ගෝඨාභය ජනපතිතුමා රටේ අර්බුදය විසඳයි කියලා අපි විශ්වාස කළා

0
31


මේ දිනවල ඔබේ කලා කටයුතු සකස් වෙන්නේ කොහොමද?

මේ දිනවල මම මගේ කලා කටයුතුවලින් තරමක් දුරට අෑත්වෙලා කැනඩාවට වී සිටිනවා. නමුත් වැඩ කිසිවක් නොකර සිටිනවා නොවෙයි. අපේ කලාව කොහොමද ජාත්‍යන්තරයට රැගෙන යන්නේ කියන කාරණය මම ඒ කාලයේ සිටම සිතපු දෙයක්. ඒ වෙනුවෙන් සැලසුම් සහගත ලෙස අදාළ පාර්ශ්ව මුණගැසෙමින්, කටයුතු සාකච්ඡා කරමින් මේ දවස් ගෙවනවා. මේ දවස් තරමක් වෙනස් විදිහට සිතන, වෙනස් විදිහකට වැඩ කරන දවස් කිව්වොත් මම වඩා නිවැරදියි. 

මෙරට බොහොමයක් නිෂ්පාදකයන් බිස්නස් කියන දේ මූලික කරගෙන තමයි නිර්මාණවලට මුදල් යොදවන්නේ. ඔබ නිර්මාණයක් සඳහා නිෂ්පාදනයෙන් දායක වෙන්න කලින් සලකා බලන නිර්ණායක මොනවාද?

මේ රටේ කලාවට සම්බන්ධ වෙන හැම නිෂ්පාදකවරයෙක්ම මුදල් කියන සාධකය මූලික කරගෙන මේ වැඩේට එනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. පෞද්ගලිකව ගතහොත් මම වුණත් එහෙම මුදල් මූලික කරගත්ත පරමාර්ථයක නැහැ. අපි කරන නිර්මාණයක් ප්‍රේක්ෂක ප්‍රජාවට වැදගත් නම්, එයින් ඔවුන් රසවින්දනයක් ලබනවා නම්, තෘප්තියක් ලබනවා නම් මම සිතන්නේ එය තමයි වැදගත්ම දෙය වන්නේ. නමුත් එයින් මම අදහස් කරන්නේ නැහැ අපි නිර්මාණයක් කරන්නේ බංකොළොත් වෙන්න කියලා. අඩුම තරමේ නිර්මාණය කරන්න යන පිරිවැයවත් ආවරණය විය යුතුයි. නමුත් මගේ නිර්මාණ ගතහොත් ඇහි පිල්ලමක් යට, දෙයියන්ගේ රටේ, Can you hear me කියන සියල්ල පාඩු ලැබුවා. මොනදේ වුණත් මම ඉලක්කගත වෙන්නේ නිර්මාණයක නිර්මාණශීලීභාවය වැඩි කරන්න. ඒ වගේම මිනිසුන්ට වැදගත් සමාජීය කාරණාවක් ඉස්මතු කරන්න. එතැනදී මගේ නිර්මාණය ජනප්‍රිය රැල්ලේ එකක්ද, සම්භාව්‍ය මාදිලියේ එකක්ද කියන එක මට වැදගත් නැහැ. කුමන හෝ මාධ්‍යයකින් නිවැරදි නිර්මාණයක් කරන එක තමයි නිෂ්පාදකවරයෙක් ලෙස මගේ අපේක්ෂාව වෙන්නේ.

රටේ පවතින ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් කලාකරුවෙක් ලෙස ඔබට ඇති අර්ථකථනය පැහැදිලි කළොත්?

