වැඩිපුරම ප්‍රතිචාර ලබෙන්නේ කාන්තා පාර්ශ්වයෙන්

0
36


මේ දිනවල කොහොමද වැඩකටයුතු?

මේ දවස්වල ධරණී ටෙලි නාට්‍යයේ සහ හිතුවක්කාරී ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා සහ මම කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබනවා. ඉතින් දෙවැනි වසරේ අවසාන විභාග කටයුතු ආරම්භ වුණා. කලා කටයුතුවලට වඩා විශ්වවිද්‍යාල වැඩකටයුතු සමඟ තමයි මේ දිනවල ගොඩක්ම කාර්යබහුල වී සිටින්නේ.

කොහොමද හිතුවක්කාරී ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?

හිතුවක්කාරී ටෙලි නාට්‍යයට වෙනම රසික පිරිසක් ඇතිවෙලා සිටිනවා. ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනකොට මම හිතුවේ නැහැ මෙච්චර ලොකු ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. මම හිතුවක්කාරී ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණෙත් චරිත් කියන මගේ යහළුවෙක් හරහා. වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නෙත් කාන්තා පාර්ශ්වයෙන්. සියලු ප්‍රතිචාර මත කතාව ගලාගෙන යනවා. මුහුණු පොතෙන් පවා පිළිතුරු දී ගන්නට නොහැකි තරම් විශාල පණිවුඩ ප්‍රමාණයක් පැමිණෙනවා.

ඔබේ වැඩකටයුතුවලට ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කතා කළොත්?

ඒ ගැන නම් විශේෂයෙන්ම කතා කළ යුතුයි. බොහෝ දෙනෙක් පවසනවා ප්‍රවීණයන් සමඟ වැඩ කටයුතු කිරීම අපහසුයි කියලා. එය මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. හේතුව ‘නෑනලා’ ටෙලි නාට්‍යයේ දමයන්ති ෆොන්සේකා, යශෝදා විමලධර්ම වැනි ප්‍රවීණ ශිල්පිනියන් මට මුණගැසුණා. එහිදී ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය වචනවලින් කියන්නට බැහැ. මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි අපි ඕනෑම කෙනකුට ලබාදිය යුතු ගෞරවය ලබා දුන්නොත් පසුව නැවත අපිට පෙරළා ගෞරවයක් ලැබෙනවා.

රංගන ජීවිතය තුළ අමතක නොවන සිදුවීම් බොහොමයක් ඇති?

අමතක නොවන සිද්ධි නම් ඕනෑ තරම්. මගේ ගෙදරින් මම රඟපානවාට වැඩි කැමැත්තක් මුලින් තිබුණේ නැහැ. නමුත් මගේ ටෙලි නාට්‍ය විකාශනය වෙන පළමු වැනි දවසෙම මගෙ අම්මයි, තාත්තයි අසල්වැසි අයට කියලා තිබුණා අද පුතාගේ ටෙලි නාට්‍ය යනවා බලන්න කියලා. ඒක ආරංචි වුණ වෙලාවේ මට පුදුම සතුටක් දැනුණේ. එය තමයි අමතක නොවෙන සහ සතුටුම සිද්ධිය.

විශ්වවිද්‍යාල වැඩකටයුතු සහ රංගන ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු  සමබරව කර ගැනීම පහසුයිද?

ටිකක් අපහසු කාර්යයක්. රූගත කිරීම් සමඟ අධ්‍යාපන වැඩකටයුතු කිරීම තරමක් සංකීර්ණයි. ඒ දෙක සමබර කර ගැනීමට තිබෙන එකම විකල්පය නින්ද අවම කිරීම. මම බොහෝ වෙලාවට කරන්නේ නින්ද අඩු කිරීම. නැතිනම් රංගනය හෝ අධ්‍යාපනය කියන විෂයන් දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවෙනවා.

දිලුම් රංගනය හදාරන්නේ ආශාවටද, නැතිනම් වෘත්තියක් වශයෙන්ද?

මම මේ ක්‍ෂේත්‍රයට ආවේ ආශාව නිසයි. උසස් පෙළ විභාගය අවසන් කරලා ගෙදර ඉන්නකොට තිර පරීක්‍ෂණයකට යන්න සිතුණා. ඒ විදිහට තමයි තිර පරීක්‍ෂණයකට සහභාගි වුණේ. එතැනින් රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබුණා. රංගනය වෘත්තීය මට්ටමෙන් නම් කරන්න බලාපොරෛාත්තුවක් නැහැ. මම අධ්‍යාපනය ලබන විෂය ක්‍ෂේත්‍රය තුළ ඉදිරියට යන ගමන් රංගනය කරන්න තමයි බලාපොරොත්තුවන් සිටින්නේ.

මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය පෙම්වතුන් යුවළ වී තිබෙන්නේ ඔබ සහ හර්ෂි රසංගා. කොහොමද රඟපෑමේදී හර්ෂිගෙන් ලැබෙන සහයෝගය?

හර්ෂිගෙන් ලැබෙන සහයෝගය නම් විශිෂ්ටයි. මට මොකක් හරි දෙබසක් අමතක වෙනව නම් එයා ඉක්මනින්ම මට ඒක මතක් කරනවා. ගොඩක්ම මේ දිනවල මගේ අධ්‍යාපන වැඩකටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්න නිසා රූගත කිරීම්වලදී හර්ෂිගෙන් සහ මගේ යාළුවාට ඉන්න ආකාශ්ගෙන් පුදුම සහයෝගයක් ලැබෙන්නේ. අපි බොහො වෙලාවට ෂූටින් කරන්න කලින් මෙහෙම කරමු කියලා ප්ලෑන් එකකට අනුව තමයි වැඩ ආරම්භ කරන්නේ.

දිලුම් ඒකාකාරී චරිතවලටම කොටුවෙලා කියලා සිතෙන්නේ නැද්ද?

නැහැ. ලැබෙන චරිතය හොඳයි නම් මම භාර ගන්නවා. චරිතාංග නළුවෙක් වෙන්න තමයි බලාපොරොත්තුව. ජනප්‍රිය සහ හොඳම නළුවා කියන කැටගරි එකට යන්න බලාපොරොත්තුවක් තිබෙනවා. මේ ක්‍ෂේත්‍රයේ සිටින විට අපි ප්‍රේක්‍ෂකයා වෙත යම් දෙයක් කිරීමට අවශ්‍යයි. ඒ නිසා වෙනස් දේවල් කරමින් හොඳ චරිතාංග නළුවෙක් වෙන්න තමයි ඉදිරි බලාපොරොත්තුව.

මේ සියලුම වැඩකටයුතුවලට ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මයි, තාත්තයි, අයියයි ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඉස්සර තිබුණ විරුද්ධත්වය දැන් නැහැ. එයාලා දන්නවා මම හැමදේම සමබරව කරගෙන යනවා කියලා. ඒ නිසා ඒ නිදහස මට දීලා තිබෙන්නේ. ඒ වගේම මට මේ තැනට එන්න උදවු කරපු හැමෝටම ස්තූතියි. ඒ වගේම තමයි ජීවිතේ සමහර සිදුවීම් අපගේ සැබෑ ජීවිතේ ඉලක්ක මතක් කරලා දෙනවා කියලා අවසාන වශයෙන් මම කියන්න කැමැතියි.

සචිනි බස්නායක