නව පළාත් පාලන ක්‍රමය යටතේ කාන්තාවට කැපිල්ලක්

0
13

විනීතා එම්. ගමගේ

මහාචාර්ය සුදන්ත ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව විසින් හඳුන්වාදී ඇති නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය මඟින් කාන්තා කෝටාව බරපතළ ලෙස අභියෝගයකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය. 

එම ක්‍රමය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීය මූලධර්ම පවා අභියෝගයට ලක්වන බවද මන්ත්‍රිවරයා කියා සිටියේය. 

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මිනිස්ටර් පදනම විසින් සංවිධානය කරන ලදුව කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව කියා සිටියේය.

සියයට 25ක් ලෙස ස්ථාපිත කාන්තා දේශපාලන නියෝජනයේ ඵලදායිතාව ගැන එහිදී විමසනු ලැබීය. 

ඔහු හඳුන්වාදී ඇති පනත මඟින් දැනට සියයට 25ක්ව පවතින පළාත් පාලන ආයතන කෝටාව සියයට 16ක් දක්වා අඩුකිරීමට යෝජනා කර තිබේ. 

ඒ අනුව මහාචාර්ය ලියනගේ හඳුන්වා දී ඇති ක්‍රමය සහිත කෙටුම්පත මැතිවරණ නීති ප්‍රතිශෝධන කමිටුව වෙත ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත. එහිදී වෙස්ට්මිනිස්ටර් පදනම වාර්තාවක්ද නිකුත් කළ අතර 2017 අංක 16 දරන පනතේ දුර්වලතා නිසා කාන්තා කෝටාව දෙවැනි තැනට ඡන්ද ලබාගන්නා පක්ෂයේ වගකීමක් බවට නිරායාසයෙන් පත්ව ඇති බව එම වාර්තාවේ සඳහන් විය. 

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, රෝහිණී කුමාරි කවිරත්න, මයන්ත දිසානායක සහ කොළඹ පුරපති රෝසි සේනානායක, පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.