එන පොට හොඳ නෑ !

0
35

එලෙස ගරාවැටුණු  ආණ්ඩුවකින් එරට ජනතාවට සෙතක් සැලසෙතැයි සිතීමට පවා නොහැකි වේ. එහෙයින් ඕනෑම රටක රාජ්‍ය  පාලකයකු නිරතුරුව ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ ආණ්ඩුව ඉතා ශක්තිමත්ව පවත්වාගෙන යෑමටය. 

වර්තමානයේ පවතින ආණ්ඩුවද මීට දෑවුරුද්දකට පමණ පෙර ආරම්භ කෙරුණේ ඉතා ශක්තිමත් පදනමකින් යුතුවය. ඒ සඳහා 69 ලක්ෂයක පමණ ජන පදනමක් තිබිණි. ඒ අනුව අභිනවයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඊළඟට පැවති මහ මැතිවරණයට මුහුණ දුන්නේ දැඩි විශ්වාසයකිනි. එම මහ මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලද ඉතා විශිෂ්ට ගණයේ එකක් විය. එනම්, පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය 2/3කටත් වැඩි පාර්ලිමේන්තු බලයක් දිනාගෙන සිටියේය.

ඒ වන විට අභිනව ආණ්ඩුවට රට ගොඩනැඟීම සඳහාත්, ජනතාවට සේවයක් සැලසීම සඳහාත් කොතරම් තදියමක් තිබුණා දැයි කිවහොත් ඒ මොහොතේ තමන් සතුව තිබුණු 2/3ක බලය යොදා ගනිමින් 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ද සම්මත කර ගත්තේය. ඒ අනුව ආණ්ඩුවට ඉතිරිව තිබුණේ “හිටු” කියා ජනතාවට සේවය කිරීම පමණි. ඒ ගැන ජනතාවගේද බලාපොරොත්තු දැල්වී තිබුණේය. 

එහෙත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට ඒ සඳහා ආරම්භයක් ගැනීමට පවා නොහැකි විය. ආණ්ඩුවේ බලවතුන් ඒ පිළිබඳව නිදහසට කරුණු දක්වන්නේ කොහෙ‍ෙදා් සිට මෙරටට කඩා වැදුණු කොරෝනා උවදුර විසින් තමන්ගේ සියලු අපේක්ෂිත ක්‍රියාකාරකම් අබල, දුබල කර දැමූ බව කියමිනි. කෙසේ වෙතත් මේ වන විට කොරෝනා උවදුර යම් තරමකට හෝ යහපත් වී තිබෙන අතර ඉන් අනතුරුව අපට මුහුණ පෑමට සිදු වූයේ රටේ හැම අස්සක් මුල්ලක් නෑරම ඔඩුදුවා ඇති ඩොලර් හිඟයකටය. එය මකරාක්ෂයකු සේ දත් විළිස්සා ගෙන රටම ගිල ගත්තේය.

අප මෙතෙක් සිතුවේ රට එක තැන නතර වී තිබුණේ කොරෝනා උවදුර නිසා බවය. එහෙත් මේ වන විට පෙනෙන්නට තිබෙන අන්දමට ඩොලර් හිඟය නිසා මුළු රටම එක තැනම ගල්වී තිබේ. ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය ඒ පිළිබඳව සියලු ‍ෙදාස් පවරන්නේ ඉකුත් වසර 4 1/2ක කාලයක් ආණ්ඩු කළ යහපාලන නඩයටයි. එය තවත් ගැටලුවකි. එහිදී 2004 සිට 2015 වනතුරු රට පාලනය කරන ලද්දේ එකම පක්ෂයක් විසින් බව ආණ්ඩුව සිතාමතාම අමතක කර තිබේ. එය ශ්‍රී ල.නි.ප.ය මුල්කරගත් එ.ජ.නි. සන්ධාන ආණ්ඩුවකි. 

