ජනපති කාර්යාලයෙන් ලාන්සාගේ අමාත්‍යාංශයට ආ ඇමැතුම

0
82

ජනපති ගෝඨා රනිල්ගෙන් සමාව ගනී

වර්තමානයේ රටේ පවතින ප්‍රශ්නවලට විසඳුමක් සෙවීමේ අරමුණු ඇතිව සර්ව පාක්ෂික සමුළුවක් ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පසුගිය 23 වැනිදා පැවැත්විණි. ප්‍රධාන විපක්ෂයත් (සජබ) සමහර සුළු ජාතික පක්ෂත් සමුළුවට සහභාගි නොවූවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 11ක නියෝජිතවරු සමුළුවට සහභාගි වූහ. ආරම්භයක් හැටියට එය සතුටුදායක හමුවකි. විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය සහභාගි වීම එක් අතකින් ජයග්‍රහණයකි.

ආණ්ඩුවේ මහා ආර්ථික ප්‍රාඥයකු ලෙස පෙනී සිටින මහ බැංකු අධිපති මේ සමුළුවේදී පරණ මුට්ටිවල දංකුඩ සූරනවා මෙන් යහපාලන ආණ්ඩුවේ වරදින් රට මේ තත්ත්වයට පත්වූ බවට කළ විවේචනයක් නිසා එජාප නායක රනිල්ගෙන් ඔහුට චෝදනාවක්ද එල්ලවිය. කනගාටුයි, පටන් ගන්නකොටම පසුගිය ආණ්ඩුවේ වැරැදිමයි කියන්න ගත්තේ ඒ කාලේ. අද වගේ විශාල ප්‍රශ්නයක් තිබුණේ නෑ. අවශ්‍ය දේ ජනතාවට තිබුණා. කන්න බොන්න තිබුණා. රනිල් තරමක හිත රිදුණු ස්වභාවයකින් කතා කළේය. 

ඒ අවස්ථාවේ බුද්ධිමත් ප්‍රායෝගික පාලකයකු ලෙස ජනාධිපති ඉතා නිහතමානීව කීවේ ඔබතුමාගේ හිත රිදුණා නම් සමාවෙන්න කියායි. ජනපතිගේ එම ප්‍රකාශය මහ බැංකු අධිපතිට තනතුරක ඉන්න තාක් කල් බුද්ධිය මෙහෙයවා කතා කරන්න පාඩමක් වූවාට සැක නැත.

තමා දේශපාලනඥයකු නොවන බව අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබෙන ජනාධිපතිවරයා අද ආණ්ඩුව පැත්තේ ඉන්න ඇතැම් දේශපාලනඥයන්ට වඩා විනයක් සංයමයක් හා පරිණත බවක් ඇති අයකු ලෙස මේ හැසිරීමේදී මුළු රටටම දැකගන්නට හැකිවිය.

ජනාධිපතිවරයා සමුළුවට දැනුම් දුන්නේ සහභාගි නොවූ පක්ෂවලට තම ස්ථාවරය කියන්න ආරාධනා කරන බවයි. එසේම සමුළුව කැඳවූයේ දේශපාලන වාසි ගන්න නොවන බවද ඔහු අවධාරණය කළේය. 

සමුළුවට සහභාගි වූ අතුරලියේ රතන හිමියන් ධර්ම දේශනාවක් කරන්නාක් මෙන් තමන් බලයට පත්කළ බලවේග විසිරී යන ආකාරයෙන් තීන්දු තීරණ ගන්න එපැයි කීවේය. ඇමැතිවරුන්ට රටට වැඩක් කරන්නට හැකිවන පරිදි විද්‍යානුකූලව අමාත්‍ය ධුර නිර්මාණය කරන ලෙස සමුළුව කැඳවූ ජනාධිපතිගෙන් ඉල්ලීමක් කළේය. මේ කැබිනට් මණ්ඩලයේ කිසිම කෙනකුට වැඩ කරන්න බැහැ. අමාත්‍යවරුන්ට බලතල නැහැ. විදුලිබල මණ්ඩලය එක පැත්තක. පෙට්ට්‍රෝලියම් එක තවත් පැත්තක. කවුද මේ විදිහට ඇමැතිකම් බෙදුවේ. කාගේ වුවමනාවටද? ඇමැතිවරුන් මාරු කිරීම නොවේ සිස්ටම් එක හදන්න. අපි මෙතැන නිකන් දේශන කරලා වැඩක් නෑ. මේ අදහස් පළකිරීම කැබිනට් මණ්ඩලයෙන් ඔබ්බට තීන්දු ගන්න ජාතික මණ්ඩලයක් අවශ්‍යයි. මම ජනාධිපතිතුමාට ආදරයෙන් කියන්නේ තමන් බලයට පත්කළ බලවේග විසිර යන විදිහට තීරණ ගන්න එපා.

