මම තමයි පොර කියලා හිතුවොත් පැවැත්මක් හදාගන්න බැහැ

0
42


කොහොමද මේ දිනවල වැඩකටයුතු? 

වැඩකටයුතු සාමාන්‍ය පරිදි කෙරීගෙන යනවා. මේ දිනවලදී සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා, ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා සහ චාමර සමරවික්‍රම එක්ව නිර්මාණය කරන පාර දිගේ ටෙලි නාට්‍යට සම්බන්ධ වී සිටිනවා. ඊට අමතරව ධනුෂ්ක රයිමොන්ඩ් අධ්‍යක්ෂණය කරන ගීතාංජනද කොස්තා නිෂ්පාදනය කරන  රේස් ටෙලිනාට්‍යයත් සම්බන්ධ වී සිටිනවා. එහි තිර රචනය උදය කංකානම්ගේ. 

ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද? 

ක්ෂේත්‍රයට පිවිසෙන්නේ එක්තරා නාළිකාවක අවුරුදු කුමරිය තරගයට සහභාගි වීමෙන්. එහිදී මම අවසන් ‍ෙදාළොස් දෙනා අතරට තේරුණා. ඉන් පසුව තමයි ක්ෂේත්‍රයේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. 

ඔබ සම්බන්ධ වූ පළමු නාට්‍යයෙන්ම යම්කිසි අසාධාරණයකට ලක් වුණා නේද? 

මම ප්‍රථමයෙන් සම්බන්ධ වුණේ මුතුලෙන්‍ෙදාර නාට්‍යයට. නමුත් එය සම්පූර්ණයෙන්ම පෞද්ගලික බලපෑමක් හේතුවෙන් අතරමඟ නතරවුණා. නාට්‍යය කරන්න බැහැ කියලා කිසිම අවස්ථාවකදී මම ප්‍රකාශ කරල නැහැ. නමුත් ඇතැම් පුද්ගලයන් මාගේ ඉවත් වීම සමාජගත කරලා තිබුණේ ඒ විධියට. ඇත්තටම ඒ ප්‍රශ්නය මගේ ජීවිතයට හොඳ පාඩමක් කියලා දුන්නා. ක්ෂේත්‍රයේ කැපිලි තිබෙනවා කියලා පැවසුවට මම එය හරියටම අත්වින්දේ මේ ප්‍රශ්නයෙන් පසුවයි. නමුත් එවැනි දේවල් කරලා නම් මාව වට්ටන්න බැහැ. දැන් නම් කොහොමටවත් බැහැ. මොකද මම දැන් ඒවාට මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනඟාගෙන තිබෙනවා. 

රංගනයෙන් දායක වූ පළමු නිර්මාණයෙන්ම අතරමගදී ඉවත් වීමට සිදු වුණා. ඇතිවන මානසික පීඩාව සුළුපටු නැහැ. කොහොමද ඔබ එය දරාගත්තේ? 

විශාල මානසික පීඩාවක් තිබුණා. විශේෂයෙන්ම එය මගේ කුළුඳුල් නිර්මාණය. ඇත්තටම මට අදටත් සිතාගන්න බැහැ. ක්ෂේත්‍රයේ නමක් ඇති අය මම වගේ ආධුනිකයකු සමඟ ප්‍රශ්නයක් ඇති කරගත්තේ ඇයිද කියලා. ඒ වෙලාවේ ඇති වූ මානසික පීඩනය මට ජීවිතයම අමතක වෙන්නේ නැහැ. මගේ අම්මා, අයියා, නංගි මගේ මහත්තයා  සහ සමීපතම හිතවතුන් නොසිටින්නට අද මම මෙතැන නැහැ. එයාලා නිරන්තරයෙන්ම මගේ ළඟින් සිටියා. මගේ සිත හැදුවා. කෙසේ නමුත් පාරදිගේ සහ රේස් මගේ මානසික පීඩනයට හොඳ ඔෟෂධයක් වුණා කියලා මම සිතනවා. 

නවකයකු හට ක්ෂේත්‍රයට පිවිසීම සහ ක්ෂේත්‍රය තුළ ර¼දා පැවැතීමක් සකසා ගැනීම කොතරම් අසීරුද? 