මේ අතර වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ජනතාවට ලබාදුන් පොරොන්දු මේ වන විට වාෂ්ප වී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබේ. එය කවුරුන්ගේ වරදක් හෝ අඩුපාඩුවක් නිසා සිදු වූවක්දැයි යන්න තවත් ගැටලුවකි. රජයට අයත් කිසිදු දේපළක් පිටරැටියන්ට විකුණන්නේ නැතැයි දහ අතේ පොරොන්දු දී ජනතාව රවටා බලයට පත්වූ වත්මන් ආණ්ඩුව “යුගදනවි” බලාගාරයට අයත් කොටස් වැඩි ප්‍රමාණයක් ඇමෙරිකානු සමාගමකට පවරා දුන්නේය. ඊට අදාළ ගිවිසුම අස්සන් කර තිබුණේ මැදියම් රැයේදි වීමද විශේෂත්වයකි. ඉකුත්දා ජනාධිපතිවරයා විසින් ඇමැති ධුරයෙන් ඉවත් කරන ලද විමල් වීරවංශ මහතා කියන ලද අන්දමට එම ගිවිසුම අස්සන් කිරීමට පෙර ඇමැති මණ්ඩලය පවා ඒ පිළිබඳව දැනුවත් කර නොතිබිණි. වත්මන් ආණ්ඩුවට 2/3 බලයක්  සහ 69 ලක්ෂයක ජන පදනමක් ඇතත් ඇමැති මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව දැනුවත් නොකර එබඳු ගිවිසුමක් අස්සන් කළ හැකිදැයි යන්න ප්‍රශ්නයකි.

කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් ඔවුන්ගේ ඇමැති ධුරවලින් ඉවත් කිරීමට මුල් වූ ආසන්නම හේතුව වූයේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැති සමුළුවකට සහභාගි වී මාධ්‍ය හමුවේ දක්වන ලද මුරණ්ඩු අදහස් කිහිපයකි. එහිදී ඔවුන් දෙපළම ආණ්ඩුවේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාපිළිවෙළ ගැන බලවත් ලෙස ‍ෙදා්ෂ දර්ශනයට ලක්කර තිබුණේය. ආණ්ඩුවේ ඇතැමුන් විසින් දක්වන ලද අන්දමට ඔවුන් දෙදෙනා එහිදී කර තිබුණේ කැබිනට් සාකච්ඡාවේදී හෝ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී කළ යුතුව තිබූ කතාවකි.

ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන් සඳහන් කරන ඒ කතාවද කිසිසේත්ම බැහැර කළ නොහැකි අදහසක් බව සැබෑය. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ කැබිනට් මණ්ඩලයේ හෝ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී එවැනි දෑ සාකච්ඡා කිරීමට ඉඩ ප්‍රස්තාවක් නැතිනම් ඔවුන්ටද ජනතාව ඉදිරියට ඒම හැර වෙනත් කළ හැකි දෙයක් නැතිවීමය.

උදය ගම්මන්පිල හිටපු ඇමැතිවරයාටද ගත වූ සති කිහිපය තුළ ඉන්ධන හිඟය සම්බන්ධයෙන් කිහිප වරක් බොරු කීමට සිදුවී තිබුණේය. ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ අබල දුබලකම් නිසා එලෙස අතේ පැළවෙන බොරු කී ගම්මන්පිල ජනතාව හමුවේ සිනාවට ලක්වූයේ වරක් දෙවරක් නොවේ. ඔවුන් ඒ සියලු බොරු වගුරවනු ලැබුවේ ආණ්ඩුව වෙනුවෙනි. එහෙත් අන්තිමේදී ඔහුට සිදුවූයේ ආණ්ඩුවේ අඩුපාඩු වසා දැමීම සඳහා බොරු කීමේ වැරුද්දට දඬුවමක් වශයෙන් තමන්ගේ ඇමැති ධුරය අහිමි කර ගැනීමටය.

මේ අතර ආණ්ඩුවේ ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාරද ක්‍රමයෙන් දංගෙඩියට ආසන්න වෙමින් සිටියි. ඔහු කියන්නේ තමන් ඇමැති ධුරයෙන් ඉවත් නොවුවද ඇමැති මණ්ඩල රැස්වීම දිගින් දිගටම වර්ජනය කරන බවකි.

