රාජපක්‍ෂලා කියන්නේ ශ්‍රී ලංකාව අල්ලගත්තු හොර කල්ලියක්

0
48

ජනතා විමුක්ති පෙරමුණ අද ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක්. ඇයි සර්ව පාක්ෂික සමුළුවට නොගියේ?

සර්ව පාක්ෂික සමුළුවට ගිහින් අපට කියන්නට තිබෙන්නේ “ගෝඨා ගෝ හෝම්” කියලා විතරයි. වෙන පැහැදිලි කිරීම් නෑ. වෙන මොනවද අපි කියන්නෙ. කොවිඩ්වලින් හොරකම් කළා. පෝරවලින් හොරකම් කළා. හොරු අල්ලනවා කියා ඇවිත් හොරකම් කරනවා. විකුණපුවා පවරා ගන්නවා කියා ඇවිත් විකුණන්න පටන් අරන් තියෙනවා. දැන් චීනෙටයි, ඉන්දියාවටයි ලංකාවෙන් භාගයක් දීලා. ඥාති සංග්‍රහ නෑ කියලයි ආවේ. නමුත් දැන් ඥාති සංග්‍රහය විතරයි කරන්නේ. රටේ ජනතාව රවට්ටපු ජන පීඩක ආණ්ඩුවට ගෙදර යන්න කියලා තමයි කියන්න වෙන්නේ. ඕක එතැන ගිහිල්ලා කිව්වත් එකයි. නුගේගොඩ ගිහින් කිව්වත් එකයි. අපි නුගේගොඩ ගිහින් මේ අවනඩුව ජනතාවට කිව්වා.

සමහරු සර්ව පාක්ෂික සමුළුව ගැන ලොකු විශ්වාසයකින් කතා කළා?

සර්ව පාක්ෂික කියලා නම දාගත්තට ඕක සර්ව පාක්ෂික නෑ. සර්ව කියන්නේ සියලු. ඉතින් සියලු පක්ෂ මේකෙ නෑනේ. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරපු යෝජනාවට අනුව  මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුවෙන් යන එක වළක්වා ගන්න ගහන ගේමක්. අපි මොකටද ඒකට හවුල් වෙන්නේ.

සජබ  සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වුණේ නෑ. කුමක්ද ඒ ගැන ඔබ දරන අදහස?

ඒක ඒගොල්ලන්ගෙ තීරණයක්.  ප්‍රතිපත්ති වශයෙන් මම හිතන්නේ නෑ සජබෙයි, ගෝඨාභයලගෙයි වෙනසක් තියෙනවා කියලා. ඒගොල්ලො යන්නේ නැත්තේ ප්‍රතිපත්තිමය හේතුවක් නිසා නොවේ. අපි නොයන්නේ ඒගොල්ලන්ගෙ මුහුණු කළු නිසා, කැත නිසා නොවෙයි. අපේ ප්‍රතිපත්තිමය තීන්දුව නිසා.

ජවිපෙ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළේ කරුණු හතරක් පදනම් කරගෙන බව ජවිපෙ කියා තිබුණා. හිතන්නේ නැද්ද ඕවා එතැනට ගිහිල්ලා රටටම ඇහෙන්න කිව්වා නං හොඳයි කියලා?

අපි එතෙන්ට ගියොත් අරයාගේ දේශනාව අහන් ඉන්න එපැයි. එතෙන්ට ගිය උදවිය කබ්රාල්ගේ දේශනාව  අහන් හිටියා. බැසිල්ගේ පම්පෝරිය අහන් හිටියා. ඒවා අහන්න එතැනට යන එකේ තේරුමක් නෑ. එතැන අපේ මතය කියලා වැඩකුත් නැහැ. ඒක අපි ඔයා හරහා මාධ්‍යයට කිව්වත් එකයි. මොකද අපට කියන්න ඕනෑ ගෝඨාභයට නෙවෙයි. අපි යන්නැති හේතුව අපි කියන්න ඕනෑ රටට.

ඔබ හිතනවද ජනතා විමුක්ති පෙරමුණට මේ වෙද්දි මාධ්‍ය සහයෝගයක් තියෙනවා කියලා. ඔබේ පක්ෂයේ මතය ජනතාව අතරට ගෙනියන්න?

මාධ්‍යයට අපි ඕන. අපිට මාධ්‍ය ඕන. හරියට මාළුවාට ජලය වගේ. සමහර වෙලාවට මාධ්‍ය තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර අනුව වැඩ කරන වෙලාවල් තියෙනවා. එහෙම කියල අපි මාධ්‍යයත් එක්ක තරහ වෙන්නේ නෑ. ඒක ඒගොල්ලන්ගෙ න්‍යායපත්‍රය. මහජනතාව පත්තර, ටීවී බලන්නේ නැහැනේ මහජනතාවට ඕන දේ පෙන්නන්නෙ නැත්නම්. ජනතාවට දැන් ඕන කරන්නේ අපේ නායකත්වය නම්, අපේ නායකත්වය මහජනතාව පිළිගන්නකොට මාධ්‍යයටත් ඒක හලලා ඉදිරියට යන්න බෑ. ඒකයි වෙලා තියෙන්නෙ. හැබැයි මහජනතාව ගෝඨාභයගේ නායකත්වය පිළිගන්නකොට මාධ්‍ය ගෝඨාභයගේ පැත්තෙ හිටියා. පත්තර හරි, ටීවී හරි ඒවා විකුණන්න වෙළෙඳපොළක් අවශ්‍යනෙ. ඒ නිසා ඔවුන් එහෙම හිතන එක සාධාරණයි.

