පෙම්වතිය මරා නැන්දම්මා එක්ක පොලිසි ගිය වියරු ප්‍රේමය

0
25

නදීෂා කොළොම්තොටට යාබද සේදවත්ත ප්‍රදේශයේ හැදී වැඩුණු නව යොවුන් වියේ යුවතියකි. ඇත්තෙන්ම ඇය රූමත්ය. දුටුවන් මන බඳින සුලුය. ස්වර්ණලතා ඇගේ මවය. පියා ජානකය. කොළඹ කෞතුකාගාරයේ සේවය කළ ඇගේ පියා මීට වසර 12කට පමණ පෙර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. නදීෂාට සිටියේ එකම සොහොයුරෙකි. ඔහු ලක්මාල් පසිඳුය. පියා මියයෑමෙන් පසු දරු දෙදෙනා උස් මහත් කොට ඔවුන්ට සිප්සතර හදාරා නිසි මඟට ගන්නට ස්වර්ණලතා නොගත් උත්සාහයක් නැත. සැමියාගේ හදිසි වියෝව ඇයට දරාගන්නට නොහැකි වුවද ඇගේ සොහොයුරියන් හා ඔවුන්ගේ දරුවන් ස්වර්ණලතාත් ඇගේ දරු දෙදෙනාත් අමතක කළේ නැත.

නදීෂා ගියේ සේදවත්තේ දහම් පාසලටය. ඇය අවසන් වරට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේ ග්‍රෑන්ඩ්පාස් විජයබා පාසලේය. පුංචි සන්ධියේ සිටම ඉගෙනුමට ඇය මහත් රුචියක් දැක්වූවාය. නැණ නුවණින් පමණක් නොව ගුණ දහමින්ද ඇය වඩාත් කැපී පෙනුණාය. ඒ ඇය කුඩා කාලයේ සිටම දහම් පාසල් සෙවණේ හැදී වැඩුණු නිසා වන්නට ඇත. පාසල් අධ්‍යාපනය හමාර වන තුරුම ඇය සේදවත්තේ දහම් පාසලට ගියාය. මධුරංගද ඇයට මුලින් හමුවන්නේ ඒ දහම් පාසලේදීය. ඔවුන් දෙදෙනාම දහම් පාසල් අධ්‍යාපනය ලැබුවේ එකම සන්ධියේය. මධුරංගගේ පියා පොලිස් නිලධාරියෙකි. ඔහුටද ඇත්තේ එකම සොහොයුරියකි. ඇයද නව යොවුන් වියේ පසුවූ අතර ඇයට පෙම්වතකුද වූවාය. ඔහුගේ පියාද රථවාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරියකු වන අතර ඔහු සිය මවුපියන් සමඟ රැඳී සිටියේ බෙම්මුල්ල ‍ෙදාරණෑගොඩ ප්‍රදේශයේ නිවෙසකය.

බොහෝ කලක් දන්නා හඳුනන මිතුරන් ලෙස ඇසුරු කළද නදීෂා පිළිබඳ ලෙන්ගතුකමක් මධුරංගට ඇති වූයේ මීට වසර පහකට පමණ පෙරය. දෙදෙනා අතර මෝදු වූ ප්‍රේමය කෙමෙන් කෙමෙන් දලුලා වැඩෙද්දී නදීෂාගේ මවද මේ බව දැන ගත්තාය.

පියා පොලිස් නිලධාරියකු වූ බැවින් ඔහුගේ රාජකාරිමය ස්වරූපය මත මධුරංගට හා ඔහුගේ සොහොයුරියට වැඩි කලක් ජීවත්වන්නට ලැබුණේ කොළඹට යාබද තැන්වලය. සේදවත්තට එන්නට කලියෙන් ඔහු සිය මවුපියන් සමඟ ගෙවල් අට වත්ත. තොටළඟ ආදී ප්‍රදේශවල කුලී පදනම මත ගත් නිවෙස්වල රැඳී සිටියහ. එහෙත් කල්යෑමේදී බෙම්මුල්ල පෝරුවදණ්ඩ ප්‍රදේශයේ නිවෙස ඔවුන් මිලදී ගෙන තිබිණි.