රතන හිමියන්ගේ මේ දේශනයට ‘සාදු’ කියන්න තරම් හිතුණ අයත් මේ සමුළුවේ සිටින්නට ඇත.

ජනදුක හඳුනන සංවේදී නායකයාගේ් බඩු මිල

මේ වනවිට රට පාලනය කරන්නේ ජනදුක හඳුනන සංවේදී නායකයන් පිරිසක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා පැවැති ආගමික උත්සවයකදී ප්‍රකාශයක් කර තිබිණි. ප්‍රකාශය නම් බෙරලියන්තු තරම් වටිනා සේ පෙනුණත්, බරක් නැති හිස් වචන කිහිපයක් බව කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුව තිබේ. අග්‍රාමාත්‍යවරයා “ජනදුක හඳුනන සංවේදී නායකයන්” ලෙස හඳුන්වන්නේ කුමන අරුතකින් දැයි වැටහෙන්නේ නැත.

අද ග්‍රෑම් 400ට කිරිපිටි පැකට්ටුවේ මිල රුපියල් 250කින් ඉහළ දමා තිබේ. කිරිපිටි කිලෝවක වැඩිවී තිබෙන මිල රුපියල් 600කි. වර්තමානයේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 1945කි. රුපියල් 240ක් වූ පරිප්පු කිලෝව අද රුපියල් 400කි. ආනයන ඔෟෂධ මිල සියයට 28කින් වැඩිවී තිබේ. ගෑස් ටැංකියක වර්තමාන මිල රුපියල් 4190කි. වැඩි වී තිබෙන ප්‍රමාණය රුපියල් 1359කි. ඩොලරය අවප්‍රමාණය වීමෙන් මිල වැඩිවූ සියලු භාණ්ඩ ගැන සඳහන් කරන්නට යන්නේ නැත.

කිරිපිටි අතදරුවන්ගේ ප්‍රධානම ආහාරයයි. ගමේ ගොඩේ අහිංසක පවුල්වල දරුවන්ගේ ආහාරයට ගන්නා ප්‍රධානම හොද්ද පරිප්පුවයි. මේ භාණ්ඩවල වැඩි වී ඇති මිල ස්ථිර ආදායමක් නැති පවුල්වල අයට දරා ගන්නට බැරිය. එසේ නම් අගමැතිතුමාගෙන් ලාවට අහන්නට වෙන්නේ ජනදුක දන්නා සංවේදී නායකයන්ට මේ මිල වැඩි කිරීම කොයිතරම් දුරට සංවේදී ද යන්නයි.

මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් හමුවී මන්ත්‍රි විමල් කළ හෙළිදරව්ව

“මුළු රටම හරි මඟට” ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ජාතික ප්‍රකාශනය මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වීම ඉකුත් 24 වැනිදා මහනුවරදී සිදු විය.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, රෝහණ ලක්‍ෂ්මන් පියදාස මේ අවස්ථාවට සහභාගි වූහ.

මල්වතු – අස්ගිරි මහනාහිමිවරු එම ජාතික ප්‍රකාශය පිළිගනිමින් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග අනියමින් විවේචනයට ලක් කළහ. මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පැවැසුවේ රජය සිදුකරන ඇතැම් කටයුතුවල විනිවිදභාවයක් පෙනෙන්නට නොමැතිවීම ගැටලුකාරී තත්ත්වයක් බවය. රටේ කොටස් ඉන්දියාව, චීනය, ඇමෙරිකාව වැනි රටවලට ලබාදෙන බවට එල්ලවන චෝදනා ගැනද උන්වහන්සේ සඳහන් කළහ. රටේ ජනතාව කිසි කලෙක නොවූවිරූ ආකාරයෙන් පීඩනයකට පත්ව සිටින බවද මල්වතු නාහිමියෝ පැවැසූහ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් කීවේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව රට හා ජනතාව දැනුවත් කළ යුතු බවයි. ආණ්ඩුව ගතවූ කාලය තුළම සිදු නොකළේද නාහිමියන් පවසන කරුණමය. රටේ ආර්ථිකය, මූල්‍ය තත්ත්වය ගැන රටට ජනතාවට තොරතුරු දැන්විය යුත්තේ මුදල් ඇමැතිවරයා විසිනි. ඔහු අය-වැය ඉදිරිපත් කළාට පසුව මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට පැමිණිලාත් නැති බවට විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී චෝදනා කර තිබිණි.

