බිඳුණු උකුල් අස්ථිය උණුකර යළි යථා තත්ත්වයට සවි කළ හෙළ වෙද විස්කම

0
53


පුරාණ වෛද්‍ය ශාස්ත්‍රයේ බොහෝ ඔසු පැළෑටි තෝරා ගන්නේ, රෝග පිළිබඳව ඒ ඒ ප්‍රමාණ යොදා ගන්නේ අත්දැකීමෙන්මයි. භාවිතයෙන්මයි. මහපොළොවේ සරු පස මත බිහිවූ කොතෙකුත් ඔසු පැළෑටි මේ සඳහා යොදා ගැනුණා. ඒ ඒ වෛද්‍යවරු ලෙඩ රෝගවලට සරිලන සේ මේ පරම්පරා දැනුම පත පොතෙහිත් සඳහන් කළා. ඒවා වසර දහස් ගණනක් පුරාවට මේ රටෙත් පාරම්පරික හෙළ වෙද ඇදුරුතුමන්ලා රැගෙන ආවේ ගරු කටයුතු උත්තම මෙහෙවරක් අනාගතයටත් දායාද කරවන්නයි. 

ඉතා ඉපැරැණි හෙළ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉතා සුවිශේෂ කොටසක් තමයි කැඩුම් බිඳුම් වෙදකම. ඔබ නොදන්නවා වුණාට ඕනෑම අනතුරකදී ඇට බිඳී පැත්තකට වැටී ඔත්පළව සිටින රෝගීන්ට මේ වෙදකමේ නියමාකාර ප්‍රතිකාර කළේ නම් ඔහුට හෝ ඇයට නිසැකයෙන්ම සුවය සැලසෙනවාමයි.

අප අද කතා කරන්නේ මේ වෙදකමෙන් සුවය ලැබූ රෝගියකු පිළිබඳ තොරතුරුයි. දකුණු පළාතේ ඉතා ප්‍රකට වසර තුන් හාරසියයක් පැරැණි වෙද පරපුරක වෛද්‍යාචාර්යවරයකු වන එම්.ඒ. මදනායක වෛද්‍යතුමන් ඒ ගැන කියන්නෙත් මෙහෙමයි.

“අපේ වෛද්‍ය ශාස්ත්‍රයේ නිවැරැදි අවබෝධයත් අත්දැකීමත් පළපුරුද්දත් අනුව තමයි එය තව තවත් අනාගතය පෝෂණය වෙන්නේ. ඔබ සිතාවි උකුල් ඇටය බිඳුණොත් එය දිරා ගියොත් මොනවාවත්ම වෙන්නේ නෑ කියලා.

මේ සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා සිතා ඉඳලා තියෙන්නෙත් එහෙමයි. එයා මීට වසර හත අටකට පෙර ටයිල් අල්ලපු පොළොවක ලිස්සා ගොස් තුනටිය වැදී තිබුණා.  තුනටියේ වේදනාවට නොයෙකුත් ප්‍රතිකාර අරන් වේදනා නාශක පෙති බිබී වරින් වර කල් ගත කරලා තියෙනවා. නමුත් ශරීරය පණ නැතිවන, සමබරතාව නැතිවෙන තත්ත්වයක් උදාවුණාම තමයි බරපතළකම දැනිලා තියෙන්නේ.

රෝගියා වෛද්‍යතුමන් වෙත එද්දීත් බොහෝ කටයුතු සිදුවී අවසන් බව කියැවුණා.

“කොන්දේ වේදනාව ගිය දුරක්. තව ටිකක් ගියා නම් මෙයා ඇඳටම වැටෙනවා. අප වෙත ආ පසු අප ඔහු හොඳින් පරීක්ෂා කළා. තොරතුරු හා සිද්ධි විමසුවා. එතැනදී අපට ශරීරයේ ඒ ඒ තැන ක්‍රියා කරන ආකාරය අනුව රෝගී තත්ත්වය වටහාගත හැකි වුණා. ඔහුගේ උකුල් ඇටය පුපුරා ගිහින් තවත් කාලයක් ගිය තැන නිසි ප්‍රතිකාර නොලද නිසා “අස්ථි ධාතු ක්ෂය”  කියන තත්ත්වයට පත්වෙලා තිබුණා. එය බරපතළ තත්ත්වයක්.  එක්කෝ බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව අකුල් ඇටය ශල්‍ය කර්මයකට ලක්කොට මහත් වේදනාකාරී ප්‍රතිකර්මවලට බඳුන් කළ යුතුයි.  එය සාර්ථක වීම මේ වැනි වයස අවුරුදු 50  ඉක්ම වූ අයකුට කෙසේ වේදැයි හිතාගන්න බැහැ”

රෝගය සුවපත් කරනුයේ කෙසේදැයි වෛද්‍යතුමන් විස්තර කළේ මෙහෙමයි.

“අපේ ඉපැරැණි වෛද්‍ය ශාස්ත්‍රයට අනුව ඕනෑම අස්ථියක් ඉතා අප්‍රකට බලගතු ඔසු මඟින් දියකර යළි තිබූ හැටියටම සවි කරන්නත් පුළුවන්.  හැබැයි එය බොහෝ ඉවසීමෙන් වගකීමෙන් කළ යුතුයි. රෝගියාගේ කැපවීමත් වැදගත්. 

ඉතා දුර්ලභ ඔසු එකතුවකින් කෙරුණු ප්‍රතිකාර විධි කිහිපයක් යොදා ගැනුණා. අප ඔහු අපේ තැන රඳවාගෙන එක දිගට ප්‍රතිකාර කළා. එය ඉතා සාර්ථක වුණා. ඔහු දැන් සම්පූර්ණයෙන් සුව වූ අයෙක්. ඒ තමයි පාරම්පරික අපේ හෙළ වෛද්‍ය ශාස්ත්‍රයේ මහිමය. අවාසනාවකට මේ සත්‍ය බොහෝ අය දන්නේ නෑ”

 විජිත කේ. පතිරණ