කොළඹත් හාමතේ: ගමත් හාමතේ මොකක්ද මේ කරුම පාලනේ..!

0
37

“මම ඉන්නේ කැකිරාවේ. ගෑනු දරුවෝම තුන්දෙනෙක් මට ඉන්නවා. ඒ ළමයින්ට උගන්වන්න ඕන හින්දයි මම මේ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය ළඟම තියෙන බෝඩිමක නැවතිලා රස්සාව කරන්නේ. දැන් මට ගෙදරට යවන්න සල්ලි මදි. මොකක්ද මේ කරුමේ?” රාජ්‍ය සේවකයා එසේ කීවේ කලකිරීම මුසුවූ දැඩි කේන්තියකිනි.

කොළඹ බෝඩිං පුරවරයකි. ඒ අතීතය කවදා කොතැනින් පටන් ගත්තා දැයි කියා සොයා බලනවාට වඩා කවදාවත් නැති කරදර ගොඩක පැටලී සිටින මේ පිටගම්කාරයන්ගේ ජීවිතවල ඇතුළාන්තය සොයා බැලීමට අප කල්පනා කළේ අද ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙනය.

කැකිරාවේ සිට කොළඹට ආ මේ බෝඩිංකාරයා අපට හමුවූයේ ඒ විමසා බැලීමේ මුල් අදියරයේදීය.

“මං කොළඹට ආවේ අවුරුදු 20කට විතර කලින්. එතකොට බෝඩිමට දුන්නේ රුපියල් 500යි. දැන් 8000යි. ඒකත් කමක් නැහැ කියමු. දැන් කොහොමද අපි කන්නේ?

මම විතරක් නෙවෙයි මේ පළාතේ ඉන්න හැමෝගේම ජීවිත විනාශ වෙලා. අපි අඩු මුදලට කාලා කීයක් හරි වැඩිපුර එකතු කරලා යවන්නේ ගෙදරට. දරුවන්ට. ඒත් අද දවසකට රුපියල් 900ක් විතර යනවා තුන් වේල කන්නයි දෙපාරක් තේ බොන්නෙ යාන්තමට කාලා.”

මැදිවියේ බෝඩිංකාරයා එසේ කියද්දී අප අසලට ආ තරුණයකු කීවේ වෙනස්ම කතාවකි.

“ඉස්සර සතියකටම හරියන්න බයිසිකලයට තෙල් ගහන්න රුපියල් 700යි ගියේ. ඒ මෙතැන ඉඳලා කොටුවට යන්න. දැන් 1300ක් යනවා. බෝඩිංවල ඇන්ටිලා කියනවා වතුර බිල, ලයිට් බිල දරාගන්න බැහැ. වෙනදා ගාණට කෑම දෙන්නත් බැහැ කියලා. ඒකත් ඇත්ත. මාස කිහිපයකට කලින් 2700ට තිබුණු ගෑස් ටැංකිය දැන් 5000කට කිට්ටු වෙලා. කිරිපිටි පැකට්  එක 2000යි. 180ට තිබුණු පරිප්පු 450ක් විතර වෙලා. හැමදේම ගණන්. ඒත් අපේ වැටුප? ඒක එතැනමයි.”

තරුණයා එසේ කීවේ කේන්තියෙනි.

සාමාන්‍යයෙන් අපේ රටේ බොහෝ අය කොළඹට  සේන්දු වෙන්නේ රැකියාවක් කොට ස්ථාවර වන්නටය. එසේත් නැත්නම් වෙළෙ¼දාමක් කොට දියුණු වන්නටය. ඒ ඇරුණුකොට නගරයේ ඇති රැකියා ප්‍රමාණයද සුළුපටු නැත. පිටකොටුවේ ඇති හරස් වීදිවල සිට ජනපති මන්දිරය දක්වා මෙන්ම මහ බැංකුවේ පවා රාජකාරි කරන උසස් නිලධාරීන්ගේ සිට කොයි කවුරුත් වැඩි වශයෙන් පැමිණෙන්නේ කොළඹ නගරයෙන් එපිට සිටය. එසේ පැමිණීමට තරම් පහසුකම් නැති දුර බැහැර වෙසෙන බොහෝ ඇත්තෝ ජීවිතය ගත කරන්නේ කොළඹ බෝඩිංවලය. එසේම කන්නෙත්  බොන්නෙත් හැකි විදිහට උයාගෙන පිහාගෙනය. එසේත් නැත්නම් පුංචි පුංචි පෙට්ටි කඩවලිනි.