“මුළු රටම – හරි මඟට” ජාතික ප්‍රකාශය ගැන අස්ගිරි මහනාහිමියෝ පක්‍ෂ 11 මෙම වැඩපිළිවෙළ අගය කරමින්, මේ වැඩපිළිවෙළට රටේ ජනතාවගේ ලොකු ප්‍රසාදයක් තිබෙන බව පැවැසූහ. වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහ නාහිමියෝ රට කරවන පාලකයන්ට හිතට ගත යුතු උපදේශයක් දුන්හ. “රටක පාලකයන් සියල්ලටම ප්‍රථමයෙන් සිතිය යුත්තේ රට ගැනයි. ජනතාව ගැනයි. මොනවා කරන්නත් අපට රටක් තිබිය යුතුයි. අද මේ රටේ ජනතාවට ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා” මහනාහිමියන්ගේ දේශනාවයි. මාස් පතා දළදා වහන්සේ වැඳ පුදාගෙන මහ නාහිමිවරුන් වහන්සේලා බැහැ දැක අටපිරිකර පූජා කර ආශීර්වාද ලබන රට කරවන නායකයන්, නාහිමිවරුන්ගේ අනුශාසනාවලට සවන් දීමෙන් පමණක් වැඩක් නැත. ඒවා අනුගමනය කරමින් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ වගකීමයි. එසේ නැතිව මාධ්‍ය සන්දර්ශන රටට වැඩක් වන්නේ නැත.

ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින මේ අවස්ථාවේ රජය විනිවිදභාවයකින් තොරව සිදු කරන ඇතැම් කටයුතු ජනතාව ප්‍රතික්‍ෂේප කරන බවද අස්ගිරි මහනාහිමියෝ සඳහන් කළේ වැඩිකල් යන්නට පෙර ජනතාව වර්තමාන පාලකයන්ව ප්‍රතික්‍ෂේප කරන බවට දුන් ඉඟියක් ලෙසයි.

පෝලිම්වල පීඩා විඳිනවා. මුදල් තිබ්බත් ගන්න බඩු නෑ.

අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ 

මහාචාර්ය මුරුද්දෙනිය ධම්මරතන හිමියන් මෙහිදී රට කරවන අයට අසාගන්නට වැදගත් අදහස් කිහිපයක් දැක්වූහ. උන්වහන්සේ කීවේ වර්තමාන රජය බලයට පත් කිරීම සඳහා මහා සංඝරත්නය මෙන්ම රටේ ජනතාව දැඩි කැපවීමක් කළා. නමුත් ඒ අය බලාපොරොත්තු වූ ආරක්‍ෂිතභාවය, සුරක්‍ෂිතභාවය, ආර්ථික 

සුබදායීභාවය අද වනවිට කිසි කලෙකවත් නොවිරූ ආකාරයෙන් ගැටලු රැසකට මුහුණ පා සිටිනවා. රටේ ජනතාව බහුතරයක් අද පෝලිම්වල පීඩා විඳිනවා. මුදල් තිබ්බත් ගන්න බඩු නෑ. මේ වගේ අවස්ථාවක බොර දියේ මාළු බාන්න ජාත්‍යන්තරයත් මාන බලාගෙන ඉන්නවා. අපේම අය එයාලට උඩගෙඩි දෙනවා. අපිට පේන විදිහට යට ගිය ර්ඛ්ඛ් ගිවිසුමත් ආයෙත් කරළියට එනවා වගේ මොනවා කරන්නත් රටක් තිබිය යුතුයි.

සර්ව පාක්‍ෂික සමුළුවක් කියන්නේ සියලු දෙනාම අනේ‍යාන්‍ය අවබෝධයෙන් කටයුතු කළ යුතු අවස්ථාවක්. ඒත් එතනදී මුදල් අමාත්‍යවරයා හැසුරුණු ආකාරය අපි දැක්කා. ඒකෙන් ප්‍රදර්ශනය වෙන්නේ එයාගේ දේශපාලන පරිණතභාවයක් නොමැති බවයි. රටේ ජාතික ගැටලු ගැන සාකච්ඡා කරද්දී ඒ සාකච්ඡාවට සහභාගි වෙන අනෙක් පාර්ශ්ව සඳහා අවස්ථාව වගේම ඔවුන්ට නිසි ගෞරවය ලබාදිය යුතුයි. මේක ඉතාමත් අභියෝගාත්මක අවස්ථාවක්. සියල්ලටම ප්‍රථමයෙන් රට ගැන සිතා කටයුතු කළ අවස්ථාවක් බවයි.