ක්ෂේත්‍රයට පිවිසීම නම් එතරම්ම අසීරු නැහැ. ඒ සඳහා අද ඕනෑ තරම් මාර්ග සහ ක්‍රම තිබෙනවා. අවුරුදු කුමරා – කුමරිය වැනි තරග පවත්වන්නේ ආධුනික මුහුණු ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්නයි. නමුත් පැවැත්ම තමයි අසීරුම කර්තව්‍ය. අප දන්නවා ක්ෂේත්‍රයේ හොඳ සහ නරක දෙයාකාරයටම රැඳිලා සිටින මිනිස්සු සිටිනවා. ඕනෑම ක්ෂේත්‍රයකටම එය සදාතනික සත්‍යයක්. මෙහිදී හොඳ විධියට ඉදිරියට යන කෙනකුට නමක් හදාගන්න ලොකු කාලයක් යනවා. නමුත් වැරදි මාර්ග ඔස්සේ ඉදිරියට යන අය නම් ඉක්මනින් ක්ෂේත්‍රයේ ඉහළට පැමිණෙනවා. නමුත් කලක් යනවිට පැමිණියාට වඩා වේගයෙන් පහළ බසිනවා. කලාව කියන්නේ බොහොම ලස්සන දෙයක්. ඉතින් ආධුනිකයන්ට මම ක්ෂේත්‍රයට ආරාධනා කරනවා. ක්ෂේත්‍රයට පැමිණ ආත්ම විශ්වාසයකින් යුතුව සහ තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගෙන තමන්ගේ ගමන යන්න කියලා. 

පාර දිගේ නාට්‍ය ඔබගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා නේද? 

ඔව්. ඇතතටම චාමර අයියට, රංගන ද සිල්වා අයියට සහ අධ්‍යක්ෂවරු ඇතුළු පිරිසට මම ස්තූතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා මට මේ වගකීම භාර දුන්නට. විශාල මානසික පීඩාවකට ලක්ව සිටි අවධියක පාර දිගේ නාට්‍යයට සම්බන්ධ වීමට ලැබුණේ මගේ වාසනාවට. චාමර අයියා මගේ සහෝදරයෙක් වගේ. එම නිසා ඔහු මගේ ගැන විශ්වාස තබන්න ඇති කියලා සිතනවා.  

මේ නිර්මාණයවත් නොලැබුණා නම් මම ක්ෂේත්‍රයෙන් ඉවත් වීමටත් ඉඩ තිබුණා. 

නවක රංගන ශිල්පිනියකුට ආත්ම විශ්වාසය කියන දෙය කොතරම් වැදගත්ද? 

නාට්‍යය දෙක තුනක් කළ පමණින් මම තමයි සියල්ල දන්නේ (පොර) කියලා සිතුවොත් එවැනි අයට පැවැත්මක් නැහැ. “සෙට්” එකකට ගියාම එහි සිටින ප්‍රවීණයන්ට නිසි ගෞරවය ලබා දෙන්න ඕනෑ. මම පෞද්ගලිකව ප්‍රවීණයන්ට ගෞරව කරනවා. මට වඩා වයසින් අඩු අයගෙන් මට ගෞරවය ලැබිලත් තිබෙනවා. තමන් ආධුනිකයි කියලා සිතීම රංගනයට විශාල බාධාවක් කියලා මම සිතන්නේ නැහැ. නමුත් රංගන කාර්ය තුළදී සෑම විටම ලැජ්ජාව බිය තිබෙන විට යම් අපහසුතාවකට ලක්වෙනවා. විශ්වාසයෙන් තමන්ගේ කොටස හරියට කළා නම් තම  රංගනය සාර්ථක වෙනවා. 

විශේෂයෙන් මතක් කළ යුතු අය සිටිනවාද? 

ඔව්. මගේ අම්මා, අයියා, නංගි ඇතුළු මගේ පවුලේ සැමදෙනාවම මතක් කරනවා. ඒ වගේම මගේ මහත්තයාවත්. ඔහු මාව හොඳින් තේරුම් අරගෙන සිටිනවා. ඔහුත් ක්ෂේත්‍රයට සම්බන්ධ අයෙක්. 

ඉදිරි වැඩ කටයුතු මොනවාද? 

පාර දිගේ සහ රේස් ටෙලි නාට්‍යයට දෙකට මගේ උපරිම රංගන දායකත්වය ලබාදෙනවා. ඒ වගේම ඉදිරියේදී මට ලැබෙන නිර්මාණවලටත් සාර්ථකව මගේ දායකත්වය ලබාදීමටත් බලාපොරොත්තුවෙන් සිටිනවා.

දුමිඳු ලංකා බණ්ඩාර