ග්‍රෑන්ඩ්පාස් එසේත් නැත්නම් කොස්ගස් හන්දියේ සිට මාලිගාවත්තට ආ අපිට ඊළඟට මුණගැසුණේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන තරුණ සේවිකාවන් කිහිපදෙනෙකි.

“අනේ මං දන්නේ නැහැ අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා. දැන් උයන්න විදිහක් නැහැ. තේ බොන්න නැහැ. ගාමන්ට් එකට ගිහින් එතැන දෙන දෙයක් කාලා යාන්තමින් ජීවිතේ බේරගන්නවා. ගෙදර ඇවිත් බෝඩිමේ ඇන්ටිගේ අවසරය අරන් එළියේ මොනවාහරි රත්කර ගන්නවා. වටේ පිටේ මිනිස්සුන්ට හිරිහැරයක් නැති විදිහට ඒක රත්කර ගන්නෙත් හරි අපහසුවකින්.”

“පරිප්පුවක් උයලා ලුණු මිරිසක් හදාගෙන කනවා ඇරෙන්න වෙන දෙයක් අපිට කරන්න බැහැ. එහෙම උයන්නෙත් පරිප්පු මිටක් දෙකක් දාලා. ඒවත් ගණන්නේ.”

හැමදාමත් අපේ රටේ වැඩිම දුකක් විඳි අඩුම පහසුකම් ලැබූ සේවිකාවන් වන්නේ ඇඟලුම් ලියන්ය. ඒ ඔවුන්ගේ වරදක් නිසා නොව අපේ රටේ ඒ රැකියාවට ලබාදී ඇති අඩු සැලකිල්ල නිසාය. එහෙත් ඔවුන් තරම් විදේශ විනිමය උපයා දෙන්නට වෙර දරන පිරිසක් නැති තරම්ය.

“වේල් තුන කාලා.. බෝඩිං ගාස්තු දීලා ගමන් වියදම් දරාගෙන, ගෙදරට යවන මුදල ගැන දැන් කියන්නත් ලැජ්ජයි. ඉස්සර ඩේටා කාඩ් එකක් දාලා ගෙදර අය එක්ක නිතර නිතර කතා කළා. වීඩියෝ එකෙන් වුණාට මූණ බැලුවා. අද ඒවත් සීමා කළා. දරුවෝ ඉන්න අපේ යාළුවෝ දැන් ඒ පුංචි දරුවෝ එක්ක එහෙම කතා කරනවා අඩුයි. දරුවෝ ඒක දරාගන්න බැරිව අඬනවා. පුංචි එවුන්ට අපි මේ අමාරුකම කොහොම පහදලා දෙන්නද?”

මේ ආකාරයටම ඒ ගැටලුව ගැන තවදුරටත් කතා කළේ පුංචි බොරැල්ලේදී මුණගැසුණු වෛද්‍ය සිසුවියන් කිහිපපෙළක්.

“අපිටත් මේ වියදම දරාගන්නන් අමාරුයි. අපි හැමෝම ඇවිත් ඉන්නේ දුර පළාත්වල ඉඳලා. එහෙම ඇවිත් අපිම හදාගන්න කෑම බීම තමයි අපි කෑවේ බිව්වේ. ඒත් දැන් ගෑස් නැති නිසා අපිත් කඩ කෑමට හුරු වුණා. මිල අධිකයි.  ඒත් මොනවා කරන්නද?

ඉස්සර හෝටලයකින් කෑම එකක් ගත්තට වඩා වැඩි මිලක් දැන් ගෙවන්න වෙලා. එහෙම වුණා කියලා මිනිස්සුන්ගේ ආදායම් මාර්ග වැඩි වෙලා නැහැනේ.”

සෞඛ්‍ය සේවයේ යෙදී සිටින අතිබහුතරයක් දෙනා බෝඩිං වී සිටින්නේ බොරැල්ල හා පුංචි බොරැල්ල ආශ්‍රිත ප්‍රදේශවලය.

“මේ හැමතැනකම ඉන්නේ කොළඹ මහ රෝහලේ. ඇස් රෝහලේ වැඩ කරන සේවක සේවිකාවෝ. ඊට අමතරව පෞද්ගලික රෝහල්වල සේවය කරන අය. ෆාමසි සේවය වගේම පරීක්ෂණාගාරවල සේවය කරන අය.