ගණන් මිණුම්වලින්, ගැටලුව මෙහෙම එකක් කියලා අර්ථකථනය කරනවාට වඩා මේ අර්බුදය ඇතිවුණේ මෙහෙම කාරණා ටිකකින් කියලා මට කියන්න පුළුවන්. 77 විවෘත ආර්ථිකයෙන් පසුව අපි කිසිම විදිහකින් කිසිම නිෂ්පාදනයක් සිදුකරන්න යොමුවුණු ජාතියක් නොවෙයි. අපේ නිෂ්පාදන හැකියාව තිබෙන්නේ අතිශය පහළ තැනක. ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයකට හුරුවෙලා හිටපු අපි හැමදේම පිටරටින් ගෙන එන තැනකට පත්වුණාම මෙහෙම අර්බුදයකට ලක්වෙන එක සාධාරණයි. ඉදලේ ඉඳලා, සරුංගලයේ ඉඳලා චීනෙන් ගෙනවන්න තමයි අපේ මිනිස්සු පුරුදු වී සිටින්නේ. 30 වසරක යුද්ධය, සුනාමි, කොවිඩ්, පාස්කු ප්‍රහාරය, දේශපාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියා වගේ බොහෝ දේවල් කාලයක් තිස්සේ සිදුවෙලා තමයි මේ අර්බුද සියල්ල නිර්මාණය වුණේ. ගෝඨාභය ජනාධිපතිතුමා හරි දෙයක් කරලා රටේ අර්බුද විසඳයි කියන දේ අපිත් විශ්වාස කළා. වියත් මඟ සමඟ වුණත් අපි සම්බන්ධ වෙලා සිටියේ ඒකයි. නමුත් කුමක් හෝ අවාසනාවකට එය කරගන්න බැරි වුණා. දැන් මෙයට වෙන විකල්පයක් තිබෙනවා කියන එකත් මම විශ්වාස කරන්නේ නැහැ. තිබෙන ආණ්ඩු ගෙදර යවලා අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම කියන එක විස¾දුමක් ලෙස මම දකින්නේත් නැහැ. ඒ කොහොම වුණත් මේ අර්බුදයෙන් ගොඩ එන්න බැහැ කියලා මතයකත් මම නැහැ. සුබවාදී ආකල්පයකින් මේ දෙස බලලා කළ යුතු දේ හරියට කළොත්, නිෂ්පාදන කටයුතු ඉහළ නැංවුවහොත්, මුළුතැන්ගෙයි උපකරණයේ ඉඳලා හැමදෙයක්ම ආනයනය නොකරන තත්ත්වයට පත් වුණොත් මෙය කාලයක් ගිහිල්ලා හරි අපිට හරි විදිහට විසඳගන්න පුළුවන්. මෙය එහෙම ලේසියෙන් විනාශ කරන්න පුළුවන් රටක් නොවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවසානයටත් ආරක්ෂා වන රට විදිහට මෙය තව අවුරුදු 5000ක් වත් යනතුරු සුරක්ෂිතව පවතියි.

නිර්මාණශීලී මෙගා නාට්‍ය සහ ජනප්‍රිය රැල්ලේ මෙගා නාට්‍ය අතර පරතරය ඔබ අර්ථකථනය  කරන්නේ කොහොමද?

ජනප්‍රිය රැල්ලේ මෙගා ටෙලිනාට්‍ය සම්බන්ධව මට විවේචනයක් නැහැ. විදේශ රටවල වුණත්, Netflixවල වුණත් අවුරුදු 20ක් 30ක් දුවන නිර්මාණ තිබෙනවා. වැදගත්ම දේ තමයි ඒ නිර්මාණකරුවන්ට මූල්‍යමය හැකියාවක් පවතින නිසා නරඹන්නන්ට අඩුපාඩුවක් සොයා ගන්න නොහැකි තැනටම ඔවුන් ඒ නිර්මාණවල ගුණාත්මකභාවය සුරකිනවා. නමුත් අපේ රටේ නිර්මාණයක් කරනවිට බොහොමයක් නිෂ්පාදකවරුන්ගේ අතේ පවතින මුදල සීමිතයි. ඒ සීමිත මුදලින් අඩුම තරමේ වියදම හෝ සම්පූර්ණ විය යුතුයි. එහෙම තත්ත්වයකදී ගුණාත්මකභාවය ඉතා ඉහළින් තිබෙන නිර්මාණ කිරීමේ ගැටලුවකුත් තිබෙනවා. අනිත් දේ නිර්මාණ කරන නිෂ්පාදකවරුන්ට යම් ප්‍රතිලාභයක් ලබාදිය යුතු නිසා නාළිකාවලින් වුණත් ජනප්‍රිය රැල්ලේ නිර්මාණම තමයි විකාශය කෙරෙන්නේ. එහි වරදකුත් නැහැ. නමුත් ජනප්‍රිය රැල්ලේ නිර්මාණ කරන අයට වුණත් ඒ නිර්මාණ තුළින් යම් සමාජ පණිවුඩයක් දෙන්න හැකිනම් හොඳයි කියන තැනයි මම සිටින්නේ. උදාහරණයකට ගතහොත් මේ දිනවල විකාශය වන නාඩගම්කාරයෝ කියන්නේ ජනප්‍රිය රැල්ලේ නාට්‍යයක් වුවත් ඒ තුළ දේශපාලනයකුත් තිබෙනවා. ලංකාවේ සමාජය, සංස්කෘතිය ගැන අදහසක් තිබෙනවා. එය තමයි විය යුතු දේ. එකම මල් දෙබස් ටික වසර 10ක් 15ක් මුමුණන ජනප්‍රිය මෙගා ටෙලි රැල්ල වෙනුවට වෙනස් සමාජ ප්‍රකාශනයක් සහිත නිර්මාණශීලී මෙගා ටෙලි නාට්‍ය තමයි අපට අවශ්‍ය වෙන්නේ.