නදීෂාත් මධුරංගත් අතර තිබූ ප්‍රේම සබඳතාව මධුරංගගේ මවුපියන් දැන සිටියද ඔවුන් ඊට එතරම් කැමැත්තක් දක්වා තිබුණේ නැත. එහෙත් නදීෂාගේ පාර්ශ්වය මධුරංගට පෙම්වතියගේ ගෙදරට යන්නට එන්නට ඉඩ සලසා තිබිණි. ඒ නිසා මධුරංග නිතර නිතර නදීෂා හමුවීමේ අදහසින් සේදවත්තේ ඇගේ නිවෙසට යන්නට එන්නට විය. අතරමඟදී ඇය මුණගැසුණේය. නදීෂාගේ සොහොයුරු ලක්මාල් සමඟ දැඩි හිතවත්කමක් පවත්වාගෙන යන්නටද මධුරංගට හැකි විය. සමහරදාට අක්කාගේ අඩුපාඩු වැරදි පවා මධුරංගට පවසන්නට තරම් මල්ලී ලක්මාල් මධුරංගට සමීපව සිටියේය. අක්කා කිසියම් ප්‍රශ්නයකට තරහවූ විටද මධුරංගද ලක්මාල්ගේ සහාය පැතීය. නදීෂා මෙන්ම ඇගේ මල්ලීද මධුරංගේ බෙම්මුල්ල ‍ෙදාරණෑගොඩ නිවෙසටද ගොස් තිබිණි.

කාලය මෙසේ ගෙවී ගියද මෑතක සිට මධුරංගගේ සිතේ නදීෂා ගැන කිසියම් සැකයක් ඇතිවී තිබිණි. ඒ ඇය වෙනයම් තරුණයකු සමඟ පෙමින් වෙළීී සිටින බවටය. මේ ප්‍රශ්නය වඩාත් තීව්‍ර වූයේ නදීෂා රැකියාවකට යෑමත් සමඟය. පෞද්ගලික දුරකථන ආයතනයක රැකියාවකට සම්බන්ධ වූ ඇය එම ආයතනයේ සේවය කරන හැමෝගේම සිත් දිනාගෙන සිටියාය. රාජකාරිය නිවැරදිව කිරීම තුළින් ඇය ඉහළ නිලධාරීන්ගේ ප්‍රශංසා පවා ලැබුවාය. මේ හැම දෙයක් ගැනම මධුරංග බැලුවේ කිසියම් සැකයකින් යුක්තවය. රැකියාවට නොයන ලෙස ඔහු ඇයට කීවේය. ඇය හමුවූ අවස්ථාවන්වලදී ඇගේ වෙනත් ප්‍රේමයන් ගැන ඔහු ඇගෙන් විමසීය. ඇගේ දුරකථනය පිරික්සා බැලීය. තමා නිකරුණේ සැක කිරීම ගැන නදීෂාගේ සිතේ ඇතිව තිබුණේ තරහකි. මේ නිසා නදීෂාට මධුරංගව ටිකෙන් ටික එපා විය. ඇය වරෙක දෙවරක ඔහුව නොසලකා හැරියාය. අවකැපෙන වචනද කියන්නට වූවාය. මේ නිසා මධුරංගගේද සිත බිඳී ගියේය. එහෙත් ඒ බවක් ඔහු ඇයට පෙන්වූයේ නැත.

නදීෂාගේ මවු පාර්ශ්වයේ කැමැත්තෙන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමද ලබන වසරේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. ඒ නිසා නදීෂාත් මධුරංගත් සිටියේ සතුටින්ය. ඒත් දෙදෙනා අතර කිසියම් මතභේදාත්මක ගැටලු ඇති විය. නදීෂා පැවැසුවේ මධුරංගට පෙම්වතියක් සිටින බවය. මධුරංග කීවේ ඇය රාජකාරි කරන ආයතනයේ කොල්ලෙකු සමඟ පෙමින් වෙළී සිටින බවය.