මේ මිනිස්සු කන්න බොන්න නැහැ කියලා වියදම් සැරයි කියලා නිවාඩු අරගෙන ගෙදර ගියොත් මොනතරම් ලොකු පාඩුවක් රෝගීන්ට සිදුවෙනවද? ඊළඟට ඒ අංශයේම ඉගෙන ගන්න ළමයි අද ඉන්නේ ප්‍රශ්න ගොඩක. මේ දරුවෝ හුඟක් දෙනා අෑත ගම් පළාත්වලින් ආ අය. අනේ මන්දා ඒ ගෙවල්වල ඉන්න දුප්පත් අම්මලා තාත්තලා කොහොමද මේ තරම් ලොකු සල්ලියක් එවන්නේ කියලා.”

කුඩාවට හෝටලයක් පවත්වාගෙන යන කාන්තාවක් එසේ කීවේ ඇති වී තිබෙන සංකීර්ණ තත්ත්වය ගැන ඇය ඉතා හොඳ වැටහීමක්  ඇති බැවිනි.

ඇය පවසන ආකාරයට දැන් ඇගේ කඩ කාමරයට වෙනදා තරම් ආදායමක් නැත. එහෙත් කෑමට එන අයගෙන් නම් අඩුවක් නැත.

“සමහර අවස්ථාවලදී ෆුල් කෑම එකක් අරගෙන දෙන්නම කන අවස්ථා මම දැකලා තියෙනවා. එක ප්ලේන්ටිය අරන් දෙන්නම බොනවා. කිරි තේ විකිණෙන්නෙම නැහැ. අපි දියර කිරි පැකට් ගෙනැල්ලා කිරි තේ හදන්න බලනවා. ඒත් විකිණෙන්නේ නැහැ. ‘අනේ කිරි තේ බොන්න සල්ලි නැහැ’ කියනවා. රුපියල් 35ට බීපු කිරි තේ එකනේ රුපියල් 100ක් වෙලා තියෙන්නේ. දෙන්නෙක් බිව්වොත් 200යි!”

ජීවත්වීම උදෙසා අතිශය දරුණු සංකීර්ණ ප්‍රශ්න රැසකට මැදි වී සිටින මේ පුංචි හෝටල්කරුවන් පවා ඒ හෝටල පවත්වාගෙන යන්නේ දුෂ්කරතා මැදය.

“මේක කරන්නම වෙනවනේ. නැත්නම් අපිටත් බඩගින්නෙනේ ඉන්න වෙන්නේ. ඉතින් කඩේ පිටිපස්සේ ළිප් බැදලා උයනවා. වරුවක් විතර ඔරුගොඩවත්තේ භූමිතෙල් පෝලිමේ ඉඳලා තමයි තෙල් ටික අරන් එන්නේ. ඒ ඇවිත් දර ගේන්න යනවා. කාලය පාරටම ඉවරයි. ඉස්සර වගේ නෙවෙයි, දැන් ලාබෙත් අඩුයි මහත්තයා”. ඇය එසේ කීවේ කලකිරීම මුසු වූ හඬකිනි.

පුංචි බොරැල්ලේ සුලෝහිතපුර ප්‍රදේශයේද වැඩිපුර සිටින්නේ බෝඩිං ජීවිත ගත කරන පිරිස්ය. ඔවුන් අතරින් වැඩි දෙනෙක් වැඩ කරන්නේ සෞඛ්‍ය අංශයේය. තවත් අය එදිනෙදා කුලී රැකියා කරන ගම්බද මිනිසුන්ය. ධම්මික එවැනි එක් චරිතයකි.

ඔහු අපට හමුවූයේ හිරු බැස හෝරාවක් දෙකක් ගත වූ පසුවය. 

“මේ පේනවා නේද අපි විඳින දුක? රස්සාව කරලා ඇවිත් තේ කෝප්පයක් බොන්න තමයි මේ දර ළිපේ වතුර රත් කරන්නේ.”

දහඩිය පෙරෙමින් තිබූ ඔහුගේ මුහුණ ඒ වනවිටත් ළංවී තිබුණේ දර ළිපටය. 

සිමෙන්ති බදාම හා කොන්ක්‍රීට් සමඟ ජීවිතය ගෙවන ධම්මික අනුරුද්ධ දෙදරු පියෙකි. අධ්‍යාපනය ලබන දැරියන් දෙදෙනකුගේ පියකු වන ඔහුට දවසේ වැටුප ලෙස ලැබෙන්නේ රු. 1500 _ 1800ත් අතර මුදලකි. 

