පිරිමින්ටත් උපත් පාලන පෙත්තක්

0
663

Palitha Warnakulasooriya

පිරිමින් සඳහා සාර්ථක ලෙස භාවිත කළ හැකි, හෝමෝන නොවන උපත් පාලන පෙත්තක් මෙම වසර අවසන් වීමට පෙර මිනිසුන් ඇසුරෙන් අත්හදා බැලීමට බලාපොරොත්තු වන බව මිනසෝටා විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් ප්‍රකාශ කර ඇත.

මීයන් යොදා ගෙන කරන ලද අධ්‍යයනයකින් එහි සාර්ථකත්වය සනාථ වූ බව පර්යේෂණ අධ්‍යයනයේ ප්‍රධානියා වන අබ්දුල්ලා අල් නෝමන් පවසයි.

මෙම පෙති ලබාගත් පිරිමි මීයන් සමග සම්බන්ධ වූ ගැහැනු මීයන් ගැබ් ගැනීමෙන් වැළකී ඇත. කෙසේ වෙතත් පෙත්ත ගැනීම සති 6ක පමණ කාලයක් නතර කළ විට මීයන්ගේ ශුක්‍රාණු නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වූ බව පර්යේෂකයෝ පවසති. 

ඵලදායී පිරිමි මුඛ උපත් පාලන ක්‍රමයක් සොයා ගැනීමට විද්‍යාඥයන් දශක ගණනාවක් තිස්සේ උත්සාහ කරමින් සිටිය ත්, අතුරු උපද්‍රව රහිත බවට අනුමැතිය ලද හැකි තරමට සාර්ථක පෙත්තක් නිපදවා ඇත්තේ පළමුවරට ය. මෙම නව පිරිමි උපත් පාලන පෙති ක්‍රියා කරන්නේ RAR නම් ජානයක් ඉලක්ක කරමිනි.

ශුක්‍රාණු හා කලල වර්ධනයටත, දරු පිළිසිඳ ගැනීමටත් ‘A’ විටමින් අත්‍යවශ්‍ය තීරණාත්මක පෝෂකයක් වෙයි. ‘A’ විටමින් යනු රෙටිනොයික් අම්ලයේ ප්‍රකාරයක් වන අතර එය නිපදවීම ඉහත සඳහන් ජානය විසින් මෙහෙයවනු ලබයි. නව පෙත්ත විසින් මෙම ක්‍රියාවලිය අවහිර කරනු ලැබේ. සති 4ක් මෙම පෙත්ත ලබා දුන් මීයන්ගේ ශුක්‍රාණුවල අති විශාල අඩුවීමක් දක්නට හැකි වූ අතර, ඒවායේ සරුභාවය 99%ක් තරම් පහළ බැස ඇති බව නිරීක්ෂණය විය. 

රසායනාගාර මීයන් මගින් මෙම පෙත්තේ සාර්ථකත්වයෙන් තහවුරු වී ඇති හෙයින්, මිනිසුන් යොදාගෙන එය පරීක්ෂා කිරීම මෙම වසර දෙවන භාගයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යයනයේ සම කර්තෘ සහ පර්යේෂණාගාර ප්‍රධානී මහාචාර්ය ගුන්ඩා ජෝර්ජ් පැවසීය.

පිරිමි උපත් පාලන පෙත්තක් නිපදවීම සඳහා මෙතෙක් සිදු කරනු ලැබූ බොහෝ සායනික අත්හදා බැලීම්වල ඉලක්කය වූයේ පුරුෂ ලිංගික හෝමෝනය වන ටෙස්ටොස්ටෙරෝන් ය. නමුත් එය තරබාරුකම, මානසික අවපීඩනය සහ අහිතකර කොලෙස්ටරෝල් වැඩි කිරීමට හේතු වී තිබිණි.