අපි දැක්කා රනිල් වික්‍රමසිංහ දැන් බොහොම ක්‍රියාකාරී චරිතයක් වෙලා?

ඒක රනිල්ගේ රඟපෑමක්. රනිල් එතැන ගිහින් කිව්වනේ මං මේ පරණ යාළුකමටයි ආවේ කියලා. ඉතින් රනිල් එක්කනෙ යාළුකම තියෙන්නේ. අපිටනෙ චෝදනා කළේ රනිල් එක්ක යාළුකමක් තියෙනවා කියලා. දැන් මොකද දන්නෑ ඒ ගැන කියන්නෙ. රනිල් ඒගොල්ලන්ගෙ හොරකම් ටික බේරුවා. ඒ ගොල්ලෝ රනිල්ගෙ හොරකම් බේරනවා. උෟ මට ගහනවා. මට උෟ ගහනවා. මේ දෙගොල්ලන්ගේ තියෙන යාළුකම දේශපාලන යාළුකමක්.

දැන් රනිලුයි ටී.එන්.ඒ. එකයි ඔතැනට නොගියා නම් මොකද වෙන්නේ, සර්ව පාක්ෂික සමුළුවට ආණ්ඩුව විතරයි ඉතුරු වෙන්නේ.

ඔබ කියන්නේ  රනිල් ආණ්ඩුවට ජැක් එක ගහගෙන ඉන්නවා කියලද?

දැන් ජැක් එක බුරුල් වෙලා. ඒ කියන්නේ ජනතාව පිළිගන්නේ නැති ජැක් එකක් ගහන්නේ.

කලින් සෝෂල් මීඩියාවල  ගියානේ රනිල් සජබෙන්  කොටසක් කඩාගෙන ආණ්ඩුවට සපෝට් එක දෙනවා කියලා. එහෙම වෙන්නත් බැරි නෑ. අපිට ඒකෙ මහ අමුත්තක් නෑ. රනිල්ට අගමැතිකම දුන්නත් ඒකෙ මැජික් එකක් නෑ. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මහින්දට අගමැතිකම දුන්න වගේ. ගෝඨාභය රාජපක්ෂට එල්ලෙන්න වැලක් නැතිව ගියාම රනිල්ට අගමැතිකම දෙන්නත් පුළුවන්. ආයෙ සජබ කට්ටියක් ආණ්ඩුවට එන්නත් පුළුවන්. ඕවා ඉතින් ඕගොල්ලන්ට නම් ප්‍රවෘත්ති. අපිට නම් ඇති වැඩක් නෑ. ඔය බූරුවො කුට්ටම පාර්ලිමෙින්තුවෙ කොහොම ඇනුවත් මේ තියෙන ප්‍රශ්නවලට විස¾දුමක් නෑ. ගෑස් මිල අඩු වෙන්නෙත් නෑ.  ගෝරි  නතර වෙන්නෙත් නැහැ. රටේ සම්පත් විකිණීම නතර වෙන්නෙත් නෑ. හොරකම් කිරීම නතර වෙන්නෙත් නෑ. ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම නතර වෙන්නෙත් නැහැ. ඩොලර් වැඩි වෙන්නෙත් නෑ.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කලින් කිව්වා IMF වාර්තාවක් තියෙනවා කියලා. දැන් කියනවා වාර්තාවක් නෑ. ඩ්‍රාෆ්ට් එකක් තියෙනවා කියලා. හැබැයි ඒක දෙන්නේ නෑ කියනවා?

වාර්තාවක් නැතත් බැසිල් දැන් කරන්නේ IMF ඒකට අවශ්‍ය වැඩ ටික. අලුතින් IMF එක බැසිල්ට කියන්න වෙලා තියෙන්නෙ බැසිලෝ ටිකක් අඩුවෙන් හොරකම් කරපන් කියලා. IMF එක කියන්න කලින් මේ හාදයෝ ජනතාවගේ සහන ඔක්කොම කපල ඉවරයි. දැන් ජනතාවට පොහොර සහනාධාරය තියා සල්ලිවලටවත් පොහොර නෑ. IMF එක කියන්නත් කලින් සෑම බඩුවකම මිල වැඩි කළා. විදුලි බිල වැඩි කළා. බැසිල් IMF යනව කියල තීරණය කරන්නේ යන්න කලින් IMF එක කරන්න කියන සියලුම දේවල්  කරල.

රටේ මෙච්චර ආර්ථික පීඩනයක් තිබියදී කිසිම ඇමැතිවරයෙක්, මන්ත්‍රිවරයෙක් තමන්ගේ වරප්‍රසාද අඩුකර ගත්තේ නෑ?