පෞද්ගලික මාධ්‍ය ආයතන මඟින් අත්තනෝමතික ලෙස සිදුකරන නිර්මාණ කප්පාදුව සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර තිබෙනවා. නිෂ්පාදකයකු ලෙස ඔබ මේ ගැටලුව දකින්නේ කොහොමද?

පෞද්ගලික මාධ්‍ය ආයතන නිර්මාණ කප්පාදුවක් සිදු කරනවා කියන්නේ මොනපොලි එකක්. අපි තමයි හොඳටම නිර්මාණ කරන්නේ, අපි තරම් කලාව දන්න අය නැහැ වගේ මතවාද දරන මිනිස්සු නිසා තමයි ගොඩක් අවස්ථාවල ඔහොම අර්බුදයක් උද්ගත වෙන්නේ. නමුත් ඉතින් මම සිතන්නේ ඔය කියන තරම් ලොකු කප්පාදුවක් සිදුවෙන්නෙත් නැහැ. එහෙම කප්පාදුවක් සිදුවෙනව නම් එහි නරක නාමය අදාළ මාධ්‍ය ආයතනයට ලැබෙනකොට ඔවුන්ම පියවරක් ගන්නවා ඔය වැඩේ නවත්වන්න. යම් යම් කප්පාදු කිරීම් සහ කැපීම් කෙටීම් සිදුවෙනවා වෙන්න පුළුවන්. කොහොමත් 100%ක්ම පිරිසුදු විදිහට හැම දෙයක්ම මේ ක්ෂේත්‍රයේ සිද්ධ වෙන්නේ නැහැනේ. වැදගත්ම දේ තමයි අපි නිර්මාණකරුවෝ විදිහට දැනගන්න ඕන කලාත්මකභාවය ඉස්මතු වෙන විදිහට අපේ නිර්මාණය කරන්න. නිර්මාණ කප්පාදු කරනවා ඒ නිසා කොහොමත් හොඳ නිර්මාණ කරලා වැඩක් නැහැ කියන තැනට ඉලක්ක ගතවෙලා බැහැ. අඩුපාඩුකම් සිදුවෙනවා. ඒවා සාවධානව දරාගෙන කලාවක් විදිහට පිළිතුරු සැපැයීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම සමහර මාධ්‍ය ආයතනවල සමහර නිර්මාණ විකාශය කරලා ඒ ආයතන ඉහළට ගෙනාපු දක්ෂ පුද්ගලයෝ සිටිනවා. ඔවුන්ට කිසියම් බලයක් ගොඩනැඟිලා තිබෙනවා හොඳ අධ්‍යක්ෂවරු සමඟ සම්බන්ධවෙලා ඔවුන්ගේ නිර්මාණ ඉදිරියටත් නාළිකාවලට ගෙන්වා ගන්න. එහෙම කරන එක මම දකින විදිහට කප්පාදුවක් නොවෙයි. නිර්මාණයක් දෙකක් කරලා අධ්‍යක්ෂවරයෙක් වුණු අයෙක්ගේ අවර ගණයේ නිර්මාණයක් ගෙන්වා ගන්නවාට වඩා එය සාධනීය කටයුත්තක්.

