රට රකින්න ආපු විරුවා රටේ අහසයි මුහුදයි විකුණන්න හදනවා

0
73

ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය රැලි දෙකක් තිබුණා. ඔබ  හෘද සාක්ෂියට එකඟව කියන්න, මේ රැලි දෙක අතර තිබුණු වෙනස මොකක්ද?

ඒ රැලි දෙක අතර අපි වෙනසක් හොයන්නෙ නෑ. ඒ රැලි දෙක කොටස් දෙකක්. ජවිපෙ රැලියට වඩා අපි ඉදිරියෙන් ඉන්නවා. නමුත් දැනට සමස්ත රටේම ජනතාව දුප්පත් මනුෂ්‍යයාගේ ඉඳලා ලොකු ව්‍යාපාරිකයා දක්වා අපිත් එක්ක මේ සියලු දෙනාම ඉන්නවා රට ඉදිරියේදී අපි භාර අරගෙන හරි විදිහට කරයි කියලා බලාපොරොත්තුවෙන්. ඒ වගේම  අපි ළඟ ඉන්නවා මන්ත්‍රිවරු කණ්ඩායමක්. අපේ නායකයා තනියම නෙවෙයි. සජිත් ප්‍රේමදාස විතරක් නෙවේ, ඒ එක්ක සජිත් ප්‍රේමදාසලා කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමත් එක්ක තමයි වැඩ කරන්නෙ. 

අපි රටට හ¾දුන්වා දෙනවා ඉදිරි කාලයේදී අපි මොනවද රට සංවර්ධනය කරන ආකාරය, කොහොමද මිනිසුන් ජීවත් කරවන්නේ, කන්න බොන්න අඳින්න දෙන්නේ, ඒ වගේම ඒ අයගේ  පහසුකම් ටික සපයන්නෙ, අධ්‍යාපන, සෞඛ්‍ය වෙන්න පුළුවන්  අනෙක් සියලු පහසුකම් වෙන්න පුළුවන් සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපි කොහොමද සකස් කරගන්නෙ කියලා, දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් කොහොමද සම්බන්ධ කරගන්නෙ, ජාත්‍යන්තර සම්බන්ධතා මොනවද, මේ වගේ සමුදායක් එකට එකතු කරගත්ත රැලියක්  තමයි ඒක.

නමුත් ජවිපෙ රැලියෙ වගේ ඔබලාගෙ රැලියෙ විනය රැකුණද?

 අපි වැඩ කරන්නෙ සමස්ත ජනතාව එක්කනෙ. එතකොට  විනය  ගැන කතා කරද්දි ඒ කතා කරන හැම කෙනාම එකට අහු වෙනවා. එතැනට ආවෙ රටේ ජනතාවනෙ. එතැනට ආවෙ අපේ මේ සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු කණ්ඩායම නෙමෙයිනෙ. මන්ත්‍රිවරු කණ්ඩායම එක්ක මේ රටේ සාමාන්‍ය මිනිස්සු ටික ආවෙ. ඒ  සාමාන්‍ය අය එතැනට  ආවම එකේ හැම වර්ගයක්ම ඉන්නවා. ඒ හැම වර්ගයක්ම අපිට විනය හදාගෙන යන්න  බැහැ එක පාර. ඒක බොරු කතාවක්. රටේ අතීතයේ ඉඳලා හැදිලා තියෙන ක්‍රමයක් තියෙනවා. 

ඒ ක්‍රමය අනුව තමයි ඒගොල්ලො එදත්  සහභාගි වුණේ්. ඒකෙ  ඇත්තටම පූජකයන් වගේ අය ඉන්න  පුළුවන්. ඒ වගේම බොහෝම සංවරව හිමින්  ගමන් කරන කණ්ඩායම් ඉන්න  පුළුවන්. හයියෙන් කෑගහන  අය ඉන්න පුළුවන්. සමහර අය ඒ ඒ විදිහට පාවිච්චි කරන දේවල් පාවිච්චි කරලා ඉන්න පුළුවන්. ඒ හැම කෙනෙක්ම ඉන්නවා. හැම භාෂාවක් කතා කරන, හැම ආගමක්ම අදහන,  එක එක විදිහට ගම්වල ජීවත් වෙන කණ්ඩායම් ඉන්න පුළුවන්. ඒ ඔක්කොම  අපිත් එක්ක ඉන්නවා.