තමන්ගෙ වරප්‍රසාද අඩුකර ගන්න කියලා IMF කියන්නෙත් නෑ. බැසිල්ලා වරප්‍රසාද අඩුකර ගන්නෙත් නෑ. දැන් ජනතාව අමාරුවෙන් ඉන්නෙ. පීඩාවෙන් ඉන්නෙ. ඒක නිසා මට පෙන්ෂන් එක එපා කියල එක ඇමැතියෙක් කිව්වද?  කොළඹ නිල නිවාස එපා මට ගෙයක් තියෙනවා කියලා කවුරුවත් කිව්වද? මට ඉස්සරහට පිටිපස්සට ආරක්ෂක වාහන එපා කියලා එකෙක් කිව්වද? මේ ආණ්ඩු පක්ෂයේ කට්ටිය වරප්‍රසාද එපා කියන්නෙත් නෑ. මම හොඳටම දන්නවා විපක්ෂ කට්ටිය වරප්‍රසාද අතාරින්නෙත් නෑ. විපක්ෂ කට්ටිය ඔය බෙරිහන් දුන්නට එම්.එස්.ඩී. ආරක්ෂාව ඔක්කොම ගන්නවා.

විදුලි බිල ගෙවලා නැති ඇමැතිවරු – මන්ත්‍රිවරු කොච්චර ඉන්නවද?

හිටපු ජනාධිපතිවරුන්ගේ බිරින්දෑවරුන් මහජන දේපළ පාවිච්චි කරනවා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ ඔක්කොම ආණ්ඩුවට මරගාතේ.

මුදල් ඇමැති නව අය-වැයක් ගෙනෙන කතාවක් කිව්වා. මොකක්ද ඒ ගැන ඔබේ අදහස?

අලුත් අය-වැය ගෙනෙන්න ඕනෑ ජාතික ජන බලවේගයේ මාලිමාවේ ආණ්ඩුවෙන්. ආදායම් වැඩි කරගන්නේ කොහොමද? වියදම අඩු කර ගන්නේ කොහොමද? ඒවට යෝජනා තියෙන්නෙ අපි ළඟ. නාස්තිය, දූෂණය නතර කරන්නේ කොහොමද? හොරකම නතර කරන්නේ කොහොමද? ඇති – නැති පරතරය අඩු වෙන ආදායම් වියදම් පරතරය අඩු වෙන අය-වැයක් තමයි එන්ඩ ඕන.

මිනිස්සු ප්‍රශ්න කරන්නේ ජේ.වී.පී. එක ඇවිත් මොනවා කරන්නද. මේ වැටිල තියෙන නරා වළෙන් රට ගොඩගන්නේ කොහොමද කියලා?

මිනිස්සු එහෙම කියන්නේ මේගොල්ලෝ ගොඩගන්න බැරි තරම් වළට දාලා තියෙන බව දන්න නිසා. මේක ගැඹුරක් පේන්නේ නැති, පතුලක් පේන්නෙ නැති අගාධයක්. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන මට්ටමට අර්බුදය හදලා බැංකු පිට දමලයි තියෙන්නේ. දේශපාලනය විසින් මේ රට පජාති කරල තියෙන්නෙ. රටේ ජනතාවට එපා කරවලා තියෙන්නේ. මේක අමාරුයි. අමාරුකම තියෙන්න පුළුවන්. එක දෙයක් තියෙනවා ජනතාවට දැනෙන්න ඕන තමන්ගේ ඇමැතිවරයා, මන්ත්‍රිවරයා තමන්ට වඩා තමන්ගේ ප්‍රශ්නය ඇඟට අරගෙන තියෙනවා කියලා.

ඔබට ස්ථිර විශ්වාසයක් තියෙනවද එහෙම කරන්න පුළුවන් කියලා?

අපි දැනටත් ඒ කැපවීම කරනවා. අපි මහ පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු. අපි තෙල් ටික ගහන්නෙ පෝලිමේ ගිහිල්ලා. ගෑස් ගන්නේ, කන්නේ බොන්නේ රටේ ජනතාව සමඟ.

ඔබ එහෙම කිව්වට ඔබතුමන්ලා යන්නෙ වාහනවල. අඳින්නේ බ්‍රෑන්ඩඩ් ෂර්ට්. මිනිසුන් දකින්නේ වෙනම චිත්‍රයක්?

අපි ජනතාවට කියන්නේ ජන බලවේගය ආණ්ඩුවක් හදන්නේ රටේ ඔක්කොටම ප්‍රීතිමත් ජීවිත ගත කරන්න පුළුවන් රටක් හදන්න. හැමෝටම සතුටෙන් ඉන්න පුළුවන් රටක් අපි හදනවා. කන්න බොන්න සතුටින් ඉන්න අපි විරුද්ධ නෑ. එහෙම සතුටින් ඉන්න පුළුවන් රටක් හදන්නයි අපි මේ හැමදෙයක්ම කරන්නෙ. අපි නාස්ති නොකර හොරකම් නොකර දැන් බ්‍රෑන්ඩඩ් අඳිනවා නම් ඒකෙන් කියන්නේ මොකක්ද. නාස්තිය හොරකම නැවැත්තුවොත් හැමෝටම ඒ දේ කරන්න පුළුවන් හොඳින් ජීවත් වෙන්න පුළුවන් කියන එකයි.