“බිරියයි දරුවෝ දෙන්නයි ජීවත් වෙන්නේ පාදුක්කේ. අපි ඉන්නේ මේ පුංචි බොරැල්ලේ බෝඩිමේ. මාත් එක්ක තුන්දෙනෙක් නැවතිලා ඉන්නේ රස්සාවට යන්න පහසු හින්දා.” 

“ඒත් දැන් කාලෙක ඉඳලා එක දිගට රස්සාවක් නැහැ. ඇයි සිමෙන්ති හිඟ වුණානේ් ඒ වගේම රුපියල් 1000කින් විතර සිමෙන්ති මිල එක පාරටම වැඩිවුණු නිසා මිනිස්සු අලුත් ඉදිකිරීම් කරන්නෙත් අඩුවෙන්නේ.”

“ඉතින් වැඩ කළොත් ලැබෙන දේකින් කොහොමද අපි ජීවත් වෙන්නේ. ඉස්සර රුපියල් 300-400කින් දවසේ වියදම දරා ගත්තා. දැන් අතේ ඉතිරි වෙන්නේ ඒ වගේ මුදලක්. මේ ප්‍රශ්න නිසා සල්ලි යවන්නත් බැහැ.” 

ධම්මික පවසන ආකාරයට දැන් ඔවුන් කන්නේ දවසට එක වේලකි. ඒ කන්නෙත් පරිප්පු හා බත් පමණි. බොන්නේ ප්ලේන්ටිය. 

“ප්ලැට් ගෙවල්වල ඉන්නකොට දර ළිප පාවිච්චි කරන්න බැහැ. මේ ගෙදර පහළම තට්ටුවේ එළියට ඇවිත් මෙහෙම මොනවා හරි දෙයක් රත් කර ගන්නවා. ඒත් දුම් ගස්සන්න බැහැ. මොකද උඩ ගෙවල්වල ඉන්න අයට කරදරයිනේ.” 

ගෑස් ගන්න පුළුවන්කම තිබුණ නම් මෙහෙම ප්‍රශ්න නැහැ. දැන් ගෑස් එක විතරක් නෙවෙයි හාල්, පරිප්පු, එළවළු, පිටි, කරවල, මාළු, බිත්තර හැමදේම මාරම විදිහට ගණන්නේ. කොහොමද ජීවත්වෙන්නේ? කඩේකට ගිහින් කනවා කියන්නේ හීනයක්. වතුර පයිප්පේ ටිකක් ඇරලා අත හේදුවත් වතුර නාස්ති කරන්න එපා කියලා මුදලාලිලා බනිනවා. ඇයි මහත්තයෝ අපිට මෙහෙම වුණේ” ධම්මික එසේ කියමින් දහදිය පිරුණු මුහුණ යළිත් දර ළිපට කිට්ටු කර පිම්බේ ගින්දර වැඩි කරන්නටය. එහෙත් ඊට වඩා වැඩි ගින්නක් ඔහුගේ හදවත තුළ පත්තුවන බව නම් අපිට මැනවින් අවබෝධ විය. 

“මොකක්ද මේ ජීවිතේ කියලා වේලාවකට හිතෙනවා. මැරෙනවා නම් හොඳයි කියලත් හිතුණ වාර ගණන අනන්තයි. ඒත් දරුවෝ ලොකු වෙනකන් ඉන්න එපැයි.” ධම්මික සංවේදී හඬකින් එසේ කීවේය. 

මිනිසකුගේ මූලික අවශ්‍යතා අතර ඇති ප්‍රධානතම දේ කෑම, බීම හා ඇඳුම්ය. ඒ සියලු දේ අතර ඊළඟට වුවමනා වෙන්නේ බෙහෙත් හේත්ය.

දැන් මේ සියල්ලටම වැය කළ යුතු මුදල සුළුපටු නැත. ඒ තරම්ම ඒ අවශ්‍යතා සපුරා ගැනීමට වුවමනා සියලුදේ මිලෙන් වැඩිය. ඉදින් දවසේ වැටුප පමණක් නොව මාසික වැටුප ලබාගන්නා අයත් මැසිවිලි නඟන්නේ එකම එක කරුණක් ඉස්මතු කරමිනි.

