බැසිල් ඉන්දියාවට යන්න කලින් කැබිනට් අනුමැතියකින් තොරව අස්සන් කළ ගිවිසුම් හතර

0
47

බිඟුන් මේනක ගමගේ 

ඉන්දු – ලංකා ආණ්ඩු අස්සන් කර ඇති ගිවිසුම් තුනක් හා අස්සන් කිරීමට නියමිත තවත් ගිවිසුමක් හේතුවෙන් ශ්‍රී ලංකාව රාජ්‍යයක් හැටියට දැවැන්ත ස්වෛරීත්ව අර්බුදයකට තල්ලු කර තිබේ. 

රාජ්‍යයක අත්‍යවශ්‍ය කොන්දේසි හැටියට සැලකෙන භූමියත් ජනතාවත් ආණ්ඩුවත් ස්වාධිපත්‍යයත් යන ක්ෂේත්‍ර හතරම අනතුරේ හෙළන අවාසිදායක ද්විපාර්ශ්වික ගිවිසුම් හතරක් වන මේවා කැබිනට් මණ්ඩලය රූකඩයක් බවට පත්කරමින් අස්සන් කර ඇති බව ඒවාට අදාළ අමාත්‍ය මණ්ඩල සන්දේශ හා අතුරු ලේඛන පරිශීලනය කරද්දී පැහැදිලි වේ.

ගිවිසුම් හතරෙන් තුනක් මේ වනවිටත් කැබිනට්ටුව නොසලකා හැර අස්සන් කොට අවසන් අතර ආවරණ අනුමැතිය ලබාගැනීම හෙවත් අස්සන් කිරීමෙන් පසුව අනුමැතිය ලබාගැනීම යන විහිළු සහගත යෙදුමකින් එහි බිහිසුණු බව ආවරණය කරගැනීමට උත්සාහ දරා තිබේ.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පසුගියදා කළ ඉන්දීය සංචාරයට පෙර මෙම ගිවිසුම් අස්සන් කළ යුතු වූ බැවින් එවැනි තීන්දුවක් ගැනීමට සිදු වී යැයි පසුගිය කැබිනට් මණ්ඩලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශයෙහි ‘විස්තරය හා සාධාරණීකරණය’ යන තේමාවෙන් කරුණු පැහැදිලි කර ඇත. 

ඩෝනියර් යානා

පළමු කැබිනට් සන්දේශය ඉන්දීය රජය මඟින් ශ්‍රී ලංකා රජය වෙත ච්ර්ණී – 228 ඩෝනියර් නිරීක්ෂණ යානා සැපයීම යන හිසින් ඉදිරිපත් කර ඇත. නාවික හමුදාවෙහි පවතින සමුද්‍රීය ආවේක්ෂණ ශක්‍යතාව වැඩිදියුණු කරගැනීම සඳහා ඉන්දියාව වෙතින් ඩෝනියර් නිරීක්ෂණ යානා දෙකක් ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ විමසීමක් 2018 ජනවාරි 9 වැනි දින නවදිල්ලියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති ආරක්ෂක සමුළුවේදී ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද විමසීමක් ඊට මුල් වී යැයි එහි සඳහන් වේ. කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු පැවැසුවේ ඊට එවක කැබිනෙට්ටුවෙන් අවසර නොලැබුණු බවයි. 

කෙසේ වෙතත් මෙම යානා දෙකෙන් එකක් නාවික හමුදාවේ සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු හා ශ්‍රී ලංකාව තුළ හා ඉන් පිටත පිරික්සුම් හා බේරාගැනීමේ කටයුතු සඳහාත්, ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙහි නිරීක්ෂණ කටයුතු සඳහාත් යොදාගැනීමට අපේක්ෂා කරන බව එම කැබිනට් සන්දේශයේ සඳහන් කර ඇත. කෙසේ වෙතත් මෙම යෝජනාවට සංශෝධිත යෝජනාවක් ඉන්දියාව පාර්ශ්වයෙන් ඉදිරිපත්ව තිබේ. ඊට අනුව යානා දෙකෙන් එකක් වසර දෙකකට පසු ප්‍රදානයක් ලෙස ලබාදීමටත් එතෙක් ඉන්දීය නාවික හමුදා යානා සමූහයේ සේවයේ නියුතු යානයක් ලබාදීමටත් අනෙක් යානය ඉන්දියාවෙන් ණය යෝජනා ක්‍රමයක් හරහා මිලදී ගැනීමටත් ඉන්දීය රජය යෝජනා කර ඇත. 