ඇත්තටම ඔබලාට අලුත් සටන් පාඨයක් නෑ නේද? ජවිපෙන් ගැම්ම අරන් නේද ඔබලත් දැන් ගමන යන්නෙ?

අලුත් සටන් පාඨ කියන්නෙ බොරුනෙ. අපි නමක් දානවා නම් දාන්නෙ ජනතාවගෙන් හිත ගන්නනේ. නමුත් මෙරට කරන්න තියෙන වැඩ කොටස මොකක්ද? මේ රටේ කරන්න තියෙන වැඩ කොටස තමයි මේ රටේ මිනිස්සු ජීවත් කරවන එක. ඒකට තියෙන්නෙ එක ක්‍රියාදාමයයි. හැබැයි ඒ ක්‍රියාදාමයට දේශීය හා ජාත්‍යන්තරය ඕනෑ. අපි මේ වෙද්දි  ජාත්‍යන්තරය දිනාගෙන ඉවරයි.  අපි ආණ්ඩුවක් කරනවා නම් මේ රටේ වැඩ කරන සියලු දේට අපි අවශ්‍ය ශක්තිය සහයෝගය දෙන්න  ජාත්‍යන්තරය අපිට පොරොන්දු වෙලා ඉවරයි. 

දේශීය  අපේ වැඩපිළිවෙළ හදන්නත් දක්ෂයෝ හොඳට සූදානම්. මහපොළොව කොටන්න පුළුවන් මිනිස්සු ටිකකුත් ඉන්නවා අපි එක්ක. බීජ හිටවන්න පුළුවන්  අයත් ඉන්නවා. ඒකෙ පලදාව ගන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා. ඒකෙ සිස්ටම් එක හ¾දුන්වලා දෙන්න අයත් ඉන්නවා. තාක්ෂණය දන්නා අයත් ඉන්නවා. හැම කෙනාම අපිත් එක්ක ඉන්නවා. අපි යන්නෙ  රට හදන ක්‍රමවේදයකට මිසක් අපි වේදිකාවේ කරන කතාවකට මිනිස්සු රවට්ටන්න නොවේ. අපි යන්නේ ක්‍රියාවට. හැබැයි රටේ ජනතාව කතාවෙන් මුළා කරන එක රටට හොඳ නෑ. කාලයක් තිස්සෙ ‍රටේ ජනතාව මුළා වුණේ කතාවට. කතාවලට විතරක් මුළා වෙලා රට කරන්න  බෑ. අපි පැය 24ම ජනතාවට වැඩ කරන්න සූදානම්.

ඔබලා ඇයි සර්ව පාක්ෂික සමුළුවට නොගියේ?

සර්ව පාක්ෂික සමුළුව කියන්නෙ සම්පූර්ණම දේශපාලන වැඩසටහනක්. දේශපාලන නාටකයක්. තවදුරටත් 2019ට පෙර වේදිකාවේ කියපු පට්ටපල් බොරු එකතු කරගත්ත නැවත වතාවක් ජනතාව ඉදිරියේ බොරුවට ජනතාවට වැඩ කරනවා, කන්න දෙනවා, අඳින්න දෙනවා කියලා කතාබහ කරන ඒක සන්දර්ශනයක්. ඒ වගේ සන්දර්ශනයකට වාඩි වෙන්න තරම් අපි මෝඩ කණ්ඩායමකුත් නෙමෙයි. අපි නැවත වතාවක් එවැනි තත්ත්වයට මේ රට වට්ටන කණ්ඩායමකුත් නෙවෙයි. අපි ප්‍රායෝගික කණ්ඩායමක්.

නමුත්  ඔබේ නායකයා මහා උජාරුවෙන් අර්බුදවලට විස¾දුම් තියෙනවා කියනවා. ඒවා මෙවැනි සමුළුවක කිව යුතුයි නේද? 

අපි මොකටද අපේ විස¾දුම් ඔය දේශපාලන සමුළුවල කියන්නෙ. අපේ විස¾දුම් දැන් කිව්වට අපිට කරගන්න බැහැනෙ. මේ ආණ්ඩුවේ මිනිස්සු ඔය පුටුවලින් නැඟිටලා යන්නෙත් නැත්නම්  අනිවාර්යයෙන්  මිනිසුන්ට වැඩ කරන්න ඕනෑ. ඔය දෙකෙන් එකයි තියෙන්නෙ. වැඩ කරන්නෙ නැත්නම් දාලා යන්න ඕනෑ. හැබැයි වැඩ කරන්නෙත් නෑ දාලා යන්නේ නැත්තම්  ජනතාව දැනගන්න ඕනෑ ආණ්ඩුව එළවන්න.  ජනතාවට කියන්නෙ එන්න  අපිත් එක්ක ආණ්ඩුව  එළවන්න කියලා.

