අහිංසකයි වගේ පෙනුණට මම ඒකේ යටිකූට්ටු වැඩ කරන කෙනෙක්

0
64


මේ දවස්වල වැඩ කටයුතු මොනවද?

මහේන්ද්‍ර විජේසිංහ මහතාගේ ටෙලි නාට්‍යයක් කළා. දැනට කොටස් 15ක්  අවසන් කරලා තිබෙනවා. එය තවම විකාශය වුණේ නැහැ. එහිත් මවකගේ චරිතයක් තමයි කළේ. ඉරේෂ් ලොකුබණ්ඩාර මහතාගේ විදූ ටෙලි නාට්‍යයෙත් කොටස් 15ක් මේ වනවිට අවසන් කරලා තිබෙනවා. එය ඉදිරියේදී විකාශය වේවි. එහි චරිතයත් තරමක් වෙනස් චරිතයක්. ඊට අමතරව හිරු සහ ස්වර්ණවාහිනි නාළිකාවල ටෙලි චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා.

විදූ ටෙලි නාට්‍යය හරහා රඟදැක්වීමට සූදානම් වන්නේ වෙනස්ම චරිතයක්ලු නේද?

ඔව්. ඇත්තටම අහිංසකයි වගේ පෙනී සිටියට යටිකූට්ටු වැඩ කරන අම්මා කෙනෙක්ගේ චරිතයක් තමයි මම එහි කරන්නේ. ඇත්තටම එය වෙනස්ම ආකාරයේ ලස්සන නිර්මාණයක් වේවි.

මීට පෙරදි ඔබ සම්බන්ධ වූ නිර්මාණ කිහිපයම අතිශය ජනප්‍රියත්වයට පත් වුණා නේද?

ඔව්. සිරස නාළිකාවේ විකාශය වූ “සල්සපුනා” ටෙලි නාට්‍යය තමයි අවසානයටම විකාශය වුණේ. එයින් පසුව ස්වාධීන රූපවාහිනි නාළිකාවේ සංසාර සිහිනය ටෙලි නාට්‍යයත්, ඊටත් පෙරාතුව බ්ලැක් මේල් කියන ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා.

වෙනස් විධියේ චරිත රැසකටම ඔබට සම්බන්ධ වීමට හැකි වුණා කීවොත් නිවැරදියි නේද?

ඔව්. ඇත්තටම සතුටුයි. කොහොමත් මම බදාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි. ගෘහණියක්, මවක් විධියට ගෙදර-‍ෙදාර සහ දරුවන්ගේ වැඩ කටයුතු රැසක් තිබෙන නිසා එන සෑම වැඩක්ම භාරගන්නේ නැහැ. මට ඔබින හොඳ වැඩවල විතරයි මම කරන්නේ. මොකද ඒකාකාරී බවින් මිදී, විවිධාංගීකරණයට ලක්වූ චරිත කරන්න කොහොමත් මම ගොඩක් කැමතියි. මොකද ප්‍රේක්ෂක මතකයේ පවා අපව රැඳෙන්නේ එවිටයි. සල්සපුනා ටෙලි නාට්‍යයෙත් මම කළේ වෙනස්ම චරිතයක්. එයින් පසුව මගේ සිත් ඇදබැඳ ගත් චරිතයක් වුණේ විදූ ටෙලි නාට්‍යයේ චරිතයයි. එකින්-එකට කුමන හෝ වෙනසක් කරන්න මා නිතර උත්සාහ දරනවා.

ඔබ වෘත්තීමය රංගන ශිල්පිනියක් නොවේද?

නැහැ මම මුල් තැන දෙන්නේ මගේ පවුලට.  නමුත් යම් වැඩක් භාරගත් පසු එයට මූලිකත්වයදී, එයට උපරිම සාධාරණත්වය ඉටු කරනවා. මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමති නැහැ. මට අවශ්‍ය පවුලේ වැඩකටයුතු සහ රංගන කටයුතු ඉතාම සමබරව කරගෙන යන්නයි.

ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ අද දකින්නට ලැබෙන “ලෝ බජට් සංකල්පය” පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

මොනම නිර්මාණයකට ආරාධනා කළත්, එය ලෝ බජට් එකක් කියලා තමයි හැමෝම කියන්නේ. මා නිර්මාණය කරගත් මට හිමි යම් වටිනාකමක් තිබෙනවා. යම් සාධාරණ හේතුවක් මත එම මුදල තරමක් වෙනස් විය හැකියි. ඒ හැර මට වැඩ ලැබුණත් – නැතත් මගේ මුදල අඩු කරන්නේ නැහැ. මොකද මුදල කෙසේ වෙතත් යම් නිර්මාණයකට සම්බන්ධ වූ පසු, අධ්‍යක්ෂතුමන්ට අවශ්‍ය ආකාරයට අදාළ චරිතය මතු කිරීමට අප නොසෑහෙන්න මහන්සි වෙනවා. එනිසා මම කියන්නේ අපේ මහන්සිය අඩු තක්සේරු කිරීම වැරදියි. මගේ ගණනට එනතුරු නිර්මාණ භාරගන්නේ නැහැ කියන තැනයි මම ඉන්නේ. මොකද කොහොමත් සෑම විටම අප අපේක්ෂා කරන්නේ සාධාරණ මුදලක්. එය රංගන ශිල්පීන්ගේ පැත්තෙන් සාධාරණයි. 

අලුත් පරම්පරාවෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?

දක්ෂතා සහිත අලුත් දරුවොත් ඉන්නවා. නමුත් හැමෝම එක වගෙයි කියන්නත් බැහැ. හොඳ සහ නරක දෙවර්ගයේම අය ඉන්නවා. ඔවුන්ගෙනුත් යම් සහයෝගයක් ලැබෙනවා. නොදන්න යම් දෙයක් අපෙනුත්, අසා දැනගන්න අයත් ඉන්නවා. රූගත කිරීම්වලට ගිය පසු මම කොහොමත් වැඩි කාලයක් ගත කරන්නේ තිරපිටපත සමඟමයි. සාමාන්‍යයෙන් පිටපත කලින් දකින්නේ නැතිව මම අදාළ ලොකේෂන් එකට යන්නේ නැහැ. පිටපත කලින් ගෙන්වා ගැනීමට බොහෝ විට උත්සාහ ගන්නවා. ඒක දැන් අලුත් පරපුර අතර දකින්නට නොලැබෙන ලොකු අඩුවක්. නව පරපුරේ බහුතරයක් අය රඟපාන්නට ලොකේෂන් එකට එන්නේ, පිටපතවත් හරියාකාරව කියවන්නේ නැතිවයි. මුලින්ම පිටපත කියවා නිවැරදි අවබෝධයක් අරගෙනයි එදා ඉඳන්ම මම දර්ශන තලයට යන්නේ. මම වැඩකට ගියොත් මගේ වැඩේ කරලා පාඩුවේ ගෙදර එනවා ඇරෙන්නට අන් අයගේ දේවල්වලට සම්බන්ධ වෙන්න යන්නේ නැහැ. 

සිනමාවට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ නැද්ද?

මෙහෙමයි. මම ක්‍ෂේත්‍රයට ආ මුල් කාලයේදී සිනමාපට කිහිපයටම ආරාධනා ලැබුණා. නමුත් ඇඳුම් පැලඳුම්වල ගැටලු ඇතුළුව හේතු කාරණා කිහිපයක් නිසාවෙන් ඒ සඳහා සම්බන්ධ වුණේ නැහැ. මොකද මම එදා ඉඳන්ම ඇඟ පෙනෙන්ට අඳින කෙනෙක් නෙවෙයි. එනිසා දැනට සම්බන්ධ වෙලා තිබෙන්නේ  ටෙලි නාට්‍ය සඳහා පමණයි.

මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

අනිවාර්යයෙන්ම තෘප්තිමත්. මා ක්‍ෂේත්‍රයට ආවේ 2002 වසරේදී පමණ. එමෙන්ම මම අවුරුදු 21දි වගේ අඩු වයසින් විවාහ වුණා. මට දැන් අවුරුදු 12ක් තරම් ලොකු දරුවො ඉන්නවා. ක්‍ෂේත්‍රය තුළදී එදා සිටම ලොකු ජනප්‍රියත්වයක් මට අවශ්‍ය වුණේ නැහැ. හොඳ නිර්මාණ කිහිපයක් සඳහා දායක වෙන්න පමණයි අවශ්‍ය වුණේ. එලෙස ආ ගමන්මඟේදී 2010 වසරේ රාජ්‍ය සම්මාන උළෙලේදී ෂර්ලි පී. දෙලංකාවල මහතාගේ “හැන්දෑව” ටෙලි නාට්‍යය වෙනුවෙන් “උදුලාවතී”ගේ චරිතයට හොඳම රංගනය වෙනුවෙන් ජූරියේ විශිෂ්ට සම්මානයක් මට ලැබුණා. ඉන්පසුවත් සම්මාන උළෙලවල් දෙකකදීම සම්මාන සඳහා නිර්දේශ වීමටත් හැකිවුණා.

හැන්දෑව වැනි උසස් ගණයේ ටෙලි නාට්‍ය දැන් බිහිවෙනවා අඩුයි නේද?

ඇත්තටම ඔව්. පිටිසර ගමක අතිශය ගැමි චරිතයක් කරන්න මම හරිම කැමතියි. හැන්දෑව ටෙලි නාට්‍යයේ “උදුලාවතී” වැනි හොඳ චරිතයක් සෑහෙන කාලයකින් නැවත ලැබුණේ නැහැ. ඒ ගැන නම් ඇත්තටම ලොකු දුකක් තිබෙනවා. නැවතත් එවැනි චරිතයක් ලැබුණොත් මගේ බාහිර පෙනුම සහ හිසකෙස්වල වර්ණය පවා වෙනස් කරගනිමින් අතිශය කැප කිරීම් කරන්නටත් මා සූදානම්. මට එවැනි චරිත සඳහා ආරාධනා නොලැබෙන්නට හේතුව මේ වනවිට මා හිසකෙස් වර්ණගන්වා රූපයෙන් තරමක් වෙනස් වී සිටින නිසාද දන්නෙත් නැහැ.

වර්තමාන දීර්ඝ නොහොත් මෙගා ටෙලි නාට්‍ය සංකල්පය පිළිබඳ ඔබට කියන්න තිබෙන්නේ මොනවද?

කොටස් 100-150කින් අවසන් වන නිර්මාණවලට පෞද්ගලිකව මම කැමතියි. කාලයක් යන තුරු රසික හදවත් තුළ රැඳෙන්නටත් එය එක් හේතුවක්. අපට හමුවන ප්‍රේක්ෂකයන්ගේ වුණත් අදහස එයයි. දීර්ඝ ටෙලි නාට්‍ය නරඹන එක එපා වෙලා, ඒවා දිගින් දිගටම ඇදී යනවා විතරයි කියලා ගොඩක් අය කියනවා. නමුත් එන විධියට නිර්මාණවලට අපටත් සම්බන්ධ වෙන්නට සිදුවෙනවා. ඒ හැර අධ්‍යක්ෂවරුන් හෝ වර්තමාන නිර්මාණ බිහිවන රාමුවට ලොකුවට බලපෑම් කරන්නට අපට බැහැ.

පවුලේ විස්තරත් කියමු?

මගේ ස්වාමිපුරුෂයා චරිත රුබේරු. මට පුතාලම දෙන්නෙක් ඉන්නේ. ලොකු පුතා සයෝන් රුබේරු. එයට අවුරුදු 12යි. පොඩි පුතා යයෝන් රුබේරු. එයාට අවුරුදු 08ක්.

දිනූෂා මනෝරි නිශ්ශංක