රාජ්‍ය බැංකුවක් විදුලියේ ර්ණීච් කපයි

0
23

අනුරාධා හේරත්

විදුලිබල මණ්ඩලයේ ගිණුම්වල ප්‍රමාණවත් මුදල් නැති වීමෙන් මෙරට ප්‍රධානතම රාජ්‍ය බැංකුවක් විසින් විදුලිබල මණ්ඩලයේ සියලු චෙක්පත් ආපසු හරවා යැවීමට (return) කටයුතු යොදා ඇති බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් ඉරිදා ‘මව්බිම’ ට අනාවරණය කළේය. මේ නිසා බැංකුව විසින් ලංවිමට බැංකු අයිරා (OD) නිකුත් නොකිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව විදුලිබල මණ්ඩලයේ මුදල් කළමනාකරු වන ටී. කේ. ලියනගේ විසින් මණ්ඩලයට ලිඛිතව දැනුම්දී ඇත්තේ තවදුරටත් බැංකුවට චෙක්පත් යැවීම සිදු නොකරන ලෙසත් හේතුව ඒවා ආපසු හරවා එවීම තුළ ලංවිම තවදුරටත් හෑල්ලුවට පත් වන නිසා බවයි. අදාළ රාජ්‍ය බැංකුව විසින් විදුලිබල මණ්ඩලයට ලබාදිය හැකි උපරිම ණය මුදල් ප්‍රමාණය වන්නේ රුපියල් බිලියන 12ක් වුවත් මේ වනවිට ණය සීමාව ඉක්මවා බැංකුව විසින් රුපියල් බිලියන 28ක ණය ලබාදී ඇති බවත් ජයලාල් මහතා පැවැසීය.

විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලය ලබන ආදායම්වල ගිණුම් පවතින්නේ ප්‍රධාන රාජ්‍ය බැංකුව යටතේ වන අතර එම ගිණුම්වලට අදාළ මුදල් ක්‍රමක්‍රමයෙන් ඉතා අඩුවී ඇති බව ඔහු පැවැසීය. මෙම දැවැන්ත මූල්‍ය අර්බුදය හමුවේ මෙම මස විදුලිබල සේවකයන්ගේ වැටුප පවා ගෙවූයේ ඉතාමත් අසීරුවෙන් බවත් උත්සව මාසය වන ලබන අප්‍රේල් වන විට සේවක වැටුප් ගෙවාගත නොහැකි දැවැන්ත අර්බුදයක සිටින බවත් ඔහු පැවැසීය.

තවද 2021 වසරේ ඉතුරු වූ වෛද්‍ය නිවාඩුවලට ගෙවිය යුතු අත්තිකාරම් මුදල් හා වැටුපෙන් 50%ක් කපා ගත හැකි සේවක ණය මුදලද අත්හිටුවා ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය. මේ සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘෘ නවමුණි ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වියදමට වඩා අඩු මුදලකට විදුලි ඒකක විකුණද්දී ගිණුම්වල මුදල් නැති වීම සාමාන්‍ය දෙයක් බවය. පාරිභෝගිකයන් ගෙවන මුදල් එකතු කර ඉන්ධන මිලදී ගන්නා බැවින් ගිණුම්වල මුදල් නැති බවත්, චෙක්පත් නොයවන ලෙස මුදල් කළමනාකරු මෙතෙක් දන්වා නැති බවත් ඔහු කියා සිටියේය.