රාහු මේෂයට-කේතු තුලාවට ජනතාවට මෙන්ම රජයටත් පීඩා

0
74


විශ්ව කේන්දරයේ මෙතෙක් වෘෂභ රාශියේ උච්ච චලිතයෙන් ගමන් කළ ඡායා ග්‍රහයකු ලෙසින් සැලකෙන රාහු 2022 අප්‍රේල් මස 12 වැනිදා කුජ දින ප.ව. 1.56ට පමණ තේජෝ භූත චරකාරක සටන්කාමී, ලෙයට අධිපති වන කුජගේ බලවත් රාශියක් වන සතුරු මේෂ රාශියට සංක්‍රමණය වෙයි. මෙය සිදුවනුයේ සිංහල අලුත් අවුරුද්ද ලැබීමට දින දෙකකට පෙරයි. එසේ ගමන් කරන රාහු, මේෂ රාශිය තුළ 2023 ඔක්තෝබර් මස 30 දක්වා ගමන් කරනු ඇත. කේතුද ඒ අයුරින්ම තුලා රාශියට සංක්‍රමණය වනු ඇත. 

රාහු සහ කේතු අබිරහස්, ගුප්ත ග්‍රහයන් ලෙසට සැලකේ. මෙම ග්‍රහයන් මහජනතාවට මහත් බලපෑම් ඇති කරන ග්‍රහයන්ය. සැඩ පරුෂ බව, කුල හීන බව, සොරකම්, මංකොල්ලකෑම් ආදී නොයෙක් සැහැසිකම් රාහු විසින් නිවේදනය කරයි. සර්ප වර්ගයට අයත් රාහු මේෂ රාශියේදී කුජගේ ප්‍රචණ්ඩත්වය ගන්නා ග්‍රහයෙකි. රාහු, තමා සිටින රාශිය නොදකී. උඩ බලා සිටින ග්‍රහයෙකි. රාහුගේ ගුණය ශනිගේ ගුණයට සමාන වන අවස්ථාද තිබේ. 

රාහු, මේෂ රාශියට යන විට එහි බුධ සහ යුරේනස්ද සිටින නිසා ඉදිරි කාලය තුළ ආන්‍ෙදා්ලනාත්මක සිදුවීම්වලට ඉඩ තිබෙන බව පෙනේ. රාහුගේ මෙම ගමන තත්කාල කේන්දරයට අනුව කටක ලග්නයේ දස වැන්න වූ රජය නියෝජනය කරන ස්ථානයට රාහු පිවිසීම රජයට මෙන්ම මහජනතාවට යම් පීඩාකාරී බවක් පෙන්වන්නකි.

ලංකා කේන්දරයේ මහජනතාව නියෝජනය වන සෙනසුරු, කුම්භ ලග්නයෙන් 12 වැන්නේ නිසා නොයෙක් ලෙසින් පීඩාවට පත් ජනතාව නොයෙකුත් ආකාරයේ කටයුතුවලට නැඹුරුවීම නිසා වසවිස ශරීරගත වීම් ආදියෙන්, විවිධ රෝග පීඩා ඇතිවීමෙන්ද, අරගලවලින්ද ජනතාව රෝහල්ගත වීම ආදියට ඉඩ ඇත. එසේම ගුප්ත අබිරහස් දේවල් සිදුවීමටද ඉඩ ඇත. රටට සහනාධාර සහ ණය ආධාර ලැබීමේ ඉඩකඩ වැඩිය. පාසල් ළමයින් අතර වයිරස් උණ රෝග ආදී රෝග පැතිරීමේ ඉඩකඩ බොහෝ ඉහළ යයි. රටවල් අතර පවතින යුද ගිනි අරගල තවදුරටත් පවතිනු ඇත. ගුවන් යානා අනතුරු, මුහුද රළු වීම් මෙන්ම කාලගුණික විපත්ද පෙන්නුම් කරයි. 

දරුණු රිය අනතුරු සිදුවන කාලයක්ද වේ. කුම්භ ලග්න ලංකා කේන්දරය තුළ තෙවැන්නට රාහු ගෝචර වේ. 

මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් මහජනතාව අර්ථයෙන්, ධර්මයෙන්, සුහදව, සාමූහිකව, මෙත් සිතින් යුතුව කටයුතු කිරීමෙන් ආරක්ෂාව සහ යහපත සලසා ගත හැකි අතර තම තමන්ගේ බලාපොරොත්තුද සපල කර ගත හැකි වනු ඇත. 

ජේ‍යාතිෂවේදී 

පී.කේ. තරංග කුමාර

කීඹිඇල

0777962658