“හැමදේම වැඩි වුණත් පඩිය වැඩිවෙලා නැහැනේ. සල්ලි අච්චු ගහලා හරි ඒ ඒ අයගේ වැඩ කරගන්නවා. අපි වෙනදා ගාණම අතට අරන් ඒ වගේ දෙගුණයක් වියදම් කරනවා. මේක පිස්සුම පිස්සු ආණ්ඩුවක්. සැලැස්මක් නැති, මිනිස්සු ගැන හිතන්නේ නැති ආණ්ඩුවක්. මම දැන් බෝඩිමෙන් අයින් වෙලා බස් එකේම නිදාගන්නවා. අඩුම තැනකින් පුංචි දෙයක් අරන් කනවා. උදේට පිටකොටුවේ වැසිකිළියට ගිහින් ඒ අවශ්‍යතා සපුරා ගන්නවා. මේක පුදුම ජීවිතයක් මහත්තයා.” බොරැල්ල පිටකොටුව බස් රථයක සේවය කරන කොන්‍ෙදාස්තර මහත්තයා එසේ කීවේ නොරුස්සන හැඟුමෙනි. 

“මම අම්බලන්ගොඩ කෙනෙක්. කන්න බොන්න ඉන්න හිටින්න විදිහක් නැහැ කියලා ගෙදර ඉඳලා එන්නද? බස් ගාස්තු දරාගන්න බැහැ. අනික මේ ඩීසල් පෝලිම්වල වරු ගණන් ඉඳලා එපා වෙලා තියෙන්නේ. මේ වගේ ආණ්ඩුවක් නෙවෙයි මහත්තයා අපි ගෝඨාභය මහත්තයගෙන් බලාපොරොත්තු වුණේ. මහින්ද මහත්තයත් මේ ආණ්ඩුවේ ඉන්නවා. කෝ අර අපි දැක්ක නායකයා? එයත් නැහැ. දැන් අපිට මේ සේරම  එපා වෙලයි ඉන්නේ.” 

ඔහු එසේ කියා අපි සමඟ කළ කතාබහ අවසන් කළේ පරුෂ වචන වැලක් සමඟය. 

සාමාන්‍යයෙන් අද කාලේ බෝඩිං ව්‍යාපාරය පවා විධිමත්ව කිරීමට කිසිවකුට නොහැකිය. ඒ අදට වඩා හෙට බඩු මිල වැඩිවන නිසාය. 

“මමත් දැන් අවුරුදු ගාණක ඉඳලා බෝඩිමක් කරනවා. මා ළඟ ඉන්නේ වෛද්‍ය සිසුවියෝ. දැන් ඒ දරුවන්ට සාධාරණ මිලකට හොඳ කෑම ටිකක් දෙන්නේ කොහොමද? කාමර ගාස්තු වැඩි කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඒත් මේ තියෙන වටපිටාව එක්ක වැඩි නොකර කරන්නත් බැහැ. හැමදේම දැන් ගණන්නේ.” මෙසේ කීවේ පුංචි බොරැල්ලේ සුලෝහිතපුර ඉන්නා සේරසිංහ මහත්මියයි. 

“ගෑස් එනවා කිව්වාම ගෑස් පෝලිමට දුවනවා. ඒක ගන්න බැරිවුණාම ඔරුගොඩවත්ත භූමිතෙල් පෝලිමට යනවා. ළඟදි දවල් 12ට විතර ගිහින් රෑ 12.30 වෙනකම් ඉඳලා තමයි භූමිතෙල් අරන් ආවේ. දවස් තුනක් යනකම් කකුල් රිදුණා. එච්චරටම හිටගෙන ඉඳලා අමාරුයි.

ඊළඟට පරිප්පු කිලෝ එකේ ඉඳලා හැමදේම ගණන්. කොහොමද උයන්නේ.  ඒත් ඉතින් කන්නත් ඕනනේ. බෝඩිමේ ඉන්න ළමයින්ටත් වේල් තුන දෙන්න ඕනනේ. ඉතින් හැම දුකක්ම දරාගෙන මේ සටන කරනවා.” ගෑස් නැති ගැටලුව නිසා ඇය දැන් උදේ කෑම උයන්න අවදි වෙන්නේ පාන්දර තුනටය. රෑ කෑම දහවල් 2.00 සිට උයන්නීය.

“දර ළිපේ, එහෙමත් නැත්නම් භූමිතෙල් ළිපේ උයද්දි කාලය හුඟක් ඕන වෙනවනේ. ඉතින් වේල් තුන උයන්න දවසම ඉවරයි. මේක පුදුමාකාර කාලයක්. ජීවත්වෙන්න අපි හැමෝම මාර සටනක තමයි ඉන්නේ. බෝඩිංවල ඉන්න දරුවෝ ගැනත් දුකයි. ඒ ළමයි ජීවත් වෙන්නෙත් ගෙවල්වලින් එවන සල්ලිවලින්නේ. අනේ මං දන්නේ නැහැ කවදා  කොහොම මේ ගැටලු විසඳේවිද කියලා.” ඇය දිගු සුසුමක් හෙළමින් කීවාය.

එදා නම් කොළඹ බෝඩිං ජීවිත ගත කරන බොහෝ අයගේ ගැටලු එකම විදිහේ ඒවා විය. ඒවා අද තරම් සංකීර්ණ නැත. එහෙත් අද බෝඩිං ජීවිත ගත කරන උදවිය පමණක් නොව ඒවා ව්‍යාපාරයක් හැටියට පවත්වාගෙන යන අයටද ඇත්තේ විසඳුම් සොයාගත නොහැකි ගැටලු ගොන්නකි. “ගමක හිටියා නම් ඇළකින් ‍ෙදාළකින් වතුර ටිකක් හරි අරන් මූලික අවශ්‍යතා ඉෂ්ට කරගන්න තිබුණා. ගහක ගෙඩියක් කඩාගෙන කාලා හරි බඩගින්න නිවාගන්න තිබුණා. ඒත් මේ කොළඹ පුරවරයට අමුත්තෝ වෙලා ඉන්න අයට මුකුත්ම නිකම් ලැබෙන්නේ නැහැ. සල්ලි ඕන.” 

මෙසේ කීවේ සුළු ව්‍යාපාරයක නිරතවී සිටින පුංචි බොරැල්ලේ මංජුලය.

“දැන් අපි කනවා නෙවෙයි දැන් ලෙවකනවා. අපි පත්කර ගත්තේ ලෙවකන්න පුරුදු කරන ආණ්ඩුවක්. කසාද බැඳලා ගෑනිත් එක්ක කොළඹ ආපු මම මේ වියදම් දරාගන්න බැරිව එයාව ගෙදර යැව්වා. අපේ පවුල් ජීවිතේ ගෙවන්නේ දැන් දෙපැත්තක. මොකක්ද මහත්තයා අපිට මේ වුණේ. ආණ්ඩුව මිල පාලනය ගැන දැන් හොයන්නේ නැහැ. ඒ ඒ අය ඒ  ඒ අයට ඕන විදිහට හැමදේම වැඩි කරනවා. දැන් පාන් භාගයයි, පරිප්පු පීරිසියයි, තේ කෝප්පයි ගත්තත් ගාණ කීයද බලන්න. මෙහෙම කන්නද අපි ආණ්ඩු හැදුවේ.” 

මාදම්පේ පදිංචි උපුල් මෙසේ කීවේ තමන්ගේ ප්‍රදේශය නියෝජනය කරන ඇමැතිවරයකුගේ නමක් සඳහන් කරමින්ය.

“ආපහු ආවොත් නම් ගමේ මිනිස්සු ගහනවා මහත්තයා. මමත් ගහනවා.” ඔහුගේ ආවේගය තේරුම් ගත් අපි හීන් සිරුවේ එතැනින් ලිස්සා ගියේ ඊළඟ අදියරේදී ඒ බ්රේක් නොමැති කටින් පිටවන කුණුහරුප වැල අසාගෙන සිටීමට නොහැකි නිසාය.

දැන් කොළඹ ජීවත්වන අයගේ පමණක් නොව කොළඹට ආ පිටගම්කාරයන්ගේ ජීවිත අර්බුදයට ලක්වී හමාරය. ඒ අර්බුදයට පෙනෙන, දැනෙන විසඳුම් නම් නැත. ඇත්තේ කයිවාරුකාරයන්ගේ කට කැඩිච්ච කතා පමණි. ඒ කතා අසාගෙන සිටින බඩගින්න දැනෙන මිනිසුන් බලා සිටින්නේ ඊළඟ වාරයේදී කතිරයෙන්ම ඔවුන්ට පිළිතුර ලබාදෙන්නටය.