මෙහිදී අපට ඇසිය යුතු එක් වැදගත් කරුණක් තිබේ. එනම් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකුට ලැබෙන මාසික දීමනාව ඇතුළු වෙනත් වරප්‍රසාද ඔහු ලබාගන්නවාද නැද්ද යන්න පිළිබඳවය. 

මේ අතර අද හෙටම ආණ්ඩුවේ දංගෙඩියට ගෙල තැබීමට සිදුවන තවත් කිහිප දෙනෙක් ගැනද අසන්නට ලැබේ. ඒ අතරින් එක් අයකු වන්නේ දැනට රාජ්‍ය ඇමැතිවරයකු වශයෙන් කටයුතු කරන විදුර වික්‍රමනායකය. ආණ්ඩුවේ අභ්‍ය‍න්තර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඔහුගේ කටට බේ්‍රක් නොමැත. ඒ අනුව විදුරගේ රාජ්‍ය ඇමැති ධුරය ගැලවී යන දිනය වැඩි අෑතක නොවිය හැකිය. 

වත්මන් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂයේ තවත් මන්ත්‍රිවරුන් 14 දෙනකු තවමත් වැට උඩ සිටින්නේ තමන් යා යුතු මඟ නිවැරදිව තෝරා බේරා ගැනීමට නොහැකිවය. එහෙත් ඔවුන් අතර සිටින නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ අතරින් සුරක්ෂිතම පුද්ගලයා වේ. ඒ සඳහා දැක්විය හැකි හේතුව වන්නේ ඔහු අවශ්‍ය ප්‍රමාණයට වඩා කතා නොකර තමන්ගේ කතාබහ දැඩි පාලනයකට යටත් කරගෙන සිටීමයි.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ සාමාජිකයකු මෙන්ම හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාටද තමන්ගේ රාජ්‍ය ඇමැති ධුරය අහිමි වූයේද දෙල්කඳ පොළේදී එක්තරා විද්‍යුත් මාධ්‍ය‍යකට කරන ලද කෙළින් කතාවක් නිසාය. ඔහු තනතුරින් ඉවත් කිරීමට මුල්වූ හේතුව ලෙස ආණ්ඩුවේ පාර්ශ්වය එසේ කීවද ඒ සඳහා මුල්වූ හේතු සාධක කිහිපයක්ම තිබිණි. ඔහු කාලයක සිටම ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ උදහසට ලක්ව සිටීම ඒ සඳහා මුල්වූ ප්‍රධානතම හේතුවයි.

තමන්ගේ මැති ඇමැතිවරුන් කෙළින් කතා කිරීම බොහෝමයක් රාජ්‍ය පාලකයන් දකින්නේ අනවශ්‍ය කරදරයක් ලෙසිනි. එවැන්නන් දුටු තැන පිටුදැකීම බොහෝමයක් බලධාරීන්ගේ සුපුරුදු සිරිතකි. එවැනි බලධාරීන් වැඩි දෙනකුට අවශ්‍ය කරන්නේ තමන්ගේ හැම ක්‍රියාවක්ම උහුලන එහෙයියන්ය. එහෙයියන් නොවන සියලුම දෙනා ඔවුන් දකින්නේ තමන්ගේ යස ඉසුරු උදුරා ගැනීම සඳහා පැමිණි සතුරන් වශයෙනි.

ඉකුත් වසරේ මැද භාගයේ සිට කෘෂිකර්ම ඇමැති කාබනික පොහොර මුල්කරගෙන ලෝක පිම්මක් පැන තිබුණේය. මේ වනවිට ඔහු එම ප්‍රශ්නයෙන් තාවකාලිකව හෝ මිදී ඇත්තේ ලොක්කන්ගේ වැරදීම් තමන්ගේ කර මතට ගැනීමේ ආදීනව වටහා ගැනීම නිසා විය හැකිය.