මේ ආරවුල් මැද ආදරය කළද මධුරංග නිතරම නොයෙකුත් අවලාද කියමින් ඇගේ සිත රිදෙව්වේය. මේ නිසා මධුරංග ප්‍රතික්ෂේප කරන තරමටම ඇගේ සිත ඔහුගෙන් අෑත් වී ගියාය. එහෙත් ඇය මේ බවක් ගෙදර අයට පෙන්වූයේ නැත.

“මෙයා හරියන්නේ නැහැ අයියේ. මම මේ එෆෙයාර් එක නවත්තනවා. මෙයා මොනවා හරි බොනවා වගේ” වරෙක නදීෂා සිය ඥාති සොහොයුරෙකුට කීවාය.

“හරි… ඔයාට ඕන නම් නවත්තන්න. මම උෟට කතා කරන්නම්.”

එසේ කී ඥාති සොහොයුරා මේ බව විමසන්නට මධුරංගට කතා කළද ඒ කිසිදු අවස්ථාවක ඔහු දුරකථනයට පිළිතුරු දුන්නේ නැත.

ඉකුත් මස පළමුවැනිදා නදීෂාගේ උපන්දිනය යෙදී තිබිණි. එදින මධ්‍යම රාත්‍රිය උදාවන්නට මොහොතකට පෙර මධුරංග නදීෂාගේ නිවෙසට පැමිණියේ කේක් ගෙඩියක්ද අතැතිව ඇය සර්ප්‍රයිස් කරවමින්ය. කෙතරම් ප්‍රශ්න තිබුණද නදීෂාද පෙම්වතාගේ පැමිණීම ගැන මහත් සතුටට පත්වූ අතර ස්වර්ණලතා මෙන්ම නදීෂාගේ මල්ලීද එදින ගත කළේ මහත් සතුටකින්ය.

එහෙත් මධුරංගගේ යටි සිතේ කැකෑරෙන ගැටලුව පහව ගොස් තිබුණේ නැත. 

ප්‍රශ්න රැසක් මැද ඇදී ගිය නදීෂාගේත් මධුරංග ගේත් ප්‍රේමයට ටිකෙන් ටික කණකොකා හඬලන්නට පටන් ගත්තේ ඔය අතරය. මේ වන විට නදීෂාගේ සිත දැඩි ලෙස මධුරංගව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක පැවැතිණ. මෙය මධුරංගටද දරාගත නොහැකි විය.

“මට ඔයත් එක්ක කතා කරන්න ඕන. අපි කොහේ හරි ගිහින් පොඩ්ඩක් කතා කරමු.”

නදීෂා ඔහු ප්‍රතික්ෂේප කළද ඔහු කෙසේ හෝ ඇය හමුවීමට දිනයක් වෙන්කර ගත්තේය. මේ වන විට මධුරංගගේ පියා වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. පියාගේ ප්‍රතිකාර හා සුවදුක් සොයා බැලීම නිසා මධුරංගගේ මව හා අක්කාද සිටියේ කොටහේනේ අක්කාගේ පෙම්වතාගේ නිවෙසේය. මධුරංගද ඔවුන් සමඟ එහි රැඳී සිටියද පියාගේ රෝගී තත්ත්වය නිසා ඔහු වැඩි හරියක්ම සිටියේ පියාගේ ඇඳ ළඟය.

මධුරංගගේ අක්කා මීට දින කිහිපයකට පෙර මෝටර් රියක් මිලදී ගෙන තිබුණාය. ඇය එතරම් රියැදුරු පුහුණුවක් නොලද හෙයින් මෝටර් රිය සමහරක් අවස්ථාවලදී පැදවූයේ මධුරංගය.

