අහිමි ප්‍රේමයට තුන් දෙනෙක්ම ගිනිගොඩක දවපු අපරාධයක හැටි..!

0
21

කටුගස්තොට පොලිසියේ නිලධාරීහුද සිද්ධිය වූ මැණික්හින්න වත්තට පැමිණ විමර්ශනවල යෙදී සිටියහ. වත්තේ කෙළවරක තහඩුවලින් වටකර තිබූ කුඩා නිවෙසක් පිලිස්සී දැවීගොස්ය. දැවී පිලිස්සී ගිය සුන්බුන් අතර සිරුරු තුනක්ද විය. එහෙත් ඒ අතර සිටි පිලිස්සී ගිය මවක් කෙසේ හෝ බේරාගත් අසල්වාසීන් පිලිස්සුම් තුවාල සහිතව ඇය මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබිණි. ඒ නිසා මේ වනතුරුත් ඇගේ පණ නල වියැකී ගොස් නොතිබිණි.

පිලිස්සී විනාශව ගිය නිවෙසේ හිමිකරු වූයේ ඊශ්වර දේවාන්ය. ඔහුගේ රැකියාව බුලත්විට විකිණීමය. මහනුවර කටුගස්තොට පාරේ රණවන මාර්ගයේ අයිනක සිට සකසාගත් බුලත් විට විකිණීමෙන් ඔහු සොච්චම් මුදලක් සොයා ගත්තේය. බුලත්විට විකිණීම නිසාදෝ ඒ අවට බොහෝ පිරිස් ඔහු හොඳින් දැන හඳුනාගෙන සිටියහ.

රාණිඅම්මා ඔහුගේ බිරියයි. චන්ද්‍රවාදිනි ඔහුගේ එකම දියණිය වූවාය. ඊශ්වරන් බිරිය හා දරුවන් නඩත්තු කළේද බුලත් විට විකිණීමෙන් ලැබෙන ආදායමෙනි.

මේ වනවිට චන්ද්‍රවදිනී පෙම්වතකු ඇසුරු කළාය. ඒ බව ඊශ්වරන් මෙන්ම රාණිඅම්මාද හොඳින් දැන සිටියහ. චන්ද්‍රවාදිනි හා කුමාර්ගේ ප්‍රේමයට මේ වනවිට වසර ‍ෙදාළහක් පමණ ගතවී තිබිණි. මේ නිසා කුමාර් ඇගේ නිවෙසට යෑමට ඒමටද හැකියාව ලැබිණි.

මුලින් මුලින් ඉතා ආදරයෙන් සතුටින් ගත කළද මෑතක සිට චන්ද්‍රවාදිනිත් කුමාර් අතර කිසියම් නොගැළපෙන සිද්ධීන් මතුවිය. මේ නිසා කුමාර් හා චන්ද්‍රවාදිනි නිවෙස තුළම බැන ගත්හ. රණ්ඩු කළහ. අසල්වැසියන්ටද මෙය අරුමයක් නොවීය. මැණික්හින්න වත්තේ නිවාස ළං ළංව පිහිටීම නිසා මේ දෙන්නාගේ රණ්ඩුසරුවල් ගැන වත්තේ කවුරුත් දැන සිටියහ. චන්ද්‍රවාදිනි කුමාර් මෙතෙක් කල් ඇසුරු කළේ ඔහු හා විවාහ වීමේ බලාපොරොත්තුවෙන්ය. ඒ බව වත්තේ බොහෝ දෙනාද දැන සිටියහ. මේ නිසා දෙදෙනාගේ ආදරයට කිසිවකුගෙන් බාධාවක් නොවීය.

එහෙත් මෑතක සිට චන්ද්‍රවාදිනිට කුමාර්ගේ ගති පැවතුම් දිරෙව්වේ නැත. ඇය ඔහු ප්‍රතික්‍ෂේප කර තිබිණි. මේ නිසා කුමාර්ගේ හිතේ ඇය කෙරෙහි ඇති වූයේ කෝපයකි. දෙදෙනා අතර රණ්ඩුසරුවල් ඇති වූයේ ඉන් පසුවය. කුමාර් ඇගේ ආදරය ඉල්ලා ඇය පසුපස ආවේය. මැණික්හින්න වත්තට ඇවිත් ඇය සමඟ ගැටුණේය. බැන වැදුණේය. මරා දමන බවද කීවේය. මේ ගැටුම් නිසා ඊශ්වරදේවන් රාණිඅම්මාද සිටියේ දැඩි අසරණවය. චන්ද්‍රවාදිනි කුමාර් සමඟ එකට එක කියමින් ඔහුට බැන වැදුණේ ඔහු සමඟ කිසිදා විවාහ නොවන බව කියමින්ය.