මහින්ද සුළඟට නායකත්වය දෙමින් ඡන්දයෙන් පැරදී ගෙදර ගිය මහින්ද යළි දේශපාලන කරළියට ගෙන ඒමටත්, ගෝඨාභය ජනාධිපති  ධුරයට තල්ලු කරන්නත් දේශපාලන සටනකට කර උර දුන්, විමල් වීරවංශ, රාජපක්‍ෂලා දේශපාලනයෙන් පන්නා දැමීමේ සටනකට පෙර සූදානමක යෙදී සිටින බවත් පසුගිය 24 වැනිදා ඔහු මහනුවරදී ප්‍රකාශයක් කර තිබිණි. ඉදිරියේදී රාජපක්‍ෂවරු කිසිවකුත් බලයට ගෙනෙන්නට කිසිදු කැප කිරීමක් නොකරන බව ඔහු කීවේ ආණ්ඩුවේ පක්‍ෂ 11 ජාතික ප්‍රකාශය මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ට පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍යට ප්‍රකාශයක් කරමිනි.

ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ පාවිච්චි කරනවාද එහෙම නැත්නම් රනිල් පාවිච්චි වෙනවාද

ඔහු මෙහිදී කොතරම් ස්ථිරව ප්‍රකාශ කළාද කිවහොත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තිබෙන 113ට එහා ගිය බහුතරය නැති කරන බව කීවේය. වෙන වචනවලින් කියනවා නම් වර්තමාන ආණ්ඩුව බලයෙන් පහ කරන බවය.

මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාව පාවිච්චි කරනවාද එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතා පාවිච්චි වෙනවාද කියලා අපි දන්නේ නැහැ. සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා වැඩ කරන්නයි. හිටපු අගමැතිවරයකුට ඔයා කියලා කතා කරන්න තරම් උද්දච්ච මිනිහෙක් කියලා එතැනදී මුදල් ඇමැතිවරයා පෙන්නුවා. සර්ව පාක්‍ෂික සමුළුවේදීත් ඔහුට ඕන ගැටුමක්. උද්දච්ච අවලස්සන ඇමෙරිකානුවෙක් තියාගෙන මේ ගමන යන්න බැහැ. අපි මේ ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැති කරලා ඔය උද්දච්ච පාලනය අහෝසි කරනවා.

මොන රාජපක්‍ෂ කෙනෙක්වත් ආයේ මේ රටේ පාලන බලයට ගේන්න ජීවිතේට අපේ බලාපොරොත්තුවක් නැහැ.

මේ රට වෙනත් රටක කොලනියක් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ සම්පත් වෙනත් රටකට බිලිදෙන කොට බලාගෙන ඉන්න අපිට පුළුවන්කමක් නැහැ.

විමල් සහෝදරයා කන්ද උඩරටදී කළ මේ ප්‍රකාශය අනාගතයේදී “කන්ද උඩරට දේශනයක්” ලෙස දේශපාලනයේ ඉතිහාස ගතවන්නට ඉඩ ඇත.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙක් රනිල්ව වීරයෙක් කරයි

එජාප නායක රනිල් වික්‍රමසිංහගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය 24 වැනිදා බ්‍රහස්පතින්දාටය. ජනාධිපති, අගමැති ඇතුළු පක්ෂ විපක්ෂ බොහෝ පිරිසක් දුරකථනය ඔස්සේ ඔහුට සුබ පැතූහ. පරණ යූඇන්පීකාරයකු වූ රජයේ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් ද සුබ පැතුවේය. එජාප නායකයා ගුවන් විදුලියේ සජීවී වැඩසටහනකට සම්බන්ධ කර ගනිමින් සුබ පැතීම විශේෂත්වයක් විය.