ඉකුත් 16 වැනිදා …… කතා කරගත් පරිදි මධුරංග නදීෂා මුණ ගැසීමේ අරමුණෙන් ඇය පදිංචි සේදවත්තේ නිවෙස ආසන්නයට ගියේය. 

අපි තාත්ත බලන්න යමු. මධුරංග ඇයට කියා තිබිණි. කෙතරම් ආරවුල් තිබුණත් මධුරංගේ පියා දැකබලාගන්නට නදීෂාගේ යටිසිතේ ආශාවක් කැමැත්තක්ද තිබුණාය.

ලක ලෑස්ති වූ නදීෂා නිවෙසින් පිටවූයේ “මට අද යන්න හිතෙන්නෙම නැහැ අම්මේ. කෝකටත් ෆෝන් එක ඕන් එකේ තියා ගන්න” යැයි කියමිනි.

එසේ කී නදීෂා පෙම්වතා මුණ ගැසී ඔහු පැමිණි රථයට ගොඩවූයේද මුහුණ නරක් කරගෙනය.

“මට කෙහේ්වත් යන්න බැහැ. අද මට සනීප නැහැ. කියන දෙයක් මෙතැනදී කියන්න.”

ඇය ඔහුට කීවාය. එහෙත් ඔහුට අවශ්‍ය වූයේ අවන්හලකට රැගෙන ගොස් ඇය සමඟ මොහොතක් තුරුලු වී කතාබස් කරන්නටය. ඒත් නදීෂා ඊට කැමැත්ත පළ කළේ නැත. පියා බැලීමට රෝහලට යමු යැයි කී මධුරංගේ සිත වෙනස් වී අවසානයේ ඔහු ඇයවද රැගෙන ගියේ බෙම්මුල්ලේ ඔවුන් පදිංචි නිවෙසටය. කාමර දෙකකින් සමන්විත එම නිවෙසේ වැඩ කටයුතු තවමත් නිමවී නැත. නදීෂාද සමඟ ඔහු කාමරයකට ගොඩ විය.

“ඔයා මට ඇත්තම කියන්න. ඔයා ඇයි මට මෙහෙම කරන්නේ.” මධුරංගගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට තරම් වුවමනාවක් හෝ ආශාවක් ඇයට නොවීය.

“මට කරදර කරන්න එපා. දැන් මට ඔයාගෙන් වැඩක් නැහැ. මට ඔයා ඕන නැහැ.”

දිගින් දිගටම ඇය එසේ කියද්දී කෝපයට පත් මධුරංග නදීෂාගේ ගෙල එක්වරම මිරිකා ගත්තේය. 

සියල්ල එතැනින් නිමාවෙතැයි මධුරංග සිතන්නට ඇත. නදීෂා කිසිදු හැලහොල්මනක් නැත. මධුරංග ඇය දෙස බලා සිටියේ ඊළඟට කළ යුතු දෙය ගැන සිතමින්ය. ඒ අතරතුර නදීෂාගේ ජංගම දුරකථනය පෙනෙන්නට නොවීය. ඒ නිසා ඇගේ  එම අංකයට සිය දුරකථනයෙන් ඇමැතුමක් ගත්තේය. ඒත් ඒ ඇමැතුමට පිළිතුරු දුන්නේ නදීෂාගේ මල්ලිය. මින් මධුරංග කලබල විය.

“කෝ මල්ලි අක්කා”

“තවම ගෙදර ආවේ නැහැනේ”

මල්ලි මධුරංගට කීවේය.

“මම එයාව පාලම ගාවින් බස්සලා ගියානේ. දැන් ගෙදර එන්න ඕනනේ.” 

“පිස්සුද අක්කා තවම ආවේ නැහැ.”

“මම පාලම ගාවින් බැස්සුවා. එයා ත්‍රීවීලර් එකක් අරන් ගෙදර යනවා කිව්වා. එහෙනම් වෙන කොල්ලෙක් එක්කවත් ගියාද දන්නේ නැහැ.” 