ඉකුත් 24 වැනිදා මෙම ගැටුම උත්සන්න වී ගියේය. කෝපයට පත් කුමාර් එදා චන්ද්‍රවාදිනි හමුවට ආවේ දෙකින් එකක් බේරා ගැනීමේ අදහසින්ය. ඔහු අත පෙට්රල් ගැලුමක්ද විය.

වේලාව උදෑසන හයට පමණ වී තිබිණි. වත්තේ බොහොමයක් ඒ වනවිට සිටියේද තද නින්දකය. සීතල මීදුම් සළු කඳුකරය පුරා පැතිර ගොසිනි. හිරු කෙමෙන් කෙමෙන් උදා වෙමින් තිබිණි. බොහෝමයක් නිවෙස්වල පිරිස් අවදිව කහට කෝප්පයක රස බලමින් සිටියහ. එකවරම ඇසුණු විලාප හ¾ඩින් ඔවුහු තිගැස්සී ගියහ. ඒ සමඟ විශාල ශබ්දයක් ඇති විය.

“අම්මෝ… අපි බේරගනියෝ…”

මර ළතෝනි මුළු වතුයාය පුරාම පැතිර ගියේය. කවුරුත් ඒ විලාප හඬට කන්දුන්හ.

“කවුද… ඒ…. ඊශ්වරන්ගේ ගෙවල් පැත්තෙන් නේද…”

බොමින් සිටි තේ වතුර ඉවතට විසි කළ සමහරු හැඳිවත පිටින්ම විලාප හඬ ඇසෙන දෙසට දිව ගියහ. ඒ සමඟම ඔවුන් දුටුවේ ඊශ්වරන්ගේ නිවෙස තුළින් බුරබුරා නැඟෙන ගිනි දැල්ය. මුළු මැණික්හින්න වත්ත ඒ වනවිට සිටියේ අවදියෙන්ය.

“බේරා ගනිව්…”

වත්තේ පිරිස් කෑ ගසමින් එදෙසට දිව ගියහ. තවත් පිරිස් වතුර බාල්දි බුර බුරා නැඟෙන ගිනි දැල් අතරට  විසි කළහ. වයසක කාන්තාවෝ ගෙවල්වල ඉතිරි කරගත් වතුර බූලි හා කළ ගින්න නිවා දමන්නට වෙර දරන පිරිස අතට දුන්හ. නිවෙස තුළ ඊශ්වරන් මෙන්ම 

රාණිඅම්මාද සිටින බව කවුරුත් දැන සිටියහ. එහෙත් ඒ කිසිවකුගේ සේයාවක්වත් කිසිවකු නෙත ගැටුණේ නැත.

දැවෙන ගින්නට හසුවූ සෙවිලි තහඩු එකින් එක බිම වැටෙන්නට විය. ඒ අතරින් 

රාණිඅම්මාගේ විලාපය කාටත් හොඳින් ඇසිණි.

“අනේ අපිව බේරගන්න”

ඒ සමඟ තරුණ පිරිස කලබල වූහ. ඉදිරිපස ‍ෙදාර ඒ වනවිටත් වැසී තිබිණි. පිරිස් ‍ෙදාර කඩා දමන්නට වූහ. ඒ සමඟම ඔවුන් දුටුවේ අදහාගත නොහැකි දර්ශනයකි. රාණිඅම්මා බිම දිගේ බඩගාමින් ‍ෙදාර දෙසට එමින් සිටියාය.

පිරිස ඇය ඔසවා ගත්හ. ඒත් ඇය තවත් මොනවදෝ මුමුණන්නට වූයේ නිවෙස තුළට අත් දිගු කරමින්ය.

