. රටේ තත්ත්වය අනුව මොනවා වෙයිද කියන්න බැහැ. සමහර විට මේ රටෙන් යන්නත් පුළුවන්. සමහර විට ඉන්නත් පුළුවන් හෙට දවස අවිනිශ්චිතයි.

ඔබ ප්‍රේක්ෂකයන්ට සමීප වෙන්නේ සමාජ මාධ්‍ය ජාලා හරහා. බොහෝ දෙනෙක් ඔබ එහි තබන සටහන්වලට ප්‍රතිචාර දක්වනවා. ඒ පිළිබඳ කතා කළොත්?

මම වේදිකාවක සින්දු කියන ගායිකාවක් නොවෙයි. එයට හේතුව මම බලාපොරොත්තු වෙන්නේ කවදාක හෝ මගේම ප්‍රසංගයක් කරන්න. එය රට වටේම අරන් යන්න. මට සංගීත ප්‍රසංගවල ගීත ගායනා කිරීම සඳහා කැප කරන්න කාලයක් නැහැ. නමුත් මගේ ප්‍රසංගයක් මට පහසු විදිහට රටපුරා හරි ලෝකේ පුරා හරි අරන් යන්න මගේ සැලසුමක් තිබෙනවා. එය තව අවුරුද්දක් වගේ ඇතුළත වෙයි.  ඒ ප්‍රසංගය බලන්නත් මම මගේ ප්‍රේක්ෂකාගාරය හදාගෙන තිබෙන්නේ සමාජ මාධ්‍ය හරහා පමණයි. ලංකාවේ එහෙම සිටින එකම ගායිකාව මම වෙන්නත් ඇති. එය මට ලැබුණු ලොකු වාසනාවක්.

සචිනි බස්නායක