“පිස්සුද අයියේ ඔයාට”

මොහොතක් ගත විය. මධුරංගගේ ජංගම දුරකථනය එක දිගට නාද විය. ඇමැතුම ලැබෙන්නේ නදීෂාගේ මව ස්වර්ණලතාගෙන්ය.

“අම්මේ මම එයාව ‍ෙදාළහමාරට විතර පාලම උඩින් බැස්සුවා. එයා ත්‍රීවීලර් එකක් අරන් ගෙදර යනවා කිව්වා.”

“එහෙනම් දැන් එන්න වෙලානේ. ඒත් එයා ගෙදර ආවේ නැහැනේ. ඔයා කොහේද ඉන්නේ. ඔයා ඉක්මනට එන්නකො”

“හරි මම ඉක්මනට එනවා”

එසේ කීවද ඔහු එකවර ගෙදර ආවේ නැත. ඔහු නදීෂාගේ මව හමුවීමට එද්දී හවස පහමාරද පසු වී තිබිණි. 

“කෝ පුතේ කෙල්ල තවම ආවේ නැහැනේ”

“ඒකනේ මම දවල් 12.30ට විතර කැලණි පාලම උඩින් බැස්සුවා. වෙන කොහේ හරි ගියාවත්ද?” 

“වෙන කොහේ යන්නද එයා එහෙම යාළුවන්ගේ ගෙවල්වල යන කෙනෙක් නෙමේනේ” 

“කෝකටත් අපි පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාමු.” අවසානයේ ඇඟ බේරා ගැනීමේ අදහසින් මධුරංග කීවේය. නදීෂාගේ මව හා සොහොයුරා සමඟ ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ගිය මධුරංග සිය පෙම්වතියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද පොලිස් පොතේ සටහන් කළේය. 

“අම්මට කාවහරි සැකද”

නිලධාරියා ස්වර්ණලතාගෙන් විමසුවේය. 

“මට කවුරුත් සැක නැහැ. ඒත් දුව ගියේ මෙයත් එක්ක. ඉතින් දුවට මොකද වුණේ.” 

“හරි තව ටිකක් හොයලා බලන්න කෝ.”

පොලිස් නිලධාරියාගේ උපදෙස් අනුව යළි නිවෙස බලා පැමිණි ස්වර්ණලතා සිය සොහොයුරියන්ගේ දූ පුතුන් සමඟ නදීෂා සොයන්නට දැඩි උත්සාහයක් ගත්තාය. 

“මට හිතුණා මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා කියලා මධුරංග මොනවා හරි දෙයක් හංගනවා කියලා. පහුවදා මම එයාට කිව්වා වරෙන් යන්න පාලම ළඟ මගේ යාළුවෝ ඉන්නවා අපි ගිහින් සී.සී.ටී.වී. බලමු කියලා එතකොට එයා කිව්වා මම නදීෂව පාලම උඩින් බැස්සුවේ 12.30ට විතර අපි ඒ වෙලාවේ ඉඳන් එක විතර වෙනකම් කැමරා බලමු කියලා. අපි ගිහින් පාලම ළඟ තියෙන කැමරා තුනක්ම  බැලුවා. ඒ එකකවත් මධුරංගගේ කාර් එක පේන්නවත් තිබුණෙත් නැහැ. නංගී ත්‍රීවීලර් එකක නැඟලා යන දර්ශනයක් තිබුණෙත් නැහැ.  ඒ පාර මම කිව්වා උඹ නංගිට මොනවා හරි කරලා තියෙනවා කියලා. එතකොට මධුරංග මගේ කරට අත දාලා කිව්වා පිස්සුද අයියේ මම එහෙම කරනවද එයා මම ආදරය කරපු කෙල්ලනේ කියලා. එයා යන්න ගියා”

“පස්සේ මම එයාගේ අක්කට කතා කරලා කෝ මල්ලී කියලා ඇහැව්වා. එතකොට අක්කා කිව්වා එයාට සනීප නැහැ එයාට කොටහේනේ මෙඩිකල් සෙන්ටර් එකකින් සේලයින් දෙනවා කියලා. මම ඇහැව්වා ඒ මොන මඟුලකටද එයා මොනවා හරි වැරැද්දක් කරලා නැත්නම් මොකටද එයා අසනීප වෙන්නේ. අපිට එයාව බලන්න ඕන. එයාව එක්කගෙන පොලිසියට හරි එන්න කියලා මම එයාගේ අක්කට කිව්වා.”