ගුවන් විදුලිය ඔස්සේ බොහෝවිට දේශපාලන වශයෙන් විවේචනයට ලක් කරනා හඩ්සන්ට එජාප නායකයා ප්‍රතිචාර දැක්වූයේ කදිම ආකාරයටය. “මට දෙන හොඳම තෑග්ග ජනතාවට බඩු මිල අඩු කරලා දෙන එක” යනුවෙනි. රනිල් ඔහුට උපන්දින සුබ පැතුම් ලැබෙද්දී රටේ ජනතාව විඳින දුක අමතක කළේ නැත.

සර්ව පාක්ෂික සමුළුවේ වීරයා

බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව රැස්වන දිනයක් වූ බැවින් එජාප නායකයා පාර්ලිමේන්තුවට පිවිසෙද්දී පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රි පිරිසක් ඔහුට සුබ පතන්නට රොක් වූහ. රනිල්ගේ පාසල් මිතුරා වූ ඇමැති දිනේෂ් ගුණවර්ධනද සුබ පැතුවේය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයකු රනිල් සමීපයටම පැමිණ සුබ පතමින් කීවේ “සර්ව පාක්ෂික සමුළුවේ වීරයා වුණේ ඔබතුමායි” කියමිනි. ඔබතුමා හරියටම තර්කයට කරුණු පෙන්වා දුන්නැයි ඒ මන්ත්‍රිවරයා කියද්දී, “ඔව්, මම කියන්න ඕනෑ ටික කිව්වා. වීරයෝ වෙන්න ඕනෑ ජනතාව, මම නෙවෙයි.” රනිල් කීවේ සුබ පැතුවාට තුති පුදමිනි.

කවදත් කොතැනදිත් නායකයා ඉහළටම තබමින් කථා කරන වජිර රනිල් ගැන කීවේ මෙවැන්නකි. “නායකතුමා සර්ව පාක්ෂික සමුළුවට ගිහින් කළ කථාවෙන් රටට පෙනුණු එකම දේ තමයි රටේ ප්‍රශ්න විසඳීමට තිබෙන. එකම විකල්පය සර් කියන එක”

මේ සාකච්ඡාවේදී සජබ ක්‍රියාකලාපයන් හෙළිදරව්වක් විය. සජබ සර්ව පාක්ෂික සමුළුවට ගියේ නැත. එහෙත් සජබ සමුළුවට යෝජනා මාලාවක් සුමන්තිරන් මන්ත්‍රිවරයා අතේ යවා තිබේ.

“සුමන්තිරන් අතේ යෝජනාවලියක් එවලා සුමන්තිරන් ඒක ජනාධිපතුමාට බාරදී තියෙනවා.” රුවන් විජේවර්ධන ඔහුට ලැබුණු ආරංචිය කියද්දී නායකයා හිස සලා එය අනුමත කළේය.

ගෙදර යන්න ලියුම දුන් ලාන්සාට ජනපති දෙන්න හැදුවේ මොනවද?

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය  නිමල් ලාන්සා පසුගිය 22 වැනිදා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේය. එම අමාත්‍යාංශයේ කටයුතු කරන්නට තිබෙන අපහසුතාව ගැන ඉකුත් පෙබරවාරි 22 වැනිදා ජනාධිපතිට දිගු ලිපියකින් දැනුම් දුන් ඔහු එයට අදාළ කැබිනට් අමාත්‍යාංශයේ සිදුවන දූෂණ අක්‍රමිකතා ගැනද සඳහන් කරමින්, ඒ ගැන විමර්ශනයක් කරන්නැයිද ඉල්ලීමක් කර තිබිණි. වාර්තා වන අන්දමට එම ඉල්ලීමට ජනාධිපතිගේ පැත්තෙන් සාධනීය ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ආණ්ඩුවක බොහෝවිට නොකෙරෙන වැඩ ගැන කියන අන්දමට රාජ්‍ය ඇමැතිගේ ලියුම කුණු කූඩයට වැටුණා දැයි නොදනිමු. ඒ කෙසේ වෙතත් ජනාධිපතිට භාරදුන් ලිපියට මසක් ගතවිය. කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් ලාන්සා නියෝජ්‍ය ඇමැතිවරයා ඔහු පියවර ගත්තේ තනතුරෙන් ඉවත් වෙමිනි.

රාජ්‍ය ඇමැතිගේ ලියුම කුණු කූඩයට වැටුණා ද?

