ඇදුරා එවූ විනයකට බටහිර ගුප්ත ක්‍රමයකින් ප්‍රතිප්‍රහාර එල්ල කළ හැටි වරම් කියා සිතාගෙන බොහෝ දෙනා අමනුෂ්‍ය උවදුරුවලට හසුවෙලා

0
59


“මළ යකා වැහුන නම් ඇයි දිව්වෙ. ගැට ගහන්නනෙ තිබුණෙ. මෙච්චර වෙලා දැඟලුවෙ යකාව කාගෙ හරි ඇඟට ගන්න නේද?” 

පණ කඩාගෙන දිවගොස් නැවත පැමිණි ඇදුරාගෙන් මගේ ඥාති දියණිය සැරෙන් අසන්නට වූවාය.

“පලයන් මිනිහො කට පියාගෙන එළියට  යන්න. මගෙන් ගුටි නොකා.”

 මගෙ සැමියා කෝප වුණු නිසා මම නිහඬ වූයේ ප්‍රශ්නය දුරදිග ගියොත් මගේ සැමියා දරුණු වන නිසාය. මගේ සැමියා මා ගැන සිතන්නේද එලෙසය. මගේ කෝපය නිවන්නට ඔහුට අවැසිය.

තව මොහොතක් එහි නොරැඳුණු අපි ඒ මොහොතේම නිවෙසින් පිටත්වීමු. කොතෙක් වෙලා සිටියත් සුනිල් ඇදුරාට එය කළ නොහැකි බව මම දන්නෙමි. වෙද මාමා ගැන අනුකම්පාවක් පමණක් ඇති විය. වැඩ්ඩෙක් කියා ඇදුරෙක් එක්ක පැමිණීමෙන් ඔහුටද සිදු වූයේ ලැජ්ජා වන්නටය.

 සමහර ගුප්තවේදින් මෙන්ම මිනිසුන්ද  හිතන්නෙ දෙවියන් කියන්නෙ එයාලගෙ වැඩකාරයො කියලයි. එයාල දෙන පූජා වට්ටියට පෙරේත වෙලා  සේරොම වැඩ කරල දෙන්න ඕනෙ කියලාය. එහෙනම් යන්ත්‍ර  මන්ත්‍ර මොකටද? දෙවියො පින්කර දෙව්සැප ලැබුවේ මිනිසුන්ගෙ වැඩකාරම් කරන්නටද? පුද සත්කාර දෙන්න කියලා දෙවියන් කිව්වාද?

මගෙන් පහර නොකා දශමයෙන් බේරුණත් ලැජ්ජාවක් නැති සුනිල් යකැදුරුතුමා මට විනයක් එවා තිබිණි. එය මම භාවනාවේදී  දැක පෙරළා දින කිහිපයක් පේවී ඉන්පසු බටහිර ගුප්ත ක්‍රමයකට බලවේගයක් පිටත් කර හැරියෙමි. නැවතත් දෙවියන්ට අපහාස  නොකරන්න එසේ කළෙමි. මාස ගාණක් ඔහුට වැඩ නැති කොට ඉන්පසු ලෙඩ කළෙමි. මම කිසිවකුටවත් එසේ කරන කෙනෙක් නොවෙමි. එහෙත් කළ වරද පිළිගෙන පැත්තට නොවී මට වින එවීම නිසා ඔහු කවදාවත් හැදෙන එකෙක් නොවන බව පැහැදිලි විය. අන් අය වෙනුවෙන් දඬුවම් කිරීම මම නොකරමි. මා වෙනුවෙන් මම එය කළෙමි.

  මෙම කතාව කියවන මාන්නයෙන් පිරි ගුප්තවේදීන්ට සමහරවිට කේන්ති යන්නට පුළුවන්ය. එහෙත් යමෙක් කියනවා නම් මෙය බොරුවක් කියා කෙළින්ම මුහුණට හමුවන්න. මෙම සිදුවීමට මුහුණ දුන් පවුලේ අය අදටත් මාවෙත පැමිණෙති. ඔවුන්ගේ පියාව රැගෙන මිස නොයන බව අමනුෂ්‍යයා මට පැවැසීය. එය මම ඔහුගේ දියණියට පැවැසුවෙමි.

“නංගී තාත්තා වෙනුවෙන් මොනවද කළ හැක්කේ.”

“අක්කේ තාත්තා මාස තුනකට වඩා ජීවත් වුණොත් මට කියන්න.”

“අනේ නංගී තාත්තා මැරෙයිද ඒ කියන්නේ.”

ඔහු මේ මාසෙන් පසු පෙනෙන්නට නැති බවත් මියයන බවත් මම පැවැසුවෙමි. දිනක් මට දුරකථන ඇමැතුමක් ලැබිණි.

“නංගී, ඔයා කිව්වා හරියටම හරි. ගිය මාසේ තාත්තා නැති වුණා නංගී” 

ඇය පැවැසුවේය. මට අදටත් එම ධෛර්යවන්ත ගැහැනියගේ මුහුණ මැවී පෙනේ. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඔවුුන්ට යහපතක්ම වේවා කියාය.

සමහර අය මගෙන් නිතරම වරම් ගැන අසති. මීට වසර දෙකකට පමණ පෙර වරම් ගැන ලිපියක් තරුපති අතිරේකයට ලීවෙමි. තවදුරටත් ඔබට වරම් ගැන දැන ගැනීමට අවශ්‍ය නම් පේන කීමේ ශාස්ත්‍රය හෙවත් වරම හා කර්ණ මුණ්ඩය පොත කියවන්න. එය පොත් කඩවල විකිණීමට ඇත. වරම් ගැන උනන්දුවක් දක්වන ඔබට අවශ්‍ය බොහෝ තොරතුරු එයින් ලබා ගන්න හැකිවේවි.

බලගතු අමනුෂ්‍ය භවයන් මෙන්ම දුර්වල භවයන්ද නොපෙනෙන ලෝකය තුළ පවතී. දෙවියන්ද සියුම් පියවි නෙතට නොපෙනෙන ශරීරවලින් යුතුය. එහෙත් ගමන් කිරීමේදී විහිදෙන දිව්‍ය ආලෝක ධාරාව නිසා කලාතුරකින් මිනිසුන්ට දෙවියන් දර්ශනය විය හැකිය. මම කුඩා කල පටන් අඳුනෙන් දුටු විදිහට අදත් පවසන්නේ අප වන්දනා කරන දෙවිවරු දේවාලවල පිළිමවල මෙන් වැඩි ශරීර අංගයන්ගෙන් යුක්ත නොවන බවයි. දෙවියන්ට විකෘති ස්වරූපයක් නැති බවයි. දෙවියන්ගේ ශක්තිය මවාපෑමට සහ මිනිසා තුළ දෙවියන් කෙරෙහි බියක් ඇති කිරීමටත් භක්තිය වැඩි කිරීමටත් එලෙස දෙවියන්ගේ පෙනුම නිර්මාණය ඇති කර ඇත්තේ හින්දු ජනයා විසිනි. එහෙත් අතීතයේ දේව පිළිම නෙළා තිබුණේ සාමාන්‍ය මනුෂ්‍ය රූපයට සමානවය. කතරගම දෙවියන්ගේ පිළිම පවා එලෙස පැවැතිණි.