නදීෂාගේ ඥාති සොහොයුරෙක් එලෙස කීවේය. මේ වනවිට නදීෂා අතුරුදන්ව දින දෙකක් පමණ ගෙවී ගොස්ය. නදීෂාගේ පාර්ශ්වය ඒ අතරතුර දන්න කියන අය සමඟ ගොස් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී නදීෂාගේ අතුරුදන්වීම ගැන ගතු කියන්නට විය. මේ වනවිට නදීෂාගේ පාර්ශ්වයේ සැකය මධුරංග වෙත එල්ලවී තිබිණි.

18 වැනිදා මධුරංග නදීෂාගේ පාර්ශ්වය හමුවට පැමිණියේ ඔහුගේ වැඩිමහල් සොහොයුරිය සමඟය.

“මම මධුරංගගෙන් ඇහැව්වා මල්ලි මට ඇත්ත කියපන්. උඹ නංගිව කොහේ හරි හංගලද ඉන්නේ. මම උඹවත් බේරගන්නම්. අපි ගිහින් නංගිව එක්කගෙන එමු. එතකොට එයා කිව්වා පිස්සුද අයියේ මම එයාව ‍ෙදාළහමාරට පාලම උඩින් බැස්සුවනේ කියලා. ඒකා ඔය වචන ටික රෙකෝඩරයක් වගේ කිව්වා.”

ඥාති සොහොයුරා කියන්නේය. කෙසේ වෙතත් ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මධුරංගගේ සොහොයුරියට දැනුම් දෙන්නේ 19 වැනිදා මධුරංග හා ඔහු පදවාගෙන ගිය මෝටර් රියද සමඟ පොලිසියට පැමිණෙන ලෙසය.

“සර් කාර් එක නම් තියෙන්නේ බෙම්මුල්ලේ ගෙදර. මම මල්ලිව එක්කගෙන එන්නම්. ඒ අනුව 19 වැනිදා මධුරංගද සමඟ සොහොයුරිය ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ගියාය. මධුරංග ස්ථානාධිපතිවරයා හමුවට කැඳවනු ලැබීය. ස්ථානාධිපතිවරයා ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය. පසුව අපරාධ අංශයටද රැගෙන ගිය ඔහු ඉන්පසුව පොලිස් රියට නංවාගනු ලැබීය. ස්ථානාධිපතිවරයාද රියට ගොඩවිය. ඒ ඔහු නදීෂා මොටෝ රියෙන් රැගෙනවිත් බැස්ස වූ තැන පෙන්වන ලෙස කියමින්ය. කැලණි පාලම දෙසට යන අතරතුරද ස්ථානාධිපතිවරයා ඔහුගෙන් විවිධ ක්‍රම ඔස්සේ ප්‍රශ්න කරන්නට විය.

“උඹ කෙල්ලව එතැනින් බැස්සුවා නම් සී.සී.ටී.වී.වල තියෙන්න ඕන. නැත්නම් උඹේ කාර් එකවත් කැමරාවල තියෙන්න ඕන. ඒවට බොරු කරන්න බැහැ. උඹ අපිට බොරු කියලා ඒවයේ නොතිබුණොත්..”