පවතින ඉන්ධන ගැටලුව, විදුලි කප්පාදුව මේ වනවිට කලාවටත් විශාල බලපෑමක් සිදුකර තිබෙනවා. රජයේ කාර්යභාරය සම්බන්ධයෙන් කලාකරුවකු ලෙස ඔබට යම් විවේචනයක් තිබෙනවාද?

මට විවේචනයකටත් වඩා තිබෙන්නේ පසුතැවීමක්. මේ රට වටේම මුහුද තිබෙනවා. අවශ්‍ය ප්‍රමාණයට හිරු එළිය තිබෙනවා. ශක්තිය නිෂ්පාදනය කරගන්න අවශ්‍ය වෙන සියලු සම්පත් ටික තිබෙනවා. මේ රටේ තිබෙන අර්බුදවලට විස¾දුම් දෙන්න ඕනෑ තරම් පාර්ශ්වත් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඇත්තටම සමහර වෙලාවට නොමිලේම අපට සහාය දක්වන්න විදේශ ව්‍යාපෘති ඉදිරිපත් වුණා. නමුත් මේ රටේ සිටින අදූරදර්ශී නායකයන්ගේ ක්‍රියාවන් නිසා ඒ කිසිවක් ලබාගන්න අපට හැකිවුණේ නැහැ. තමන්ගේ මඩිය තර කරගැනීම තමයි හැමෝගේම අපේක්ෂාව වුණේ. අපි මැරෙනකොට කිසිම දෙයක් රැගෙන යන්න බැහැ. ඒක නොදන්නවා වගේ තමයි මේ රටේ ඉන්න අදාළ පාර්ශ්ව කොමිස් ගහ ගහ, හොරකම් කර කර තමන්ගේ මඩිය තර කරගන්නේ. ඒ ගැන ලොකු පසුතැවීමක් තිබෙනවා. මම කියන්නේ මේ රටේ තිබෙන ස්වාභාවික සම්පත් භාවිත කරලා සහාය දෙන්න එන අයගෙනුත් කොමිස් ගන්න එක දැන්වත්  නතර කළොත් මේ අර්බුදවලට විස¾දුම් ලැබෙනවා.

කලාකරුවන් සතුව පවතින ආණ්ඩු විරෝධය වුණත්, දැන් බොහෝ විට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලාවල ඵඩචපඥ වෙන මීම් එකකට පමණක් කොටුවී තිබෙනවා. බොහොමයක් අයගේ විමුක්ති අරගල මාධ්‍ය සන්දර්ශන පමණක් නේද යැයි මම ප්‍රශ්න කළොත්?

කලාකරුවෙක් සමාජ ප්‍රශ්නයකට මැදිහත් වෙනවනම් ඒ 80%ක්ම ඇත්තම හේතුවකට. සමාජය කෙරෙහි ඇත්තටම සංවේදී වුණාම තමයි බොහෝ විට කලාකරුවෙක් එහෙම මැදිහත්වීමක් සිදු කරන්නේ. නමුත් මේ රටේ පද්ධතිය ජීවත් වෙන්නවත් අපහසු තත්ත්වයක් ඇති කරනවිට සමහර වෙලාවට සමහර කලාකරුවන්ට තමන්ගේ බඩ වියත රැකගන්න සමහර ක්‍රියාවලට අනුගත වෙන්න සිදුවෙනවා. භාර ගන්නේ නැහැ කියපු නිර්මාණ භාරගන්න වෙනවා. නමුත් මම කියන්නේ ඒ තත්ත්වයට කලාකරුවන් ඇදලා දාන්නෙත් මේ දේශපාලන අධිකාරියෙන්ම තමයි. එහෙම වුණාට පස්සේ මාධ්‍යවලින් තමයි ඔය වගේ තත්ත්වයන් සන්දර්ශන බවට පත් කරලා ජනගත කරන්නේ. එහෙම නැතුව කලාකරුවෝ කිසිම වෙලාවක මාධ්‍ය සන්දර්ශන පවත්වන්නේ නැහැ. තමන්ගේ නාළිකාවේ රීච් කරගන්න, තමන්ගේ පත්තරේ බලන ප්‍රමාණය වැඩි කරගන්න, තමන්ගේ රේඩියෝව අහන පිරිස ඉහළ නංවාගන්න තමයි මාධ්‍ය ආයතන මඟින් ඕවා සිදු කරන්නේ.