ජනතාවට ආණ්ඩුව එළවන්න කිව්වට කොහොමද  ඔවුන් ඒක  කරන්නෙ? ඔය නිකම් කියමන් පමණක්නෙ?

ජනතාව අපිත් එක්ක එකරාශී වුණොත් අපි දන්නවා ආණ්ඩුව එළවන ක්‍රමය. හැබැයි ජනතාවටත් ඒ හැඟීම ඕනෑ. ජනතාවට ඒ හැඟීම ඇතිවේගන එනවා. හැබැයි තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ විතරක් ආණ්ඩුව එළවන හැඟීම ඇති වෙලා බැහැ. සමස්තයක් හැටියට හැම ගමකම, හැම ගෙදරකම ජීවත්වන ජනතාව තමුන්ගේ ප්‍රශ්න හරියට අ¾දුනාගෙන ඒ ප්‍රශ්නය අරගෙන එළියට එන්න ඕනෑ. අපි සූදානම් ඒකට නායකත්වය දෙන්න. ඉස්සරහට ඇවිල්ල අපි ජීවිතය දෙන්න සූදානම්. සමහර වෙලාවට  අපිට ජීවිත පරිත්‍යාග කරන්න වෙයි. අපි මැරෙයි. 

හැබැයි  අපි පිටිපස්සේ කණ්ඩායමට හොඳ රටක් ඇති වෙයි. ඒ නිසා ඒ නායකත්වය දෙන්න සූදානම්. හැබැයි ජනතාව මීට වඩා තව අපිත් එක්ක එළියට බහින්න ඕනෑ. අපි ගාව පැහැදිලි වැඩපිළිවෙළක් තියෙනවා මේ රට හදන්න. රට හදන්න තියෙන සාධක හතර පහයි තියෙන්නෙ. ඒ ප්‍රධාන හතර පහ හදපුවම මිනිස්සුන්ට හොඳට කාලා ඇඳලා ජීවත් වෙන්න අවශ්‍ය රටක් නිර්මාණය කරගන්න පුළුවන්.

නමුත් සර්ව පාක්ෂික සමුළුවට ඔබලා නොගියේ ඔබලාගේ ආණ්ඩුවෙ තිබූ වැරැදි පාලනය ගැන  චෝදනා එල්ල වන නිසා කියලා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියනවා?

කබ්රාල් කවුද අපෙන් ප්‍රශ්න අහන්න. කබ්රාල්ට උත්තර දෙන්න අපි සූදානම් නෑ. කබ්රාල් කියන්නෙ දේශපාලන පත්වීමකට ආපු අධිපතිවරයෙක්නෙ. ඔහු මේ රටේ ස්වාධීනව කටයුතු කරන අධිපතිවරයෙක් නොවේ. මේ වෙද්දී  අසමත් වෙලා,  ජරා වෙලා  වැඩකට නැති වුණු මනුස්සයෙක්නෙ කබ්රාල්. මහ බැංකු අධිපතිකමේ තව දවසකටවත් වාඩි වෙලා ඉන්න සුදුසු නැති කෙනෙක් මේ. අපි එයාට මූණට කියන්නේ තමුන්නාන්සේ කවුද අපෙන් ප්‍රශ්න අහන්න කියලා. ඔතනින් නැඟිටලා යනවා කියලා කියන වචනය තමයි ඉතින් අපිට කියන්න තියෙන්නෙ.   

හැබැයි එයාගෙන්  ප්‍රශ්න ඇහුවොත් අපි එයාගෙ ඇ¾දුම් ගලවලා යන්න වෙන්නෙ. ඒගොල්ලො අවුරුදු 20ක් රට පාලනය කළා. යහපාලනය  අවුරුදු හතරහමාරයි තිබුණේ. ඒ ආණ්ඩුවෙත් කලවමක් තිබුණේ. ඒ ආණ්ඩුවෙ හිටපු ජනාධිපති සමුළුවෙ වාඩිවෙලා ඉන්නවා. එයානෙ සර්ව පාක්ෂික සමුළුව කැ‍ෙ¾දව්වෙ.  ඇ¾දුමක් ඇඳගෙනද කතා කරන්න මිනිස්සු  ඉස්සරහා.

ඔබේ නායකයා පාර්ලිමේන්තුවේ හා ගම්වල ගිහින් කතා කළාට මේ වගේ තැනක කතා නොකිරීම විශාල  අඩුවක්. ඒ වෙනුවට හිටපු අගමැති සෘජුවම කතා කරලා ජනතා ප්‍රසාදයක් ලබා ගත්තා නේද?

මොකක්ද  වාසිය?  කතා කරන එකද වාසිය. කතා කරන එක වාසිනම්  හොඳ හරි දේ කතා කරන්න ඕනෑ අපි. හැබැයි මිනිසුන්ට කතා නම් හරියන්නෑ. අර මෝඩයෝ  ටිකක් ගාව ඉඳගත්තම බුද්ධිමතකුට කතා කරන්න පුළුවන්. අපි දැක්කේ සර්ව පාක්ෂික සමුළුවෙ මෝඩයෝ සහ උගත්තු වාඩි වෙලා  ඉන්නවා.  මෝඩයන්ට කතා කියද්දී ඒව තමයි රටට ගියෙ. හැබැයි එතැන කතා වුණාද රට කරන විදිහ. මිනිස්සුන්ට කිරිපිටි ටික, ගෑස්, තෙල් ටික  දෙන්නෙ කොහොමද  බඩු මිල අඩු කරන්නෙ කොහොමද කියලා  කතා කරාද? තම තමුන්ගෙ එක එක හැකියාවන් ගැන විතරක් කතා කළා. හැකියාව බෙදා ගන්න එතනට යන්න  ඕනෑ නෑ. මිනිස්සුන්ට සල්ලි වියදම් කරගෙන ගිහිල්ලා වාඩි  වෙලා ලෝකෙට බොරුවක් පෙන්නන්න පිස්සුවක් නෑ.

ඔබට හිතෙන්නෙ නැද්ද ‍රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසට වඩා දේශපාලන ක්‍රියාකාරිකයෙක් ලෙස අද  ඉදිරියෙන් ඉන්නවා කියලා?

රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලන ක්‍රියාකාරිකයෙක් ලෙස ඉන්නෙ අද ඊයේ නෙවේනෙ. ලොකු  ඉතිහාසයක්  තියෙනවා එතුමට. සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ  නායක වුණේ මේ පාරනෙ. තවම පුංචි කාලයක්.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් උගත යුතු දෑ ගොඩක්  තිබෙනවා නේද?

අපිට එයාගෙන්  විතරක් නෙමෙයි. රටේ හිටපු සියලු නායකයන්ගෙන් ඉගෙන ගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාත් ඉගෙන ගන්නවා. අපිත් ඉගෙන ගන්නවා. හැමදාම ඒ සියලු දෙනාම අධ්‍යයනය කරනවා.

වාර්තා වෙනවා “රනිල් – සජිත්ගෙන්” මන්ත්‍රී කොටසක් ගලවාගන්න මෙහෙයුමක ඉන්නෙ කියලා?

රනිල් වික්‍රමසිංහ එක්ක යන්න තරම් මං දැක්කෙ නෑ අපෙ කවුරුත් අඩු මාසෙන් ඉපදුණු හෝ මන්ද බුද්ධික තත්ත්වයෙන් ඉන්න අය. එහෙම කවුරු හරි ඉන්නවනම් තමයි දැන් මේ වගේ සමුළුවකට ගිහිල්ලා වාඩිවෙන්නෙ. එහෙම වාඩිවෙන්න කවුරුත් ඉන්නවා කියලා මං විශ්වාස කරන්නේ නෑ. එහෙම කවුරු හෝ යනවනම් ඒ මන්ද බුද්ධික වෙන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ කියන්නෙ දැන් අපේ පක්ෂයේ කෙනෙක් නෙවේ. එක එක පක්ෂවල තියෙන අදහස් ඒ ගොල්ලන්ගෙ යෝජනා ඒගොල්ලො කැමැති දේවල් ගැන කතා කරන එක  අපේ වගකීම නෙවේ.

සජබ පහුගියදා ජනාධිපති කාර්යාලය වැටලුවා. විශාල රැලියක් තිබ්බා. ඒක එතනින්ම ඉවරද?

සාමාන්‍යයෙන්  එහෙම  වටකරාට පස්සෙ ඉවරයි නේන්නම්. වටකරලා අපි දුන්නේ ඉඟියක් විතරයි. පළමු වැනි වෙඩි මුරය ඒ තිබ්බේ. අපි වටකරලා පෙන්නුවා.  හැබැයි ඊළඟ සටන් ඊට වඩා ගොඩක් වෙනස් වෙයි. හැබැයි ඒ වෙනස් වෙන්න  නම් මොනවද කළ යුත්තේ. අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් ගහන්නද. ඒක  අස්සට  ගිහිල්ලා බොරුවට රඟපාලා සෙල්ලම් දාලා එතන නිලධාරියකුට අඩන්තේට්ටම් කරලා එළියට එන්නද. ඒකද රටට අවශ්‍ය කරන්නේ.

නමුත් දේශපාලන පක්ෂයකට අලුත් සටන් ක්‍රම තිබිය යුතුයි නේද?

ඔව්. අනිවාර්යයෙන්. ඒ සටන් ක්‍රම ඔබට ඉදිරි කාලේ දැනගන්න ලැබෙයි. ඒ සටන ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ දැන්. 100%ක් ක්‍රියාත්මකයි. ඒක හැම දවසකම ක්‍රියාත්මකයි. අපේ කණ්ඩායම් තැන් තැන්වල ඒ සටන කරනවා.

ඒ රැලියට දහස් ගණනක් ජනතාව එක් වුණා. නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවත් සමඟ ඒ සටනම පුස් වෙඩිල්ලක් වුණා කියලා මතයක් හැදුණා?

ඒක බොරුනෙ. සජිත් ප්‍රේමදාස නායකතුමාගේ කතාව අහලා මිනිස්සු සන්තෝසෙන් ගියා මිසක් මිනිස්සු දුක් වුණේ නෑ.

ඔහොම කියන්නෙ හිත සතුටු කරගැනීමේ වෑයමක් විදිහටද?

අපි එක්කනෙ ජනතාව ආවෙ. ඒගොල්ලො එහෙම කිව්වෙ නෑ. ඒගොල්ලො ආයෙත් එන්නේ කොයි වෙලවෙද කියලා  බලාගෙන ඉන්නවා. ඔය මත පතුරුවන්නෙ  සමාජ මාධ්‍ය ජාල හරහා රාජපක්ෂලාගේ සල්ලිවලින්. රාජපක්ෂලාගේ කකුල් සෝදන කණ්ඩායම් ඉන්නවා අපි දැක්කා. අර සමාජ මාධ්‍ය හරහා සමහර අය සජිත් ප්‍රේමදාස ඒගොල්ලන්ට නිකම් ඇලර්ජි එකක වුණා. එයාට නම කියලා කතා කරන්නවත් තේරෙන්නෙ නෑ. ඒ තරම් බත්බැළයො වෙලා රාජපක්ෂලාගේ. රාජපක්ෂලා ඒ ඔළුවලට විතරක් නෙවේ ඔවුන්ගේ හැමදේටම කවලා එක එක  දේවල්. ඒ තරම් පහත් තත්ත්වයට වැටිලා මාධ්‍ය දාලා. එවැනි රටක දේශපාලනය කරන එක ලේසි නෑ. ඔය ඔක්කොම හොරකම් කරලා ගත්ත සල්ලි ඒ මඩ කණ්ඩායමට දෙන්නේ. ඔය කණ්ඩායම් මෙහෙයවන්නෙ ඒකෙන් තමයි.

ඔබේ නායකයා ප්‍රකාශ කළා නේද  රටවල් තුනකින් අපිට තෙල් දෙන්න ලෑස්තියි කියලා. ඉතින් මෙච්චර මිනිස්සු දුක් විඳිද්දි ඇයි ඒක නොකර ඉන්නෙ?

අපේ නායකතුමාට තෙල් දෙනවා කියලා තියෙන්නේ අපේ ආණ්ඩුවකදි. කියලා තියෙන්නේ අපේ ආණ්ඩුවක් හෙට ගන්නවනම් අපේ ආණ්ඩුවට ඒක  දෙන්නම්. මේ ආණ්ඩුව ඒ අයට සත පහකටවත් විශ්වාස නැහැ. දැනට තියෙන ආණ්ඩුව අපේ නෙවේ වගේම ආණ්ඩුවකින්  ආණ්ඩුවකට රටවල් උදවු කරන්නේ. එතකොට කවුරුහරි විහිළුවට හරි ඇහුවොත්  ආණ්ඩුවක් තියෙද්දි විපක්ෂයකට උදවු කරන්නෙ මොකද කියලා. ඒක බොරුනෙ. එහෙම  එකක් වෙන්නෙ නෑනේ.  දැන් තියෙන ආණ්ඩුව ඒගොල්ලන්ට පිළිකුල්. මේ ආණ්ඩුවෙ ඉන්නෙ බොරුකාරයො, වංචාකාරයෝ, වැඩ බැරි  අය. මේ රටම විනාශ කරන කණ්ඩායම ඉන්නේ කියන එක දැන දැන ඒගොල්ලො කියන්නේ එහෙම දෙන්න බෑ කියලා. අපි කියන්නෙ පුටුවලින් නැඟිටලා යන්න. ඉතිරි ටික අපි බලාගන්නම්.

සජිත් ඉන්නකම් විපක්ෂයට දිනන්න බෑ කියලා මතයක් තිබෙනවා?

ඇයි එහෙම කියන්නෙ.

ඔහු රටට විහිළු සපයන්නෙක් කියල ඔබලටත් ඇහෙන්න තියෙන කාරණයක් නේද?

එතුමා කොහෙවත් විහිළු සපයලා නෑ. හොරෙක්, දූෂිතයෙක් නෙවේ. අතේ ලේ තවරාගත් කෙනෙක් නෙවේ. දාන සෙරෙප්පු දෙකට අඳින ඇ¾දුමට අපහාස කරනවා. එහෙම කරලනෙ අර විරුවෙක් ගෙනාවෙ. විරුවා දැන් ඔය කරලා තියෙන්නෙ. 

දැන් සජබ මන්ත්‍රිවරු කපන්න බැරි අත ඉඹිනවා වගේද හැසිරෙන්නෙ කියලා ඇතැම් ප්‍රකාශවලින් හැඟෙනවා?

එහෙම කපන්න බැරි අත ඉඹින කවුරු හරි මන්ත්‍රිවරු ඉන්නවනම් නම් එළියට ඇවිත් ප්‍රසිද්ධියේ ඒක ප්‍රකාශ කරන්න  කියන්නකෝ. කපන්න බැරි අත ඉඹිනවා කියලා කවුරු හරි මන්ත්‍රිවරයෙක් කියනවා නම් ඒ මිනිහා ඇත්තටම  ජනතාවට වැඩ කරන්න  සුදුසු නෑ. නායකයටත් බොරු කරනවා, රටටත් බොරු කරනවා එහෙනම්. එහෙම  අය පක්ෂයේ නෑ.

ඔබ ඇතුළු මන්ත්‍රි කණ්ඩායමක් අප්‍රේල් මස යුරෝපයේ රටවල් කිහිපයක සංචාරයක නිරත වෙන්න සූදානම් බව වාර්තා වී තිබෙනවා. ඩොලර්  තියෙනවද?

ඩොලර්  අරන් යන්නෙ නෑ. අපි  යන්නේ අපේ පක්ෂ වැඩසටහනකට.  අපි යන්නෙ නිවාඩුවක් ගත කරන්න නෙවේ.  මොකද මමයි ප්‍රධානියා හැටියට එහි කටයුතු කරන්නේ අපේ සමගි ජන බලවේගයේ විදේශ කටයුතු සම්බන්ධව. ඒ කියන්නෙ  විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයො ඒකරාශි කර ගැනීමේ වැඩසටහනෙ ප්‍රධානී හැටියට වැඩ කරන්නේ මම. ඒකට නමක් තියෙනවා සමගි විදේශගත ශ්‍රී ලාංකික බලවේගය කියලා.  මංගල වැඩසටහන අපි යුරෝපයෙන් පටන් ගන්නවා. අපි එක එක්කෙනා පෞද්ගලිකව ටිකට් එක අරගෙන යන්නේ. ඒ සියලු කටයුතු ඒ රටවල ඉන්න අය සියල්ල සපයනවා. අපිට මෙහෙන් ඩොලර් ගෙනියන්න ඒවා අපිට අවශ්‍යතාවක් නැහැ. මේ ජොලි කරන්න යන ගමනක් නෙවෙයි. කිසිම නිදහසක් නැති වැඩසටහනක් හදලා තියෙන්නේ. ඉදිරියේදී සියලු රටවල්වලට අපි යනවා.

විපක්ෂ නායකයා කිව්වා ජනාධිපතිවරණයකට යන්න ඕනෑ කියලා. ව්‍යවස්ථා විශාරදයන් පෙන්වා දෙන්නේ වසර දෙකහමාරක් යනතුරු ජනාධිපතිවරණයකට යන්න බෑ කියලා?

ඔය විශාරදයන් සියලු දෙනාම දැනගත යුතු කාරණයක් තියෙනවා. දෙපැත්තක් හිතන්න ඕනෑ. අපි කිව්වේ මොනවද? ජනාධිපතිට යන්න කියලා. ගෝඨ ගෝ හෝම් කියලා කිව්වේ. ගෝඨාභය ගෙදර යනවා නම් රටේ ජනාධිපති කෙනෙක් පත් විය යුතු නැද්ද?

නීත්‍යනුකූලව ව්‍යවස්ථානුකූලව සිදුවිය යුත්තක් නේද එය?

අපි කිව්වෙ නෑ ව්‍යවස්ථාවට පිටින් ජනාධිපතිවරණයක් තියන්න කියලා.

නමුත්  ඔබේ නායකයා කිව්වෙ අද  හෙට  සිදුකරන දෙයක් වගේනේ?

ඉතින් ජනතාවනෙ කියන්නෙ ගෝඨාභය අද හෙට ගෙදර යන්න කියලා. කවුරුත් කියන්නෙ නෑ තියාගන්න කියලා. ඔයා දකිනවනේ පෝලිම්වල මිනිස්සු ආණ්ඩුවට හෙණ ඉල්ලන හැටි. මිනිස්සු ගෝඨාභය ගෙදර පල කියනවා. හැබැයි අපි ජනාධිපතිවරණයක් ඉල්ලද්දි එහෙම ඉල්ලන්නෙ කොහොමද අහනවා.

මිනිස්සු කියන්නෙ ගෝඨාභය  ගෙදර යන්න. සජිත් එන්න කියලා නෙවේනෙ මන්ත්‍රිතුමා?

අපි කිව්වෙ නෑනෙ සජිත්  එන්න ඕනෑ කියලා. අපි ඉල්ලුවෙ ජනාධිපතිවරණයක්. 

මේ ඔක්කොම කාරණා මැනලා බැලුවම අපිට නම් පේන්නෙ විපක්ෂයත් තනි පුද්ගලයකුට ඔටුන්න පලඳවන්න යන බවක්? ජනතාවගේ ආර්ථික ප්‍රශ්නවල කැක්කුම දැනෙන්නෙ නෑ නේද?

ජනතාව කියනවා නම් අපිට කැක්කුම පෙන්නන ක්‍රමවේදයක්. අපේ ක්‍රමවේද පෙන්නන්න කැමැතියි. අපි දන්නෑ එහෙම පෙන්නන්න. අපේ හදවතේ තියෙනවා අපි ජනතාවට වැඩ කරන්න කැමැතියි පැය 24ම. එහෙම නැතිව පපුවට ගහලා පොළොව ඉඹලා සෙල්ලම් දාන්න අපිට බෑ. ඒවට ගමේ කියන්නෙ “මෝඩ චූන්” කියලා.

විධායක බලය පාර්ලිමේන්තුවට පැවරීම ඇතුළු කාරණා අඩංගු 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් මන්ත්‍රි විජයදාස රාජපක්ෂ පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස ගෙන තිබෙනවා. සහාය දෙන්න සූදානම්ද?

එතුමා ඉදිරිපත් කරලා තියෙන්නෙ 20 අයින් කරන්න කියලානෙ. 20 අයින්  කරන්න කියන එකේ අපි 100%ක් ඉන්නවා. හැබැයි 21 ගේන විදිහ ගැන අපිට එකපාර උත්තර දෙන්න බැහැ. ඒක  බොහොම සංකීර්ණයි.  එක්කෙනාගේ හිතට එන කතන්දර ලියලා ඒක කරන්න  බැහැ. ඒ ගැන අපිට අධ්‍යයනය කරන්න යම් කාලසීමාවක් ඕනෑ. ඒ කාලසීමාව තාම අර ගත්තෙ නෑ. හැබැයි පෞද්ගලික මන්ත්‍රි ‍යෝජනාවක් කථානායකවරයාට පස්සට දාන්න පුළුවන්. යෝජනාවට විශාල කණ්ඩායමක් ඡන්දයක් තියලා තීන්දුවක් ගත්තොත් ඒක පෞද්ගලික පනතක් නොවී සාමාන්‍ය පනතක් ලෙස ගන්න පුළුවන්. බලමු ඉදිරියේදී.

මේ වෙද්දී  සමුද්‍රීය  ආරක්ෂණ පනතක් වගේම අපේ ගුවන සම්බන්ධ පවා පනතක් ගෙනැවිත් තිබෙනවා. මෙහෙම ගියොත් රටක් ඉතිරි වෙයිද? ඇයි මේවා සංවාදයට නොගැනෙන්නෙ?

මේ වැරැද්ද කරේ සම්පූර්ණයෙන්ම මේ රටේ 69 ලක්ෂය. මේ 69  ලක්ෂයේ යම් ප්‍රමාණයක් අඩුව තිබුණනම් අද මෙච්චර ඡන්ද ප්‍රමාණයක් දීලා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ගොඩක් එහෙම හැදුවේ නැත්තම් අද මේ ප්‍රශ්න වෙන්නේ නෑ. අද මේ වෙනකොට මේක කැඩිලා මේක යම් තැනකට ඇවිල්ලා. හැබැයි ඒ දුන්න වරදෙදි බලය වැඩිකම නිසා අද මේ මෙතනට රට ගෙනත් තියෙන්නෙ. ඒ නිසා අපි කියන්නේ ජනතාව සූදානම් විය යුතුයි තම තමුන් පත්කරපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අමතා තමුන්ගේ ප්‍රදේශයේ ඒ මන්ත්‍රිවරයාට ගිහිල්ලා විශාල බලපෑමක් කරන්න. 

රට බේරලා දීපන් කියලා කෑගහන්න. රටේ විකුණන දේවල් නවත්තපන් කියලා ලොකු බලපෑමක් එල්ල කරන්න. අපි පක්ෂයක් හැටියට ඒ බලපෑම සම්පූර්ණ කරනවා. මොකද අපිට පේනවා රාජපක්ෂලා දිනෙන් දින තමුන්ගේ අසමත්භාවය, තමුන්ගේ බැරිකම මකාගන්න රටම විකුණන්න වැඩපිළිවෙළකට යනවා.  මේ රට විකුණන වැඩසටහනෙදී ලොකු ජාවාරමක් තියෙනවා. රටේ ජාතික  ආරක්ෂාව සපයන්න ආපු විරුවා අන්තිමට ‍රටේ අහසයි මුහුදයි දෙකත් පවරන්න හදන්නෙ. විරුවා මුළු රටම කෑවා. රට ඉන්දියාවටයි, චීනෙටයි භාරදීලා තියෙන්නෙ. මේ හැම විකිණීමකම කොමිස් කුට්ටි රාජපක්ෂලාගේ සාක්කු පුරවනවා. මිනිස්සු පාරට බහින්න  ඕනැ නැද්ද ඉතින්.

මුදල්  ඇමති බැසිල් රාජපක්ෂ  රටේ තත්ත්වය  පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම ගැන විපක්ෂය දිගටම  කතා කළා. තවම ඇහුම්කන් දී නෑ නේද  ඊට?

අපි බොහොම තදබල විදිහට කියන්නෙ මේ මුදල් ඇමැතිට. බැසිල් ඔබ වහාම ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න. ඇමැතිවරයා ලෙස  ඔතන වාඩි වෙලා ඉන්න තවත්  ඔබ සුදුසු නෑ බැසිල්. බැසිල් වහාම ගෙදර පලයන් කියන මතයත් ජනතාව හදන්න ඕනෑ. මුදල් ඇමැතිවරයා මේ වෙනකොට රටවල් එක්ක ගහන ගිවිසුම් එකක්වත් පාර්ලිමේන්තුවට හෝ ජනතාවට ඉදිරිපත් කරලා නෑ.  මේ දේපොළ  බැසිල්ගෙ පෞද්ගලික දේපළ විදිහට  විකුණන්න බැහැ. එක වෙලාවක්වත් රටේ ආර්ථිකය ගැන හෝ මුදල් තත්ත්වය ගැන හෝ ඉදිරි අනාගත සැලසුම් ගැන හෝ කිසිම වචනයක් ඔහු කියන්නේ නෑ. අද මහබැංකු අධිපති මුදල් කාරක සභාව මඟහරිනවා. මොන ආණ්ඩුවක්ද මේක. එතකොට මේ රටේ එක පැත්තකින් නීතියක් නෑ. ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කරනවා. පාර්ලිමේන්තු ක්‍රමවේද උල්ලංඝනය කරනවා.  රටේ ජාතික ආරක්ෂාව නෑ.

සංවාදය – අනුරාධා හේරත්