ස්ථානාධිපතිවරයාගේ කතාවත් සමඟ මධුරංගගේ හිතට මහත් බියක් දැනුණි. තමා නදීෂා රැගෙන මොටෝ රියෙන් පැමිණෙන දර්ශන හා ඇය ගඟට දමන දර්ශන කැමරාවල සටහන්ව ඇතැයි ඔහුට සැක සිතිණ. මින් ඔහු බියට පත්විය. 

“මම කිව්වේ බොරු සර් මම තමයි”

“මොකක්ද…”

“මම තමයි සර් නදීෂාව…..”

“හරවගන්න ජීප් එක පොලිසියට….”

ස්ථානාධිපතිවරයා පොලිස් රියැදුරාට කීවේය. රථය කෙළින්ම ගියේ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වෙතය. අපරාධ විමර්ශන අංශය භාර පොලිස් පරීක්ෂක හේරත්ද ස්ථානාධිපතිවරයා විසින් සිය කාර්යාලයට කැඳවිය. 

“දැන් ඇත්ත කියපන්. අපි උඹට අතක්වත් උස්සන්නේ නැහැ.”

“එදා මම එයත් එක්ක රණ්ඩු වුණා. මගෙන් ෆීලීන්ස් නැහැ කියලා එයා කිව්වා. එතකොට මට හොඳටම කේන්ති ගියා. මම එකපාරටම  එයාගේ බෙල්ල එක දිගට විනාඩි හත අටක් තදකරගෙන හිටියා. එයා ඇස් ලොකු කරගෙන මගේ දිහා රවාගෙන වගේ හිටියා. මම බෙල්ල අතහැරියා. එයා ඇඳ උඩට වැටුණා. මම බය වුණා සර්. එයාව මම නැඟිට්ටවන්න හැදුවා. එයා නැඟිට්ටේ නැහැ. මුහුණට වතුර ඉස්සා. ඒත් එයා නැඟිට්ටේ නැහැ. මම තවත් බයවුණා.” 

“ඒ අතරේ එයාගේ ෆෝන් එක හොයාගන්න බැරිව මම ඒකට කෝල් එකක් ගත්තා. කතා කළේ එයාගේ මල්ලි. අක්කා කෝ කියලා මම ඇහුවා. අක්කා තවම ආවේ නැහැ කිව්වා. ඇයි මම අක්කව ගෙනත් පාලම උඩින් බැස්සුවා කියලා මම මල්ලිට කිව්වා.”

“මම හුඟක් වෙලාවක් කල්පනා කළා. පොලිසියට මම අහුවෙයි කියලා හිතුවා. නදීෂාගේ ඇඟට පෙට්රල් දාලා ගිනි තියන්නත් හැදුවා. ඒ අතර එයාගේ අම්මා මට දිගින් දිගටම කෝල් කරලා නදීෂා කෝ ගෙදර ආවේ නැහැනේ එයා කොහෙන්ද ඔයා බැස්සුවේ කියලා මට ඉක්මනට ගෙදර එන්න කිව්වා. මම තවත් බය වුණා.”

“අම්මා දිගටම කෝල් කළා. එතකොට වෙලාව හතරට විතර ඇති. මම හිතා ගත්තා නදීෂාව ගඟට දාලා එහෙ යනවා කියලා. නදීෂාව උස්සලා කාර් එකේ පිටි පස්සට දාගෙන මම සේදවත්තට ආවා.” 

නදීෂාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර සිය මොටෝ රියේ පටවාගත් මධුරංග වේගයෙන් රථය සේදවත්ත දෙසට ධාවනය කළේය. ඔහුට අවශ්‍ය වූයේ නදීෂාගේ සිරුර කැලණි ගඟට දැමීමටය. සේදවත්ත හා ඒ අවට ප්‍රදේශය ඔහුට හොඳින් හුරු පුරුදුය. ඒ ඔහුද වසර ගණනාවක් එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වීම නිසාය.