“අනේ මගේ දුව බේර ගන්න… අරුත් ගෙදර ඇතුළේ ඉන්නවා”

රාණිඅම්මා නිවෙස තුළ බලමින් කෑ ගැසුවාය. එහෙත් නිවෙස තුළට යෑමට කිසිවකුට හැකියාවක් නැත. ඒ බුර බුරා නැඟෙන ගිනි දැල් නිසාය. කෙසේ හෝ පිටතට ගත් රාණි අම්මා වහා මහනුවර රෝහල වෙත රැගෙන යෑමට වත්තේ පිරිස් කටයුතු කළහ.

“අපිට ගේ ඇතුළට යන්න විදිහක් තිබුණේම නැහැ. ඒ තරම් සැරට ගින්න ඇවිළුණා. ගේ ඇතුළේ තිබුණු ගෑස් සිලින්ඩර් දෙකකිනුත් ගින්දර පිට වෙන්න වුණා. ඒත් එක්කම මුළු ගෙයම ගින්දරවලින් වැසුණා”

රාණිඅම්මා බේරාගත් මැණික්හින්න වත්තේ පදිංචිකරුවෙක් කීවේය.

සිද්ධිය කිසිවකු විසින් 119 හදිසි  ඇමැතුම් අංශයට දන්වා තිබිණි. ඒ සමඟම එම අංශය කටුගස්තොට පොලිසිය, කොළඹ ගිනි නිවන මූලස්ථානය දැනුවත් කරන්නට විය. කොළඹින් මහනුවර ගිනි නිවන ප්‍රධාන ඒකකයට මේ බව දන්වන විට වේලාව උදෑසන 7ට පමණ ඇත. සුදුහුම්පොළ පිහිටි මෙම ඒකකයේ සිට 

මැණික්හින්න වත්තට දුර කිලෝ මීටර් 7ක් පමණ ඇත. වේලාවද කාර්යබහුල බැවින් මහනුවර ඒකකය වන කටුගස්තොටට නුදුරු මහයියාව ඒකකය දැනුවත් කළේය. ඒ සමඟම මහයියාවෙන් ගිනි නිවන රථයක් සිද්ධිය වූ නිවෙස වෙත පිටව ගිය අතර ඉන් අනතුරුව මහනුවර ප්‍රධාන ඒකකයේ ගිනි නිවන රථ දෙකක්ද මැණික්හින්න වත්ත බලා පිටත්වීය. දහ දෙනකුගෙන් යුත් ගිනි නිවන නිලධාරීන් සිද්ධියවූ නිවෙස දෙසට යන විටත් ගින්න පැවැති අතර නිලධාරීන් මොහොතකට පසු ගින්න මැඬ පවත්වා නිවෙස තුළට පිවිසියහ. ඒ වනවිට නිවෙස තුළ පිලිස්සී ගිය සිරුරු තුනක් විය. තරුණ යුවළක් එක ළඟම පිලිස්සී ගොසිනි.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය විමර්ශන ආරම්භ කළේය. ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කුලරත්න ඇතුළු කණ්ඩායමක් විමර්ශන සිදුකරමින් පිලිස්සී ගිය මළසිරුරු හඳුනා ගැනීමට උත්සුක වූහ.

හැත්තෑ එක් හැවිරිදි ඊශ්වරන් දේවන් හා තිස් හැවිරිදි චන්ද්‍රවාදිනිගේ සිරුරුද අසල්වැසියන් විසින් හඳුනාගනු ලැබීය. ඒ අතර පිලිස්සී සිටි තරුණයකු වෙත කාගේත් අවධානය යොමු විය. විමර්ශනයේදී හෙළිවූයේ ඔහු චන්ද්‍රවාදිනිගේ පෙම්වතා බවය.

පොලිසිය ඉන්පසු සිදුකළ විමර්ශනයේදී හෙළි වූයේ මෙම ගින්නට හේතුව ඔහු බවය. ඔහු ඊට පෙරදා රාත්‍රියේ චන්ද්‍රවාදිනි සමඟ දබරයක් ඇතිකර ගෙනසිටි බව අසල්වාසීහු පොලිසියට කීහ. ඔහු මහනුවර නගරයේ ස්වර්ණාභරණ අලෙවිහලක සේවය කරන්නකු බවත් හොරකම් කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව රක්‍ෂිත බන්ධනාගාරගතව සිට පැමිණි අයකු බවත් විමර්ශනයේදී හෙළි විය. චන්ද්‍රවාදිනි ඔහු ප්‍රතික්‍ෂේප කර ඇත්තේ ඒ නිසා බව සමහරු පොලිසියට කීහ.

මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් එම්. ඒ. ෆරික්ඩීන් මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණ පැවැත්වීය.

මූලික විමර්ශනයේදී මේ වනවිට සැක පහළ වී ඇත්තේ චන්ද්‍රාවාදිනිගේ පෙම්වතා විසින් ගෙනෙන ලද පෙට්රල් නිවෙස තුළ විසුරුවීමෙන් පසු ඔහු විසින් ගිනි තබා ඇති බවය.

මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මියගිය තරුණියගේ මව වන රාණිඅම්මාද මේ වනවිට කටුගස්තොට පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියේ නිලධාරියෙක් පැවැසුවේ පෙට්රල් කෑන් එකක්ද රැගෙන පැමිණි චන්ද්‍රවාදිනිගේ පෙම්වතා ඇගේ පියාට හා මවට තර්ජනය කරමින් තමාට චන්ද්‍රවාදිනි සමඟ විවාහ වීමට අවශ්‍ය බවත් ඊට ඉඩ නුදුනහොත් නිවෙසේ සියලු දෙනාම මරා දමන බවට තර්ජනය කර ඇති බවට තොරතුරු තිබෙන බවය. ඒ සමඟම චන්ද්‍රාවාදිනිගේ මව හා පියාද ඔහු සමඟ දබරයකට පැටලී ඇති අතර පසුව පෙම්වතා නිවෙසේ ‍ෙදාර වසා දමා නිවෙස තුළට පෙට්රල් වත්කර චන්ද්‍රවාදිනිද බදාගෙන ගිනි තබාගෙන ඇති බවටද විමර්ශන නිලධාරීන් සැක කරයි.

ගින්න එකවර ඇවිළී යෑමත් සමඟ නිවෙස තුළ තිබූ ගෑස් ටැංකි දෙකකට ගිනි ඇවිළී ඒවාද පුපුරා ගොස් ගින්න බුරබුරා පැතිර ගොස් තිබේ. ගින්නෙන් බේරීමට කිසිවකුට නොහැකි වී ඇත්තේ ගින්න ඒ තරම්ම දරුණු වූ බැවිනි.

ගින්නෙන් දැවුණු සිරුරු තුනම එකම ස්ථානයක පිලිස්සී තිබූ අතර ඒ අසල යකඩ සේප්පුවක්ද තිබී පොලිසියට නිරීක්‍ෂණය වී තිබේ. එම සේප්පුව තුළ රුපියල් ලක්‍ෂ පනහකට අධික මුදලක් තිබූ බවටද තොරතුරු ලැබී තිබේ.

මේ වනවිට කරන ලද විමර්ශනවලදී මෙලෙස ගින්නක් ඇති කිරීම චන්ද්‍රාවාදිනි මේනකාගේ පෙම්වතා වූ කුමාර් විසින් සිදු කරන්නට ඇති බව පොලිසිය සැක කරන අතර තවත් පිරිසක් පොලිසියට පවසා ඇත්තේ ගින්න ඇවිළී යද්දී රාණිඅම්මා පමණක් කෑගැසුවද නිවෙසේ සිටි සෙසු තිදෙනාගේ කිසිදු ශබ්දයක් නොතිබූ බවය. එබැවින් ඔවුන් පවසා ඇත්තේ සමහරක් විට ගිනි තැබූ පුද්ගලයා ගිනි තබන්නට කලින් ඔවුන්ව සිහි මූර්ජා කර තිබෙන්නට ඇති බවය.

මෙවැනි නොයෙකුත් කට කතා හා හේතුවල සත්‍යතාව සොයා බැලීම සඳහා රජයේ රස පරීක්‍ෂකවරුන්ගේ සහාය ඉල්ලා ඇති අතර සිකුරාදා වන විටත් එම නිලධාරීහු සිය 

පරීක්‍ෂණ සිදු කරමින් සිටිති.

කටුගස්තොට පොලිසියද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. ඒ මහනුවර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පීරිස් මහතාගේ උපදෙස් අනුවය.

කීර්ති මෙන්ඩිස්