ඕනෑම ආණ්ඩුවක ඇමැති මණ්ඩලය යම් තීරණයක් ගැනීමෙන් පසු සියලුම දෙනා එක මතයක් දැරිය යුතු බව සත්‍යයකි. එහෙත් සාමූහිකත්ව වගකීමෙන් බැඳුණු පළියට ආණ්ඩුවේ සියලුම වැරදිවල වගකීම තමන්ගේ කර මතට ගැනීමද බරපතළ අනුවණකමක් යැයි විමල් සහ ගම්මන්පිලට ද සිතුණා විය හැකිය.

එසේම ඔවුන් ප්‍රසිද්ධියේ සඳහන් කරන අන්දමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බැසිල් රාජපක්ෂ මහතා විසින් තමන්ගේ ග්‍රහණයට ගෙන තිබේ. ඔහු ඇමෙරිකාවේ සිට පැමිණ ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරයට පත්වන මුල් අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ වැඩි දෙනකුගේ අදහස වූයේ මොළ හතක් ඇති කාර්ය ශූර බැසිල් රාජපක්ෂ මහතා රටේ ආර්ථිකයට ප්‍රාණ වායුව පිඹ රට කිරියෙන් පැණියෙන් උතුරවනු ඇති බවය. එදා ඔවුන් බැසිල් රාජපක්ෂ මහතා අත ඇලඩින්ගේ පුදුම පහන තවමත් දැල්වෙමින් ඇතැයි සිතුවද එවැන්නක් දැකීමට නොහැකි විය. මේ අතර ආණ්ඩුවේ කාර්යක්ෂමතාව නිසා මුළු රටම දරිද්‍රතාවට බිලිවෙමින් පැවතිණි. අල්ලස, දූෂණය හා නාස්තිය මෙන්ම අකාර්යක්ෂමතාවය මත රට ඉදිරියට යනවා වෙනුවට ක්‍රමයෙන් පිටුපසට ඇදී යමින් තිබුණේය. එහෙත් ආණ්ඩුවේ ඇතැම් බලධාරීන්ට ඒ ගැන වගේ වගක් නොතිබිණි. 

අපට පෙනෙන අන්දමට නම් එය ආණ්ඩුවේ බලධාරීන් තුළ දේශපාලන අත්දැකීම් නොමැතිවීමේ අඩුව නිසා හටගෙන තිබෙන අනිටු ප්‍රතිවිපාකයකි. එසේම ඔවුන්ට එහි බරපතළකම ගැනද නොතේරෙනවා විය නොහැකිය. එහෙයින් රාජ්‍ය බලධාරීන් දැන්වත් මේ යථාර්ථය වටහාගත යුතුය. ඔවුන් දැන්වත් ඒ බව නිසියාකාරව වටහාගෙන ඒ අනුව කටයුතු කරනු ලැබුවහොත් සිදුවීමට ඉඩ ඇති බරපතළ විනාශය අවසන් තත්පරයේදී හෝ වළක්වා ගත හැකිය. එසේ නොවුණහොත් සිදුවිය හැකි විනාශය අතිශයින් බියකරු ස්වරූපයක් ගැනීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. 

එසේම මෙකල රට තුළ පවතින්නේ ජාතික ආපදා අවස්ථාවකි. එවන් තත්ත්වයක් තුළ විපක්ෂය බොරදියේ මාළු බෑමට උත්සාහ කරමින් සිටින බවක් ද පෙනෙන්නට තිබේ. එයද බරපතළ වැරැද්දකි. මන්ද ජාතික ආපදා අවස්ථාවකදී හැම දේශපාලන පක්ෂ නායකයකු විසින්ම සිදුකළ යුතු ප්‍රථම කාර්යය වන්නේ රට ගොඩනඟා ගැනීම වන බැවිනි. 

එහෙයින් මෙවන් අවස්ථාවකදී හැම දේශපාලන පක්ෂ නායකයකු විසින්ම සිදුකළ යුතු ප්‍රථම කර්තව්‍යය විය යුත්තේ රට ගොඩගැනීමය. රටේ මීළඟ පාලකයන් කවුරුන් විය යුතු දැයි තීරණය කිරීම රට ගොඩගැනීමෙන් පසුව කළ හැකිය.

ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි