යුක්‍රේන ආක්‍රමණයේ ‘පළමු අදියර’ අවසන් බව රුසියාව කියයි

0
712

රුසියාවේ මිලිටරි සැලැස්මේ ‘පළමු අදියර’ මේ වන විට සම්පුර්ණ වී ඇතැයි රුසියාවේ සාමාන්‍ය කාර්ය මණ්ඩලයේ පළමු නියෝජ්‍ය ප්‍රධානී කර්නල් ජෙනරල් සර්ජි රුඩ්ස්කෝයි පවසා ඇත.

ඊයේ (මාර්තු 25) සිකුරාදා පැවති සාකච්ඡාවකදී එම ජෙනරල්වරයා යුක්‍රේනයේ තුළ ක්‍රියාත්මක රුසියාවේ මිලිටරි මූලෝපාය පිළිබඳව වඩාත් සවිස්තරාත්මක ප්‍රසිද්ධ ප්‍රකාශයන් කිහිපයක් ලබා දෙමින් මේ බව ප්‍රකාශ කර ඇති බව ය.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඔවුන්ගේ මූලික අවධානය දැන් නැගෙනහිර යුක්‍රේනය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක බවට ඔහු පවසා ඇති බව ය.

“සාමාන්‍යයෙන්, මෙහෙයුමේ පළමු අදියරේ ප්‍රධාන කර්තව්‍යයන් අවසන් කරලා තිබෙනවා… යුක්‍රේනයේ සන්නද්ධ හමුදාවන්ගේ සටන් විභවය සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා. ප්‍රධාන ඉලක්කය – ඩොන්බාස් විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන උත්සහයන් වෙත අවධානය යොමු කිරීමට මම නැවතත් අවධාරණය කරනවා.” යනුවෙන් ඔහු එහිදී සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ නමුත් රුසියා – යුක්‍රේන ආක්‍රමණයේ ආරම්භයේ සිට ම විශාල හමුදා පිරිසක් රුසියාවට අහිමි වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රුසියාව නැගෙනහිර දෙසට අවධානය යොමු කරන අතරතුර යුක්‍රේනයේ හමුදා රටේ වෙනත් තැන්වල සිර කරමින් කියෙව් අගනුවර වැනි ප්‍රධාන යුක්‍රේන නගරවලට බෝම්බ හෙළීම සහ වට කිරීමට රුසියානු හමුදාව උත්සාහ කරමින් සිටින බව ය.

මේ අතර, තම හමුදා රුසියාවට “ප්‍රබල පහරවල්” එල්ල කර ඇති බව ත් එබැවින් බරපතළ සාම සාකච්ඡා අවශ්‍ය බව හඳුනා ගන්නා ලෙස ත් රුසියාවෙන් ඉල්ලා සිටින බව යුක්‍රේන ජනාධිපති වොලොඩ්මීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් සඳහන් කරන්නේ, මේ වන විට යුක්‍රේනයට එල්ල කරනු ලබන රුසියානු ප්‍රහාර හමුවේ ය්‍රක්‍රේන දරුවන් 136 දෙනෙකු මිය ගොස් තවත් 199 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද එරට නිලධාරීන් පවසා ඇති බව ය.