තනතුරෙන් ඉවත්වෙමින් ජනාධිපතිට යැවූ ලිපියේ ඔහු සඳහන් කර තිබුණේ “ඇමැතිවරයකු ලෙස තවත් වසර තුනකට වැඩි කාලයක් තනතුරේ සිටිය හැකි නමුත් ජනතාව දැන් දැඩි පීඩනයකට පත්ව සිටිනා මේ අවධියේ ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර බලාසිටිය නොහැකි බැවින් තනතුරු, වරප්‍රසාද හා බලයට වඩා හෘද සාක්ෂිය බලවත් බැවින් මේ පියවර ගත් බවයි.

තම අමාත්‍යාංශයට පැවැරුණු වගකීම් ඉටුකිරීමේදී මුහුණු පෑමට සිදුවු ගැටලු සම්බන්ධව ඉකුත් පෙබරවාරි 22 වැනිදා ජනාධිපති වෙත යැවූ ලිපියෙන් පෙන්නා දුන් කරුණු අමාත්‍යාංශය තුළ එලෙසම සිදුවෙමින් පවතින බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකර රටේත් ජනතාවගේත් යහපත වෙනුවෙන් ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවද ලාන්සා ඉල්ලා අස්වෙමින් යැවූ ලිපියේ සඳහන් කර තිබිණි.

ජනාධිපති ගැන එසේ විශ්වාසය පළ කරමින්, ලාන්සා ජනාධිපතිට ස්තුතියක්ද කර තිබිණි. ඒ ඔහුට අතහැර යන්නට සිදුවූ අමාත්‍යාංශය ලබාදීම ගැනය.

ලාන්සා සිය ඉල්ලා අස්වීමේ ලිපිය දුන් ඉකුත් 22 වැනිදා ඔහුට තමා හමුවන ලෙස ජනාධිපති දැනුම්දීමක් කළද ජනපති හමුවූයේ පසුදිනයි.

එහිදී ලිපියේ අඩංගු කරුණු ගැනද සාකච්ඡා කළ ජනාධිපතිවරයා ලාන්සා මහතාට කැබිනට් ඇමැති ධුරයක් ලබාදීමට යෝජනා කළ බවක්ද වාර්තා විය. එවැනි තනතුරක් භාර ගැනීමට මේ අවස්ථාවේ තිබෙනා අකැමැත්ත ප්‍රකාශ කර ඇති ලාන්සා, දැනට ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවලට මසක් ඇතුළත විසඳුමක් ලබා දෙන්නේ නම්, ජනාධිපතිවරයාගේ යෝජනාව ගැන සලකා බැලිය හැකි බව කී බවද වාර්තාවේ. කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලීම වී තිබෙන්නේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කිරීම තමාගේ වැඩි කැමැත්ත බවයි.

ලාන්සා මහතා රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන්නට යන බවට ඊට පෙර පැතිර ගිය ආරංචියත් සමඟ 21 වැනිදා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට අදාළ තැනකින් ඉල්ලීමක් කළ බවත් එසේ කළ ඉල්ලීම ක්ෂණයකින් දැනගත් ලාන්සා ලේකම්වරයාට දුරකථනයෙන් කතාකොට “ඔයා ඉල්ලා අස්වෙන්න ඕනෑ නෑ. මම හෙට ඉල්ලා අස්වෙනවා. දෙන්නම ඉල්ලා අස්වෙන්න ඕන නෑනේ. අමාත්‍යාංශයේ වැඩ ටිකත් කරගෙන යන්න ඕනෑ නේද. ඔයා ඔයාගේ වැඩටික කරගෙන යන්නැයි” ඉල්ලා සිටි බවද” කැබිනට් එකට වාර්තා විය.

පොහොට්ටු මන්ත්‍රිගේ ලැජ්ජාව!

මීට වසර දෙකකට පෙර ජනතාව අපට තුනෙන් දෙකක අතිවිශිෂ්ට බලයක් දීලා පත් කළේ දුක් විඳින්න නෙවේ. අද වන විට ජනතාව ඉන්නේ ලොකු පීඩනයක. පීඩනය ඉහවහා ගිහින් ජනතාව අපට ශාප කරනවා. මන්ත්‍රිවරයෙක් කියන්නත් ලැජ්ජයි.

