ඇමැතිකම කොයි වෙලේ නැති වෙයිද දන්නෑ

0
23

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි

තමාගේ අමාත්‍ය ධුරය කොයි මොහොතේ අහිමි වේ දැයි නොදන්නා බවත් එවැනි අඩමානයක තමා මේ මොහොතේ සිටින බවත් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තුවේදී පැවැසීය.

කෙසේ නමුත් තමාට අමාත්‍ය ධුරය අහිමි වෙනවානම් හෝ වෙන්නේ තමා එක්තරා ස්ථාවරයක් මත නැඟී සිටීම නිසා පමණක් බවද අමාත්‍යවරයා පැවැසීය.

ඒවා ජීවිතයේ කිසියම් සතුටකට ඉතිරි වන කරුණක් බවත් ඔහු පැවැසුවේ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය බැටී වීරකෝන් වෙනුවෙන් පෙරේදා පාර්ලිමේන්තුවේදී කළ ශෝක යෝජනාවට අදාළ සිය කතාවේදීය.

‘මම දන්නේ නැහැ මගේ ඇමැතිකම කොයි වෙලේ මට නැතිවෙයිද කියලා. ඒවගේ අඩමානයකයි මම අද සිටින්නේ. එසේ මට ඇමැතිකම නැති වෙනවා නම් ඒකට හේතුව එක්තරා ස්ථාවරයක් මත මා නැඟී සිටීමයි. එවැනි මොහොතක තමයි අද මේ කතා කරන්නේ. නමුත් එවැනි ස්ථාවරයක නැඟී සිටීම ජීවිතයේ කවදා හෝ සතුටට ඉතිරි වන කරුණක්” යැයි නානායක්කාර මහතා පෙන්වා දුන්නේය. 

ඔහු උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේ විශිෂ්ට දේශපාලනඥයකු වූ බැටී වීරකෝන් හිටපු අමාත්‍යවරයාද ඔහුගේ අමාත්‍ය ධුරයේ සිටියදී එවකට විදේශීය සමාගමකට පොස්පේට් නිධිය පැවැරීමට යන මොහොතේ එය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් පෙරට ආ අතර ඔහුටද එදා අමාත්‍ය ධුරය අහිමි වූ බවයි.