පරණ ගඟ පාර දිගේ රථය පදවාගෙන පැමිණි මධුරංග කැලණි ගං ඉවුර කැඩීයෑම නිසා කළුගලින් බැම්ම බැඳ තිබූ තැනක සිය රථය නතර කළේය.  ඒ වනවිට වේලාව සවස හතරද පසුවී තිබිණි. මාර්ගයේ එහා මෙහා යන වාහනවලද නිමක් නැත. විනාඩි විස්සක් පමණ රථයේ සුක්කානමට හිස ගසාගෙන සිටි මධුරංග ඉන් අනතුරුව පිටුපස ‍ෙදාර විවර කොට නදීෂාව අසුනේ හිඳුවා තැබීය. පසුව ඇගේ කරට දෙඅත් දැමූ ඔහු ඇයව කෙමෙන් රැගෙන ගොස් කැලණි ගඟට අත්හැරියේ සියල්ල එතැනින් අවසන් වනු ඇතැයි සිතාය. 

“ඉන් පස්සේ තමයි සර්. මම නදීෂාගේ ගෙදරට ගියේ.”

ස්ථානාධිපතිවරයා ඔහුගේ ප්‍රකාශය සටහන් කරගන්නා ලෙස කීවේය. නදීෂාගේ මළසිරුර ගඟට දැමූ දිනයද දැනගත් නිලධාරීන් ඉන්පසු වැල්ලම්පිටිය හා නවගමුව පොලිස් ස්ථානවලින් විමසීමක් කළේ කාන්තා මළසිරුරක් කැලණි ගඟේ තිබී හමු වූයේ දැයි දැනගැනීමේ අටියෙන්ය. 

පසුව වැල්ලම්පිටිය පොලිසියෙන් දන්වා සිටියේ 18 වැනිදා වතුරේ පාවෙමින් තිබූ නරක් වූ කාන්තා මළසිරුරක් ගොඩගෙන එය හඳුනාගැනීම සඳහා මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවය. පසුව මේ බව නදීෂාගේ පාර්ශ්වය දැනුවත් කළ ග්‍රෑන්ඩ්පාස් පොලිස් නිලධාරීන් නදීෂාගේ මව හා සොහොයුරා කැටුව මෘත ශරීරාගාරයට ගියේය. එහිදී ඇය හැඳ සිටි ඇඳුමෙන් ඒ තම දුව බව ස්වර්ණලතා හඳුනාගත්තාය. ඒ වනවිටත් නදීෂාගේ සිරුර ඉදිමී නරක් වී විකෘති වී තිබිණි. 

තවත් තරුණ ආදරයක අවසානය එසේ නිමා විය. මධුරංගගේ දෑතට යකඩ මාංචු දැමූ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් සැකකාර මධුරංග වැඩිදුර පරීක්ෂණ සඳහා බෙම්මුල්ල පොලිසිය වෙත භාර කළේය. අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සරත් කුමාර හේරත් සැකකරු භාරගෙන ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කොට ප්‍රකාශයක්ද ලබාගෙන උසස් නිලධාරීන්ගේ උපදෙස් මත සැකකරු ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය. සැකකාර මධුරංග 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එහෙත් ඇය ඝාතනය වූයේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත. ඇගේ හිසේ තුවාලයක්ද ඇති බව පොලිසිය කියයි. ඒ නිසා ඇගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට ලැබී ඇත්තේ විවෘත තීන්දුවක්ය. 

කොළඹ උතුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න, සහකාර පොලිස් අධිකාරි නලීන් ජයසුන්දර යන මහත්වරුන්ගේ උපදෙස් මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක රුවන් විජේසිංහ ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.ජේ.බී. හේරත් මූලික විමර්ශන සිදුකොට සැකකරු අත්අඩංගුවට ගත් අතර ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දිකද සිල්වා, සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත බෙම්මුල්ල පොලිසියේ ස්ථානාධිපති චින්තක ලියනගේ පොලිස් පරීක්ෂක ආර්.ඊ.බී.ජේ. බණ්ඩාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සරත් කුමාර හේරත් ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වූහ. 

කීර්ති මෙන්ඩිස්