මෙසේ කියන්නේ රට පාලනය කරන පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රිවරයකු වන ලලිත් එල්ලාවලයි. දහසකුත් එකක් පොරොන්දු දී රට සුරපුරයක් කරන බවට ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම පොහොට්ටු පොත ජනාධිපතිවරයා සමයේ ජනතාව අතට පත්කර කිව්වේ ඔබට රටක් – රටට හෙටක් කියායි. දැන් ජනතාවට රටක් හෝ හෙටක් තියෙනවා දැයි දැඩි අවධානයකින් යුතුව සිතා බලන්නට සිදුව තිබේ. අවම වශයෙන් ඊළඟ දරු පරපුර වෙනුවෙන් ඒ සිතිවිල්ලට ප්‍රධානම තැන දිය යුතුව තිබේ.

මේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරයකු ලෙස එල්ලාවල මන්ත්‍රිවරයා කොතරම් චිත්ත වේදනාවකින් කතා කරනවද කීවොත්, අද එක මන්ත්‍රිවරයකුට නොවෙයි මන්ත්‍රිවරු 225 දෙනාටම එකම විදියට තමයි බනින්නේ. ශාප කරන්නේ. අපේ දරුවන්ටවත් මිනිස්සු ශාප කරනවා. මම නෝනත් දරුවනුත් සමඟ ටී.වී. එක බලමින් රාත්‍රි කෑම ගන්නකොට ජනතාව කියනවා මේ 225ටම හෙණ ගහන්න ඕනෑ කියලා. එතකොට නෝනා කිව්වා මේ අපටත් එක්ක නේද කියන්නෙ කියලා. දරුවො අපට කියනවා මොනවටද ඕවා අයින්වෙලා, නිකන් ඉන්න කියලා? පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ අගය ඒ තරමට වැටිලා කියන එකද මේ කුඩා දරුවන්ගෙනුත් කියැවෙන්නේ.

ජනපති ඉදිරියේ මන්ත්‍රි ජගත් කුමාර මරණ බිය ගැන කියයි

පසුගිය සතියේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශේෂ සාකච්ඡා දෙකක් පැවැත්විණි. එකක් පැවැතියේ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙනි. අනෙක්  සාකච්ඡාව අගමැතිගේ ප්‍රධානත්වයෙනි. ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී රටේ පවතින තත්ත්වය ගැන රාජ්‍ය නායකයා ලෙස ගෝඨාභය දීර්ඝ විස්තරයක් කළේය. කවුරුත් ඉතා සාවධානව ඒ කතාවට සවන්දුන් පසුව ජගත් කුමාර මන්ත්‍රිවරයාද රටේ තත්ත්වය ගැන වෙනත් ආකාරයේ කරුණු දැක්වීමක් කළේය. රටේ උදා වී ඇති තත්ත්වය අනුව මන්ත්‍රිවරු විදිහට අපට පාරට බැහැලා යන්න බෑ. ගෑස් හා ඉන්ධන පෝලිමක මිනිස්සු ඉන්න වෙලාවක අපි යනවා දැක්කොත් අල්ලගෙන හොඳටම ගහයි. ගහලා විතරක් ඉතිරි කළොත් හොඳයි. පාකිස්තානේ වුණා වගේ අපිව මරලා දායිද දන්නේ නෑ. අපි මේ තත්ත්වයට කොහොමහරි උත්තර හොයන්න ඕනෑ යැයි ජගත් කුමාර මන්ත්‍රිවරයා කීවේය. ඔහු වෘත්තීය සමිති නායකයකු ලෙසද කටයුතු කළ අයකු නිසා ජනතාව ප්‍රකෝප වී පහරදෙනවා හොඳට දැක පුරුදු කෙනකු වන්නටද බැරි නැත. ජගත් කුමාර මන්ත්‍රිවරයාගේ කරුණු දැක්වීම ජනාධිපතිවරයා ඉතා සාවධානව අසා සිටියේය. සුළුවෙන් පිළිතුරක් දුන් ජනාධිපතිවරයා මම හොඳට දන්නවා රටේ තියෙන තත්ත්වය ගැන. මට බුද්ධි වාර්තා ලැබෙනවා. මම කොහොමහරි බලන්නේ මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න. මම රට රටවලට කතා කරලා බලනවා ඩොලර් ටිකක් ඉල්ලා ගන්න පුළුවන්ද කියලා. අපි සාමූහිකව මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න බලමුයි ජනපති කීවේය.

මුදල් ඇමැති බැසිල් ‘අයි.එම්.එෆ්.’ අරමුදල ගැන සඳහන් කරමින් එම අරමුදලට යන්න තීරණය කර ඇති බව මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දුන්නේය. අපි මේ වනවිටත් IMF එකෙන් උපදෙස් ලබාගෙන ඒ අය සමඟ අවබෝධයෙන් කටයුතු කරමින් ඉන්නවා. හැබැයි අපි දන්නවා IMF එකට ගියොත් වෙන දේ. කොන්දේසිත් දායි. කොන්දේසි මොනවා දැම්මත් අපි සංවර්ධන වැඩ නම් නතර කරන්නේ නෑයි බැසිල් තදින්ම කීවේය. රටේ ජනතාව අතර මතයක් පවතින්නේ සංවර්ධනය රස කෑමක් බවයි.

IMF වාර්තාවේ ඩ්‍රාෆ්ට් එක තියෙනවා දෙන්න බෑ

මාස ගණනක් තිස්සේ IMF එකට යන්නැයි බලපෑම් කරන එජාප නායක රනිල් සර්වපාක්ෂික සමුළුව සිය මතය කියන්නට යොදා ගත්තේය. ආණ්ඩුව IMF එකට යන්නට තීරණය කර තිබියදී රනිල් කීවේ මට මේක අවංක උත්සාහයක් කියලා පේන්නේ නැත්තේ IMF එක මීට දීපු උත්තරේ තවම අපි දන්නේ නෑ. මොකක්ද එයාලා කියන්නේ. රනිල්ගේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ මුදල් ඇමැතිවරයා බැවින් බැසිල් කීවේ අපිට තාම IMF එකෙන් වාර්තාවක් ලබාදීලා නැති බවය. 

රනිල් _ එහෙම ලැබිලා නැත්නම්, අපි උත්තරයක් ගෙන්න ගනිමු. අපි කතා කරලා බලමු.

බැසිල් _ මම වගකීමෙන් කියන්නේ. එහෙම තවම නිසි ප්‍රතිචාරයක් ඇවිල්ලා නෑ. වාර්තාවක් නෑ. ඩ්‍රාෆ්ට් එකක් විතරයි. 

රනිල්ට අවශ්‍ය කරන පිළිතුරක් ලැබීමෙන් 

ආ. ඩ්‍රාෆ්ට් එකක් ඇවිල්ලද? එහෙනම් ඒක ඉදිරිපත් කරන්න. 

බැසිල් _ ඒක ඔයාට දෙන්න බෑ 

රනිල් _ මට නොවෙයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.

බැසිල් හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ රනිල්ට උත්තර දුන් විලාසය ගැන රටේ සංවාදයක් හටගෙන තිබේ. සමාජ මාධ්‍යජාලා මඟින් බැසිල්ට පහර ගැසීමක්ද සිදුවෙමින් තිබේ. අස්ගිරි කාරක සංඝ සභාවේ හිමිනමක්ද බැසිල්ගේ පිළිතුරුදීමේ විලාසය විවේචනයට ලක්කර තිබිණි. 

කෙසේ වෙතත්, තරමක සන්සුන් බවක් දැක්වූ බැසිල් පැහැදිලි කිරීමක් කරමින් එම ආකෘතියට ආණ්ඩුවේ උත්තර හා ප්‍රතිචාර ලබාදුන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එවන යෝජනාව හා වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. 

බැසිල් දුන් පිළිතුරෙන් රනිල් කාලයක් තිස්සේ IMF එක ගැන ගෙන ගිය සටන ජයගත් බවක් පෙනෙන්නට ඇත.

මරණ තුනක් ඇති මිනිහා පැණි කෑම

සර්ව පාක්ෂික සමුළුවේ සාකච්ඡා හා අදහස් දැක්වීම් අවසානයේ බැසිල් සමාලෝචනයක් කරමින් ආණ්ඩුවක් හැටියට අසීරු තත්ත්වයකින් කටයුතු කරන බව කියමින් සිංහල ජනවහරේ එන 

වනේ ගිජිදාය වැටුණොත් උෟ කාය

ළිඳේ පඩිඳාය වැටුණොත් උෟ කාය

අතකින් කරවැලකි අතකින් දඬුබෑය

මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය

ආණ්ඩුව කරගෙන යන්නේත් මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය කියන පදේ වගේ යැයි කියමින් ජනකවියේ අරුතද විස්තර කළේය.

බැසිල් එම කවිය ආණ්ඩුව උපමාවක් ලෙස යොදා ගත්තත් අද රටේ ජනතාවත් සිටින්නේ මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය වගේය. රටේ ජනතාව ගැන උපමා කරන විට මරණ ගණන තුනකටත් වඩා වැඩිවනු ඇත.