පවතින තත්ත්වය මත මෙරට තුළ වෘත්තීය රංගන ශිල්පියෙක් බිහි කරගැනීමේ අපහසුතාව ගැන කතා කළොත්?

මම සිතන්නේ වෘත්තීමය කලාකරුවෙක් බිහි කරගැනීම කියන කාරණාව මේ රටේ කරන්න බැරි නැහැ. නමුත් වෘත්තීමය කලාකරුවෙක් බිහි කරගන්න තරම් අපේ කලාව තුළ වෘත්තීමයභාවයක් ගොඩනැඟිලා නැහැ. ලංකාවේ මිනිස්සුන්ට බලන්න පමණක් නිර්මාණ කළාට රටක කලාවක් දියුණු වෙන්නේ නැහැ. මේ රටෙන් එළියේ ඉන්න ප්‍රේක්ෂකාගාරයකට නරඹන්න පුළුවන් නිර්මාණ කරන්න අපි උත්සාහ කළ යුතුයි. දැන් ඉන්දියාවේ කේරළය බලන්නකෝ. ඒ ප්‍රදේශයේ සිනමාව කොයිතරම් ජාත්‍යන්තරය වැලඳගෙනද? කොයිතරම් ඒ සිනමාව ලෝකයට විවෘත වී තිබෙනවාද? මම කියන්නේ මේ රටේ අති දක්ෂ සිනමාකරුවන්, වෘත්තීමය ශිල්පීන් සිටිනවා. නමුත් ඔවුන්ගෙන් හරියට වැඩක් ගන්නවා නම්, ඔවුන්ව පැහැදිලිව නිරූපණය වෙන්න නම් කලාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් විය යුතුයි. වෙළෙඳපළ ප්‍රසාරණය විය යුතුයි.

ඔබගේ පෞද්ගලික සමාගම වැඩ කටයුතුත් සමඟ කලාව ගොඩනැඟීම සම්බන්ධයෙන් ඔබට යම් අනාගත දැක්මක් තිබෙනවාද?

මට පමණක් නොවෙයි මේ රටේ බොහෝ කලාකරුවන්ට මේ රට වෙනුවෙන් යමක් කළ යුතුයි කියන හැඟීම තිබෙනවා. එයත් සමඟ තමයි මේ රට ගොඩදාන්න උත්සහ කරන සමහර පාර්ශ්වවලට වුණත් සමහර කාලවලදී කලාකරුවෝ සහාය පළ කරන්නේ. නමුත් ඒ ප්‍රයත්නයන් ප්‍රායෝගික නැති බව වැටහෙනකොට බොහෝ අය වෙනත් ක්‍රමවේදවලට යනවා. විදේශගත වෙලා හරි රටට දෙයක් කරන්න හිතනවා. පෞද්ගලික ව්‍යාපාරවලින් හරි රටට ඩොලර් ගෙන එන්න හිතනවා. සංචාරක ක්ෂේත්‍රය තුළ හරි අලුත් දෙයක් කරන්න බලනවා. මේ රටේ විදේශගත වන ගොඩක් කලාකරුවෝ රටට ආදරය නැති අය නොවෙයි. මම වුණත් මෙහෙම විදේශ ගතවෙලා අපේ කලාව ජාත්‍යන්තරයට රැගෙන යෑමේ ක්‍රමය තමයි සැලසුම් කරන්නේ. මගේ ආයතනය තුළ වුණත් මම පෞද්ගලික අරමුණක් තෘප්ත කරගන්නවාට වඩා රටට කලාවට දෙයක් කරන්න තමයි අපේක්ෂා කරන්නේ.

ප්‍රමේෂ් වික්‍රමසිංහ