නෙල්ලි-කුරුඳු-කළාඳුරු-අරළු ඔසු බල එකතුවෙන් තරබාරුව නැති කරන ප්‍රතිකාරයක්

0
92


අනවශ්‍ය ලෙස තැන්පත් වූ තෙල් තට්ටු නිසා සිරුර හිතාගන්න බැරි ලෙස තරබාරු වූ අවස්ථා ගැන නිතර නිතර අප වෙත එන අයගේ මැසිවිලි අනන්තයි. ඇයි එහෙම වෙන්නේ, කියා නොදැන ඔබ කැමැති පරිදි රස ආහාර පාන ගැනීමෙන් එම තත්ත්වය තව තවත් වැඩිකර ගත්තා වෙන්නත් පුළුවන්.

කොහොම නමුත් කොලෙස්ටරෝල් නමින් අද කවුරුත් දන්නා ශරීරයේ මේද කොටස් නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා ඔබ දැනගන්නේ නිසි වෛද්‍ය පරීක්‍ෂණයකට බඳුන් වුණාමයි. ආයුර්වේද ක්‍රමයට අනුව නම් “පිත්ත ස්නේහ” වශයෙන් මෙම තත්ත්වය හඳුන්වනවා.

නමුත් අපේ ශරීරයේ සෛල වර්ධනයට, දෛනික කටයුතු පවත්වාගෙන යන්නත් මේද කොටස් අවශ්‍යයි. නමුත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වුණාමයි නරක. හෘද රෝග, හෘදය අකර්මණ්‍ය වීම් වෙන්න බලපානවා. රුධිර නාළ අවහිර වෙනවා. ධමනි නාළ තුළ ඇත්‍රරෝමා කියන තත්ත්වය හටගන්නවා. ඒ නිසා රුධිර පීඩනයත් වැඩි වෙනවා.

අක්මාවෙ තෙල් තැන්පත් වීමත් තවත් අවස්ථාවක්. අධික ලෙස අක්මාවේ තෙල් තැන්පත් වුණොත් විවිධ අසාත්මිකතා හට ගන්නවා. එහෙනම් අක්මා රෝගීන්ගේ උදරයේ දකුණු පැත්තේ වේදනා හට ගැනෙනවා. නිදිමත ගතිය, මහන්සිය ඇති කරවනවා. කෑම කන්න ප්‍රියක් නැති වෙනවා. ඇස් අනවශ්‍ය ආකාරයට කහපැහැ ගැනෙනවා. පිරිමි අයකු නම පපුව ප්‍රදේශය මහත් වෙන්න ගන්නවා. මෙම තත්ත්වය අක්මාවේ එන්සයිම මඟින් නිසි පරීක්‍ෂාවකින් වටහා ගත හැකි වෙනවා.

එදා අපේ ජන සමාජයේ මීට වඩා ව්‍යායාමයේ යෙදුණු පරපුරක් හිටියා. තමන් කරන එදිනෙදා කටයුතුවලින්ම එය සිරුරට ලැබුණා. අද ඒ තත්ත්වය නැහැ. අවිවේකය හා ව්‍යායාම් නොලැබීම මේ තරබාරු හා මේදය වැඩිවීමට බලපා තිබෙනවා. නමුත් එදා අපේ වෙද පරපුර මේ කියන ශරීරයේ මේදය තැන්පත් වීම පාලනය කරන්න, නැති කරන්න ඉතා සාර්ථක ප්‍රතිකාර විධි භාවිත කළා. ශරීරයේ මේද තට්ටු දියකර හැර සිරුර නිරෝගී බවට හැරවූවා. ඒ සමඟ එදිනෙදා නිසි ව්‍යායාම මඟින් අනවශ්‍ය තෙල් තට්ටු දියකර හරින්න උපකාරි වූ ක්‍රියාදාමයකුත් තිබුණා.

දේශීය වෙදකමේ සිරුරේ තෙල් තට්ටු දියකර හරින්න බලගතු ආයුර්වේදීය ඔසු ප්‍රතිකාර රැසක් තියෙනවා. බෙහෙත් වට්ටෝරු විශාල ප්‍රමාණයකුත් තියෙනවා. ඒ අතරින් ඔබේ පහසුව තකා පහත සඳහන් වට්ටෝරුව අප මෙහි පළ කරන්නේ ඔබේ සිරුරේ අධික තරබාරුවත්, මේදය දියකර හරින්නත් උපකාරී වන්නයි.

කරපිංචා, නෙල්ලි, අරළු, බුළු, කළුදුරු, ගොරකා හා කුරුඳු කුඩු ඊට එක්කර හොඳින් අඹරාගෙන දිනපතාම මේස හැන්දෙන් 1ක් බැගින් ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි.

එය ගෙදරදී සිදු කර ගන්නා අතරම ඔබ මේ සඳහා දැනුමැති දේශීය වෛද්‍යවරයකුගේ උපදෙස් මත ඔබට තිබෙන රෝගී තත්ත්ව සියල්ල කියා පා, ඒ අනුව තවදුරටත් විධිමත්ව ප්‍රතිකාර ගැනීම හොඳයි. එවිට ඔබට පහසුවෙන් තම සිරුර නිරෝගීව තබා ගත හැකි වේවි.

 විජිත කේ. පතිරණ