ඉන්දියාවේ මෙම යෝජනාවට ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය මාර්තු 3 වැනිදා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට එකඟතාව පළ කර තිබේ. මෙසේ ලබාදෙන පළමු ඩෝනියර් යානාවේ නඩත්තුව හා ශ්‍රී ලාංකික ගුවන් හා නාවික හමුදා නිලධාරීන්ට පුහුණු කිරීම සඳහා පස් දෙනකුගෙන් සමන්විත ඉන්දීය තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් මෙරටට එවන බවත් ඔවුන්ගේ වෛද්‍ය, නවාතැන්, දුරකථන, අන්තර්ජාල, ප්‍රවාහන ඇතුළු සෙසු වියදම් ශ්‍රී ලංකා රජය දැරිය යුතුය. 

මෙහි බරපතළම කරුණ නම් ඩෝනියර් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් දෙරට අතර හුවමාරු ලිපියට අස්සන් තැබීම සඳහා කැබිනට්ටුවේ අනුමැතිය ලබානොගෙන මෙම ගනුදෙනුවට අදාළව ඉන්දීය මහකොමසාරිස්වරයා ඉදිරිපත් කළ ප්‍රදාන ලිපියට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න පසුගිය 15 වැනිදා අස්සන යොදා තිබීමයි. 2022 මාර්තු 18 දාතමයෙන් ආරක්ෂක ඇමැති හැටියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අස්සනින් ඉදිරිපත් කළ මෙම අමාත්‍ය මණ්ඩල සන්දේශයේ ඊට නිදහසට හේතු හැටියට දක්වා තිබෙන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පසුගියදා කළ ඉන්දීය සංචාරයට පෙර ලිපි හුවමාරුව කළ යුතු වූ බැවින් එවැනි තීන්දුවක් ගැනීමට සිදු වූ බවයි. ඒ අනුව මෙම ඩෝනියර් යානා ගනුදෙනුව සිදුව ඇත්තේ මුළුමනින්ම කැබිනට් මණ්ඩලය මඟහැර අත්තනෝමතික ලෙස බව පැහැදිලිය. 

ටොන් 4000ක පාවෙන තටාකාංගණය

ආරක්ෂක ඇමැති හැටියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අස්සනින් 2022 මාර්තු 18 දාතමයෙන් ‘ඉන්දියානු රජයේ මූල්‍ය අනුග්‍රහය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා ටොන් 4,000ක පාවෙන තටාකාංගණයක් අත්කරගැනීම’ හිසින් ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශයද එබඳුම තවත් ගිවිසුමක් සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා නාවික හමුදාවට කොළඹ නැව් තටාකාංගණ සමාගම මත යැපීමට සිදුවීම උපායමාර්ගිකව අවාසිදායක බව කියමින් පාවෙන නැව් තටාකාංගණයක් ඉදිකර ශ්‍රී ලංකා රජය වෙත ප්‍රදානයක් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ ගිවිසුම්ගත වීමකට අදාළ කරුණු එහි සඳහන් වේ. ඊට අනුව අදාළ නැව් තටාකාංගණය ඉදිකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම ශ්‍රී ලංකා රජය ඉන්දියානු ගෝවා නැව් තටාකාංගණ සමාගම සමඟ 2022 මාර්තු 22 වැනිදා අස්සන් කිරීමට නියමිතව තිබියද ඊට පෙර මාර්තු 15 වැනිදා ඊට අදාළ ගිවිසුමට කල්තබාම දෙරටේ බලධාරීහු අස්සන් තබා ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ඊට අස්සන් තබා ඇත. 

මෙම අස්සන් තැබීම සිදුකර ඇත්තේද කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතිය යටතේ යන වචන හරඹයට මුවාවෙමිනි. ඉන්දියාව සමඟ එවැනි ගිවිසුම්ගත වීමක් වුවත් 2020 පෙබරවාරි 19 වැනිදා කැබිනට් තීරණයක් ගෙන තිබුණේ පාවෙන තටාකාංගණය ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීමේ ක්‍රමයට පාවෙන තටාකාංගණයක් ලබාගැනීමටය. එසේ සියලු එකඟතාවලට පැමිණීමෙන් පසුව මාර්තු 18 දාතමයෙන් ඉදිරිපත් කළ මෙම අමාත්‍ය මණ්ඩල සන්දේශයෙන් ඉල්ලා ඇත්තේ කොන්ත්‍රාත් ගිවිසුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් අස්සන් තැබීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්නට බලය පවරන හැටියටය. මෙම ගිවිසුම සමඟ ලංකාවේ නාවික හමුදා යාත්‍රා ඇතුළු නාවික ආරක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතළ මැදිහත්වීමක් කිරීමට ඉන්දියාවට හැකිවනු ඇතැයි විද්වත්හු පවසති. 

සමුද්‍රීය මුදාගැනීම් මධ්‍යස්ථානය 

සමුද්‍රීය මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සපයාදීම, ස්ථාපනය හා අධිකාරිගත කිරීම මැයෙන් ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශය තෙවැනි සන්දේශයයි. ශ්‍රී ලංකාව තුළ සමුද්‍රීය මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටු වීමට 2017 වසරේ අප්‍රේල් 26 දිනැති කැබිනට් මණ්ඩල තීරණය ක්‍රියාත්මක නොවීම උපුටා දක්වමින් මෙම ගිවිසුමට පසුබිම එහි විස්තර කර ඇත. ඊට අනුව ඉන්දියානු රජය ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන හයක අරමුදල් භාවිත කර මෙම මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිත අතර 2019 ඔක්තෝබර් 09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ඊට අනුමැතියදී ඇත. 

මෙම මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා තෝරාගෙන ඇති භාරත් ඉලෙක්ට්‍රොනික් ලිමිටඩ්  යනු ඉන්දියානු ත්‍රිවිධ හමුදා සඳහා ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන හා පද්ධති නිපදවන ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින සමාගමකි. කල්තියා අස්සන් කර ඇති මෙම ගිවිසුම අතිදීර්ඝ එකකි. සෞභාග්‍යයේ දැක්මේ ජාතික ආරක්ෂාව පිළිබඳ විෂය අනුව මෙම මධ්‍යස්ථානය පිහිටුවන බව පැවැසුවද දේශපාලන විචාරකයන් චෝදනා කරන්නේ චීනයේ මැදිහත් වීම නිසා ලංකාවේ සාගර කලාපය සම්බන්ධයෙන් ඉන්දියාවට තිබූ භූ දේශපාලනික භීතිය මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ යෝජනාවට පදනම වී ඇති බවයි.

ඩිජිටල් අනන්‍යතා රාමුව

සිවුවැනි ගිවිසුම ගැන සඳහන් වන්නේ තාක්ෂණ අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළ ‘ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අවබෝධතා ගිවිසුම අස්සන් කිරීම’ හිසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයයි. 2019 දෙසැම්බරයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා අතර වූ සාකච්ඡා පදනම් කරගෙන 2021 දෙසැම්බරයේ ඉන්දීය මහකොමසාරිස් සහතික කළ මූල්‍ය ප්‍රදානයක් මීට ලැබෙන බව සඳහන් වේ. 

මීට අදාළ මූල්‍ය පහසුකම් ලබාගැනීමට ජනාධිපතිවරයා පසුගිය ජනවාරි 28 ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පෙබරවාරි 7 වැනිදා කැබිනට් අනුමැතිය හිමි වූ බව එහි සඳහන් වේ. මෙම ඩිජිටල් පද්ධතියේදී ලේ වර්ගය, ඇඟිලි සලකුණු, මුහුණේ අනන්‍ය සලකුණු ආදී දත්ත ඒකරාශි කිරීමක් මෙමඟින් සිදුවන අතර එහි හොඳ නරක දෙකම පවතින බව විචාරකයෝ පවසති. ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ යහපත් අරමුණක් පෙන්වා අරඹන මෙම වැඩපිළිවෙළ මඟින් ජාතියේම දත්ත පද්ධතිය ඉන්දීය ආරක්ෂක බුද්ධි සේවයට පහසුවෙන් අත්පත් කරගැනීමේ අවදානම පවතින බවයි. කෙසේ වෙතත් මෙම ගිවිසුම මෙතෙක් අස්සන් කර නැති අතර ඊට අදාළ කෙටුම්පත සකසා තිබේ.