රටට නායකත්වය දෙන්න පුළුවන් පිරිස් බලයක් දැනුවත් කණ්ඩායමක් ජාතික ජන බලවේගය සමඟ ඉන්නවද? මේ ඇමැතිකම මෙයාට, මේ තනතුර මෙයාට කියලා වගකීම් භාර දෙන්න පිරිසක් ඉන්නවද?

කවුරුත් අහන්නේ ඔය ප්‍රශ්නයනේ. ආණ්ඩු කරන්න කවුද ඉන්නේ කියලානේ. ඊට කලින් බලන්නකෝ මේ ආණ්ඩුවේ ඉන්නෙ කවුද කියලා. 150ක්ද කොහෙද ඉන්නවා. නමුත් රට පාලනය කරන්නේ පස් දෙනයි. බැසිල් ඉන්දියාවට ගිහිල්ලා  කිව්වේ මොනවද කියලා කැබිනට් මණ්ඩලය දන්නෙත් නෑ. බැසිල් යන්නේ 18. ගිවිසුම් අස්සන් කරන්නේ 15 වැනිදා. කැබිනට් එකට දාන්නේ 21. ගිහින් අස්සන් කරලා විකුණලා ආවට පස්සෙ කැබිනට් මණ්ඩලය දැනගන්නේ. කවුද තීරණ ගත්තේ. කවුද සාකච්ඡා කළේ.  රාජපක්ෂ පවුලේ අය විතරයි.

හැමදාමත් මේ රට ආණ්ඩු කළේ කුස්සි කැබිනෙට්ටුවලින්?

ඔබ මේ ප්‍රශ්නයට හෘද සාක්ෂියට එකඟ පිළිතුරක් දෙන්න.

මම සෑම පිළිතුරක්ම දෙන්නේ හෘද සාක්ෂියට එකඟව තමයි.

ආණ්ඩුවේ ඉන්න බව පෙන්වමින් එළියට තොරතුරු දෙන කණ්ඩායමක් මේ වනවිට ආණ්ඩුව තුළ සිටිනවාද? 

අපොයි ඔව්, එවැනි අය ඕන තරම් ඉන්නවා. කැබිනට් මණ්ඩලේ හමාර වෙලා එළියට එන්නත් කලින් අපට බඩු දෙන කට්ටිය ඉන්නවා. ඔයා මගෙන් නම් අහන්න නම් එපා.

ඔබ හිතන අන්දමට ඔවුන්ගේ අපේක්ෂාව බලාපොරොත්තුව කුමක්ද? 

බලාපොරොත්තුව මේ ටික එළවන එක. මෙතැන තියෙන ප්‍රශ්න, හොරකම් ඇතුළෙ ඔවුන්ට තියෙන කෙනෙහිලිකම් ගැන අපට වඩා ඇහින් දුටු සාක්ෂි තියෙන්නේ ඒ ගොල්ලන්ටනේ. ජනතාවට කිව්ව දේයි, දැන් සිද්ධ වෙන දේයි අතර පරස්පරය අපට වඩා හොඳට පේන්නේ ඔවුන්ටනෙ. ඒක නිසා මේ ආණ්ඩුව එපා වෙච්ච මිනිස්සු ආණ්ඩුව ඇතුළෙ ඉන්නවා. අද ඇත්ත වශයෙන් ගත්තොත් කැබිනට් මණ්ඩලයක් නැහැ. එක පවුලක කිහිපදෙනෙක් එකතු වෙලා රට විකුණනවා. මේක ශ්‍රී  ලංකාව අල්ල ගත්තු හොර කල්ලියක්. ඔවුන් රටේ මහජනතාව පාරට ඇදලා දමලා. මම කියන්නෙ මේ පෝලිම්, භාණ්ඩ හිඟය, මේ සෑම එකක්ම ඔවුන් මූලිකව ඇතිකළ ව්‍යසනයන්. මේ කිසිවක් ඉබේ සිද්ධ වුණු දේවල් නොවේ. මේවා සාගතයට, කොරෝනා උවදුරට, යුක්රේන යුද්ධයට හේත්තු කළාට ලංකවාට සිද්ධ වෙන්න ඕන නැති දේවල් ඔවුන් විසින් සිද්ධ කරලයි තියෙන්නේ.

මේ ආණ්ඩුවට අසීමිත බලයක් හිමිවීමද මේ විනාශයට මුල?

ඔබ හරි, ඔවුන් ආවේ ඔවුන්ට විරුද්ධව තිබුණු නඩු ටික ඉවරයක් කරගන්න. නමුත් හිතුවෙ නැති බලයක් ලැබුණා. දැන් බලය මොළයට ගහලා තියෙන්නේ. බලය රාජපක්ෂ පවුලේ මොළයට ගහලා මොළය අවුල් වෙලා. ඕක තමයි ඇත්ත කතාව. ආණ්ඩුව ඇතුළෙ ඉන්න හැමෝටම ඕකට එකඟ වෙලා ඉන්න බැහැනෙ. 

මුදල් ඇමැති අති දක්ෂයෙක් කියලනෙ කිව්වේ

දක්ෂයි තමා දක්ෂ හොරකමට. එයාට මම හිතන්නෙ හොරකම් කරන්න මොළ හතක් නෙවෙයි 14ක්ම තියෙනවා. බැසිල්ට කලින් කිව්වේ ටෙන් ප්‍රසන්ට කියලනෙ. දැන් කියන්න ඕන තවුසන් ප්‍රසන්ට කියලා. එකට දාහක් ගහනවා. මම එහෙම කියන්නේ ඉන්දියාවට ඉන්දු – ලංකා ගිවිසුමෙන් ගන්නට නොහැකි වූ තරම් දේවල් බැසිල්ගෙන් ගත්තා.

අර්බුදය විසඳගන්න ඉන්දියාව ඩොලර් දුන්නා කියලයි ආණ්ඩුව කියන්නේ?

ඉන්දියාව ඩොලර් බිලියනයක් දුන්නා කියලා අපේ සංචිත වැඩි වෙන්නේ නැහැ. ඒකෙන් අපට ලැබෙන දෙයක් නැහැ. ඉන්දියාවෙන් ගෙනත් අපේ වරායෙ හිරවෙලා තියෙන බඩු නිදහස් කර ගැනීම විතරයි කරන්න පුළුවන්. ඉන්දියාව ඉන්දියාවේ බිස්නස් එක කර ගත්තා. බඩු විකුණ ගන්න ලංකාවේ මිනිස්සු අතේ සල්ලි නැත්නම් මොකද කරන්නෙ. සල්ලි ණයට දීලා හරි බඩුටික විකුණා ගන්න ඕන. මේ තේරෙන්න කියන්නෙ. ඔන්න ඉන්දියාව බඩුටික විකුණ ගත්තා. ඩොලර් බිලියනයක බඩු විකුණ ගත්තා ඒකේ කොමිස්කාරයා නැත්නම් සල්ලි ගෙනා මුදලාලි බැසිල්.

මේ ගනුදෙනුව අස්සෙ ලංකාවට අවාසිදායක ගිවිසුම් ගණනාවකට ගියා?

ඔව්, ලංකාවට උඩින් ඩේ‍රා්න යානා දෙකක් එල්ලන ගිවිසුමක් ගැහුවා. ඒක පුහුණු කරන්න ඉන්දීය හමුදාවේ පස් දෙනෙක් ලංකාවට එනවා. කවදාවත් එහෙම එකක් වෙලා නැහැනේ. අපට යුද්දෙ කාලෙවත් ඉන්දියාව ඩේ‍රා්න යානා දුන්නෙ නැහැනෙ. දැන් ඇයි මේවා දෙන්නේ. ඊළඟට ටොන් 4000ක පාවෙන නාවික තටාකාංගණයක්. එහෙම එකක් යුද්දෙදි ඉන්දියාව අපට දුන්නද. දැන් මොකද ඉන්දියාවයි ලංකාවයි අතර යුද්ධයක් තියෙනවද. ඉන්දියාව අපට සපෝට් කරන්න මොකද අපි මාලදිවයින එක්ක යුද්ධයක් කරනවද? අපිට ඩේ‍රා්න යානා අවශ්‍ය වෙන්නෙ උඩින් ඇවිත් පෝලිම් ටික බලන්න. ගෑස් පෝලිම්ද, ඉන්ධන පෝලිමද වැඩි කියලා බලාගන්න. 

චීනයක් එක්කක් වෙනම ගනුදෙනුවක් යනවා නේද?

චීනයෙන් ඉල්ලනවා ඩොලර් මිලියන 2.5ක්. එහෙට මොනවද දෙන්නේ. ඊළඟට බැසිල් මුදලාලි චීනෙ යනවා හරිය. චීනෙන් ගාණක් ගන්නවා. මෙහේ බඩු ටිකක් චීනෙට විකුණනවා. මේක හරියට ගෙයි උළුවස්ස ගලවලා විකුණලා හෙල්මට් එකක් ගත්තා වගේ. උළුවස්ස ඉන්දියාවට දීලා අපි හෙල්මට් එකක් ගන්නවා.

හොඳයි, බැසිල් ගිහින් මොනවද කරන්නේ

බැසිල් මොනවත් කරන්නෙ නැහැ. ඔක්කොම මෙහේදි අස්සන් කරගෙන යන්නේ. බැසිල් කිව්වේ ඇත්තනේ. මේ ඩොලර් බිලියනය හම්බවුණා කියලා ඉන්දියාවෙන් මීට පස්සෙ කිසිම කොන්දේසියක් නෑ කියලා. 15 වැනිදා බැසිල් යන්න කලින්ම අස්සන් කරලනෙ ගෙනිච්චෙ. මම නොවෙයි කියන්නේ. කැබිනට් පත්‍රිකාවෙම තියෙන්නෙ එහෙමයි. මුදල් ඇමැති බැසිල්ගේ විදේශ සංචාරය නිසා මේ ගිවිසුම් අස්සන් කරන්න කටයුතු යොදා ගත්තා කියලා. ඉතින් බැසිල් කියන කතාව හරි සල්ලි ගත්තට පස්සෙ කොන්දේසි නැහැ.

අපේ රටේ මුදල් ඇමැතිවරු ලෝකයේ නොයෙක් රටවල්වලට යනවා කවුරුත් දන්නවා රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර සබඳතා තියෙන පුද්ගලයෙක්. එතකොට ජනතා විමුක්ති පෙරමුණට එවැනි ජාත්‍යන්තර සම්බන්ධයක් තියෙනවද ජාත්‍යන්තර සබඳතාවලින් ජවිපෙ ශක්තිමත්ද?

ඔව්. අපි ශක්තිමත්. අපිට ආණ්ඩුව දීලා බලන්නකෝ. ඔය කාටවත් ආණ්ඩු බලය නැත්තන් ශක්තිමත් නෑනේ. ඉතින් ඔවුන් කියනවා රනිල්ට තමයි ජාත්‍යන්තර සබඳතා තියෙන්නේ. සජිත්ට තමයි හොඳට ඉංගී්‍රසි කතා කරන්න පුළුවන්.?

ඉතිං හත්තිලව්වේ මේ අවුරුදු 74ට මේ රට විනාස වුණේ ඔය සබඳතා නිසානේ. ඔය කියන සබඳතා හොඳට තිබුණා නම් මේ රට තියෙන්න ඕන සුරපුරයක් වගේනෙ. සිංගප්පූරුවටත් ඉස්සරහින් හිටපු රට, බංගලි දේශයටත් ඉස්සරහින් හිටපු රට, ශ්‍රී  ලංකාව මෙතෙන්ට වැටුණේ ඔය සබඳතා නිසානේ. එතකොට මේගොල්ලෝ හොඳ යාළුවෝ. ඉඳලා තියෙන්නේ ලංකාවෙන් කෑලි  කඩා ගන්න. අම්මගෙ කිරි බීපු තනේ කඩා ගන්න යාළුවන්ගෙන් ඇති වැඩේ මොකක්ද. ඔය වගේ යාළුවො  ගම්වලත් හම්බ වෙනවා. මහින්දලට, රනිල්ලට, සජිත්ලට  ඉන්නේ  පාප මිත්‍රයෝ. ආශ්‍රය කරන්න හොඳ නෑ. දැනගෙන ආශ්‍රය කරන්න පුළුවන්. හැබැයි ඔය පාප මිත්‍රයෝ රටට කරපු විනාසෙ  දැනගෙන අපි ආශ්‍රය කරනවා. තරහ වෙන්නෙ නෑ. ඇමෙරිකාව, ඉන්දියාව, චීනය, එක්ක අපි තරහ වෙන්නෙත් නැහැ. අපිත් ඔය යාළුවෝ ආශ්‍රය කරනවා. හැබැයි යාළුවෝ කවුද කියලා දැනගෙන. 

සජිත් කෙළින්ම කියනවානේ රටවල් තුනකින් තෙල් දෙන්න ලෑස්තියි. මට සම්බන්ධකම් තියෙනවා කියලා.?

ඒවා ඉතිං විපක්ෂයේ ඉඳගෙන කියන විහිළු කතානේ. මටත් ඕවා කියන්න පුළුවන්. විපක්ෂයේ ඉන්නකොට අපට තියෙන්නේ පක්ෂ පක්ෂ අතර සම්බන්ධතා. විපක්ෂයේ ඉන්නකොට රටක් හැටියට සම්බන්ධතා නෑනේ. ලෝකේ ඕනෑම රටක් ගනුදෙනු කරන්නේ ආණ්ඩු එක්ක. රටවල් 25ක අපේ පක්ෂ සංවිධාන තියෙනවා. චීන කොමිස් පක්ෂයත් එක්කත් අපට සම්බන්ධතා තියෙනවා. අපේ කාර්යාලයට තානාපති නිලධාරීන් ඇවිත්  අපිව හමුවෙනවා. විදේශ නියෝජිත පිරිස් ඇවිල්ලා අපිව හම්බෙනවා. අපි අපේ ස්ථාවරයේ ඉඳගෙන ඔවුන් එක්ක වැඩ කරනවා.

රටේ මිනිස්සු කන්න බොන්න නැතුව ලොකු අර්බුදයක ඉන්නවා. මෙවැනි වාතාවරණයකදී ජනතාවාදී පක්ෂයක් හැටියට ජනතාවට උදවු කරන්න පුළුවන්ද.?

උදවු කරන අවස්ථා ගොඩක් තියෙනවා. දැන් අවශ්‍ය වෙන්නේ මහා දැවැන්ත මැදිහත්වීමක්. රට මුහුණදී ඇති ප්‍රශ්නෙට පුංචි උත්තර හරියන්නේ නෑ. මම හොඳ උදාහරණයක් කියන්නම්. දැන් තිස් අවුරුදු යුද්ධය නිසා මේ රටෙන් එළියට ගිහින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අද ඒ ගොල්ලො විශ්‍රාමික වයසේ ඉන්නේ. ලොකු පෙන්ෂන් එකක් තියෙනවා.  ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ වගේ රටවල ඉන්න අය ලංකාවට කැඳවන වැඩපිළිවෙළක් තියෙන්න ඕන. දැන් ඒගොල්ලො ලංකාවට එන්න කැමැතියි. විශ්‍රාම දිවිය ලංකාවේ ගත කරන්න.

දැන් එවැනි අය ඩොලර්වත් ලංකාවට එවන්නේ නෑ?

ආණ්ඩුව හොරකම් කරන නිසා ඒ අය සල්ලි එවන්නේ නෑ. එහෙම නෙවෙයි ඒ අයට ආයෝජන අවස්ථා දෙන්න ඕන. ඒක මේ ආණ්ඩුව කිව්වට මිනිස්සු පිළිගන්නේ නෑ. හැබැයි ජන බලවේගයේ ආණ්ඩුවක් කිව්වාම ඒක මිනිස්සු පිළිගන්නවා. ඩොලර්වලින් අපනයන ආදායම එන රටවල් තියෙනවා. ඒ වගේ වැඩ කරන සේවකයන්ටත් අපි කියන්න ඕනෑ ඩොලර්වලින් පඩි ගෙවනවා කියලා. සොෆ්ට්වෙයාර් තාක්ෂණ ආයතනවලට ඩොලර්වලින් පඩි ගෙවන්න පුළුවන්. ලංකාවේ තරුණයෝ කොච්චර ඒවට සම්බන්ධ වෙයිද.  ආදායම ලබන්නේ ඩොලර්වලින් නම්  පිටරට යන්න දඟලන  තරුණයන් මේ රටේ නතර වෙනවා.

දැන් ඔබේ පරණ යාළුවෝ ඇමැතිකම් අතෑරලා එළියට ඇවිත් ඉන්නවා. ආයෙ කතාබහ කරලා  එකතු වෙන්න සූදානම් කිව්වොත් මොකද කරන්නේ?

අසූචි හෝදාගෙන නාලා ආවත් ගන්නේ නම් නෑ. 

දැන් නුගේගොඩ රැලිය ගැන කතා කරමු.  ඔබතුමන්ලා අපේක්ෂා කරන තරම් පිරිසක් සමුළුවට සහභාගි වුණාද?

අපේ ආරාධනයෙන් පැමිණි පිරිසට වඩා ස්වේච්ඡාවෙන් පැමිණි පිරිස වැඩියි. ඉන්ධන අර්බුදයක් තියෙද්දි අපි මිනිස්සුන්ට ගමන් පහසුව සලසන්නේ නැතුව ඔවුන්ම සංවිධානය වෙලා නුගේගොඩට ආවා.  අපි ස්තුතිවන්ත වෙනවා එහි පැමිණි ජනතාවගේ තිබුණු විනයට. අපේ රැස්වීම් කඩාකප්පල් කරන්න පෙළපාළි කඩාකප්පල් කරන්න පැහැදිලි කුමන්ත්‍රණයක් තිබුණත් විනයගරුක සාමාජිකයෝ ඒ ප්‍රයත්නයන් ව්‍යර්ථ කළා.

පක්ෂ නායකයන්ගේ ජීවිතවලට යම් අනතුරක් ඒ තුළ මතු වෙන්නෙ නැද්ද?

ඔවුන් පරාජය පිළිගන්නෙ නැහැනෙ. අන්තිමට කුලී හමුදාවල, මැර හමුදාවල, පිහිට තමයි අපේ සතුරන් පතන්නේ. අනතුර නෑ කියලා අපි කියන්නේ නෑ. අනතුර තිබුණා කියල මේ රටේ තියෙන ප්‍රශ්නවලට මැදිහත් නොවී ඉන්න පුළුවන්ද.

අපි දකිනවා සජිත් ගෝල්ෆේස් ආවා. ජවිපෙ නුගේගොඩට එනවා. මේව කරලා ජනතා ප්‍රශ්නවලට නිර්වින්දනය වෙලා ඉන්න ආණ්ඩුව ගෙදර යයිද?

යන්නෙ නෑ යවන්න ඕන.  අපි මේක පටන් ගත්තෙ ආපහු හැරෙන්න නෙමෙයි. මේ ආණ්ඩුව යවනවා වගේම ආයි මේ ජාතියෙ ආණ්ඩු ඕනත් නෑ.  ජනතාව එන්න ඕන එළවන්න විතරක් නෙවෙයි අලුත් ආණ්ඩුවක් හදන්න. හොරකම් නැති. විනිවිදභාවයක් තියෙන. නාස්තිය, දූෂණය  නැති. නීතියේ ආධිපත්‍ය ඇත්තටම පිහිටුවන්න පුළුවන්. අලුත් ආණ්ඩුවක් හදන්න.  අපේ වෙනසක් තියෙනවා නේද ඒ වෙනස තියෙන්නෙ විනයත් එක්ක. සංවිධානාත්මක භාවයත් එක්ක. 18 වැනිදා අපි තරුණ බලවේගය කොළඹට ආවා 23 වැනිදා මහා දැවැන්ත රැස්වීමක් නුගේගොඩ කළා. 29 පොළොන්නරුවේ ගොවි උද්ඝෝෂණය තියෙනවා. අප්‍රේල් 5 අප්‍රේල් සමරුව. පළමුවැනිදා මැයි පෙළපාළි පවත්වනවා. අපි වෙහෙස නොබලා විවේක නොගෙන වැඩ කරනවා.

ඔය මොනවා කළත් මිනිස්සු හැම වෙලාවෙම 88-89 භීෂණය ගැන කතා කරනවා.  එතකොට ජනතාව එයින් තිගැස්සෙනවා ඇයි මේකට හරි පිළිතුරක් නොදෙන්නේ.?

මොකක්ද ඒ හරි උත්තරය. මට පැහැදිලි නෑ. වෙච්ච දේවල් අපි ජනතාවට පැහැදිලි කරල තියෙනවා. අද අපි ආයුධ වෙනුවට මහජනතාවගේ කැමැත්ත අතට අරන් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙලා එදා ආයුධ ගත්තට ප්‍රජාතන්ත්‍රවාදය තියෙන වෙලාවේ ආයුධ ගන්න අවශ්‍ය නැහැනේ. අපි කොච්චර අපේ අතින් වෙච්ච අඩුපාඩු නිවැරදි කරගෙන තියෙනවද. අවුරුදු 32ක් අපේ 6 දෙනෙක් මැතිවරණවලදි ගහලා මරලා තියෙනවා. නමුත් අපි එක ගල්කැටයක් ගහන්නැතුව දේශපාලනය කරලා තියෙනවා. තව මොනවද කරන්න තියෙන්නේ. මම අහන ප්‍රශ්නය අපි අතීතයේ වෙච්ච දේවලට සමාවෙන්න කියලා ඉල්ලලා තියෙනවා. අපි විතරක් නෙවෙයි අපේ නම් යොදා වරදක් කළා නම් ඒකටත් සමාව ඉල්ලා තියෙනවා. සජිත් ප්‍රේමදාසගෙන් කවුරුවත් අහනවද තාත්තා කරපු අපරාධවලට සමාව ගත්තද කියලා. රනිල් වික්‍රමසිංහට කවුරුවත් කියනවද සමාව ගන්න කියලා.

මෑත ඉතිහාසයේ මේ ආණ්ඩුව මාධ්‍යවේදීන් පැහැරගෙන ගිහින් මැරුවා ඒවාට සමාව ඉල්ලලා නෑ. අවංකවම මේ කියන්නේ තමන් කරපු වැරදිවලට ජනතාව විඳවනවා. ජේ. ආර්. ජයවර්ධන හයෙන් පහක බලය තියාගෙන මැතිවරණ කල් දැම්මා. ඒකට කට පියන් හිටපු නිසා ජනතාව විඳවනවා. 87 ඉන්දු ලංකා ගිවිසුමෙන් වෙච්ච විනාසෙට ජනතාව විඳවනවා. ඒවා පාවිච්චි කරලා චන්ද්‍රිකා බලයට ඇවිත් රට විකුණුවා. එදා සද්ද නැතුව හිටපු ජනතාව  විඳවනවා. හැබැයි අද මේකේ වෙනසක් තියෙනවා  ජනතාව තමන් කරපු වරද ප්‍රසිද්ධියේ කියනවා. අපි ගෝඨාභයට ජන්දය දුන්නා. අපි ගෝඨා එළවනවා කියනවා.

හැබැයි අවසාන මොහොතෙ  තුරුම්පුවක් දාලා බලයේ ඉන්න බලාවි කියලා ප්‍රශ්නයක් තියෙනවා.?

අන්තිමේ මොකක් හරි කරයි කියලා මතයක් හදනවනෙ. ඉතින් අන්තිම වෙලාවේ මොනා හරි කරයි කියලා අපි දැන්  දන්නවනේ. ඒක නේද හොඳම දේ. ජනතාව  රැවටෙන්නේ නැතුව ඉන්න ප්‍රශ්නේ ඉවරයිනේ.  අන්තිම මොහොත අපි වෙනස් කරමු. ඔය අන්තිම මොහොත ගෝඨාභයට ඉතුරු වෙන්නේ නෑ. මොකද ජනතාව ඒගොල්ලන්ට කැමැති නැත්තන් ඒගොල්ලන් එපාවෙලා නම් අන්තිම මොහොත තියෙන්නේ ඔවුන්ට නෙමේ අපට. අන්තිම මොහොතක් ඒගොල්ලන්ට ඉතුරු වෙන්නේ නෑ. අන්තිම මොහොතට කලින් ඒගොල්ලන්ට තමන්ගේ රටවල් බලා පිටත් වෙන්න සිදු වෙනවා.

සංවාදය – අනුරාධා හේරත්