අපේ රඟමඩල කියන්නේ ආත්ම තෘප්තිය ලබාදෙන වැඩක්

0
48


“මොකක්ද මේ Space for the Oppressed” අපේ රඟමඩල’ කියලා කියන්නේ?

“Space for the Oppressed” – අපේ රඟමඩල’ තුළින් අපි මූලික වශයෙන් උත්සාහ කරන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට සෞන්දර්යාත්මක ප්‍රවේශයක් සහ සෞන්දර්යමය ප්‍රහර්ශයක් ලබාදීමටයි. ඒ වගේම සෞන්දර්ය තුළින් සාමාන්‍ය ජනයා සමාජ, දේශපාලනික හා ආර්ථිකමය වශයෙන් සවිඥානික කරන්නේ සිදු කෙසේද යන්න සොයා බැලීමටත්, ව්‍යවහාරික රංග කලාව කියන විෂය සමාජය තුළ ස්ථාපිත කරන්නේ කෙසේද යන්නත් සම්බන්ධව සිදුකරන පර්යේෂණයක් ලෙසත් මෙය හැඳින්විය හැකියි. 

අපේ රඟමඩල තුළ විවිධ සංස්කෘතීන්ගෙන් යුතු, සමාජයේ විවිධ ක්‍ෂේත්‍රයන් තුළ කටයුතු කරන පිරිස් සමඟ අපි වැඩකටයුතු කරනවා. උදාහරණයක් ලෙස පාස්කු වැනි ත්‍රස්ත ප්‍රහාරයක් නිසා ඇති විය හැකි ජාතිවාදී ගැටලු සමනය කිරීමට රංග කලාව භාවිත කරන්නේ කෙසේද? යන්න සහ වසංගත සමයකදී මානසික පීඩනයන් සමනය කිරීමට සෞන්දර්ය භාවිත කරන්නේ කෙසේද? සමාජයේ විවිධ ස්තරවල සිටින මිනිසුන්ගේ පවුල් හා සමාජීය ගැටලු මෙන්ම මානසික ගැටලු තේරුම් ගන්නේ කෙසේද? ඒවාට විස¾දුම් සොයා ගන්නේ කෙසේද යන්න සම්න්ධව අපි වැඩසටහන් සිදු කරනවා. 

‘අපේ රඟමඩල’ තුළින් සාමාන්‍ය ජනතාව සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට ගත් උත්සාහයන් ගැන වැඩිදුරටත් කතා කළොත්?

මේ වන විට අපි විවිධ පළාත්වල වැඩමුළු සිදු කරලා තිබෙනවා. සනීපාරක්ෂක කම්කරුවන් සමඟ, වැඩිහිටි ප්‍රජාව සමඟ මෙන්ම වනාතමුල්ල ප්‍රදේශයේ ප්‍රජාව සමඟ  කපුහේන්පල හා මානවිල ප්‍රදේශවල දරුවන් සමඟ වැඩමුළු සිදුකළා. එමෙන්ම වසංගත සමයේ අපි උපදේශන ගුරුවරු, රෝහල් මනෝචිකිත්සකවරු, ඉන්ජිනේරුවන්, පාසල් අධ්‍යාපනය අවසන් කළ අය ආදී පිරිස් සමඟත් පර්යේෂණමය වැඩමුළු සිදු කර තිබෙනවා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා විවිධ සමාජීය, දේශපාලනික හා ආර්ථික සංකල්ප මඟින් බෙදීමකට ලක්වෙලා තිබෙන සමාජය තේරුම් ගැනීමට කලාව භාවිතයට ගන්නේ කොහොමද කියන එක ගැන අපි පර්යේෂණ සිදු කරනු ලබනවා. 

සමාජයේ සාධනීය පරිවර්තනයක් සඳහා කලාවේ මැදිහත් වීම යන සංකල්පය මේ අවස්ථාව වන විට කොතරම් ප්‍රායෝගික දැයි ඔබ සිතනවාද?

 කලාව තුළින් සමාජ පරිවර්තනයක් කළ හැකියි. ඕනෑම දෘෂ්ටිවාදයක් පිළිබඳව විශ්ලේෂණය කරගැනීමේ හැකියාව කලාව තුළ තිබෙනවා. හුණුවටයේ කතාව, දික්තල කාලගෝල, ජූලියස් සීසර්, ඊඩිපස් ආදී නාට්‍ය ඊට උදාහරණ සපයනවා. බොහෝ විට මිනිසුන්ගේ ජන විඥානය සකස් වී තිබෙන්නේ ආගම සහ රූපවාහිනිය ඇසුරෙන්. විශේෂයෙන්ම කලාව තුළ අන්තර්ගත වී තිබෙන නව දැනුම මත පදනම් වෙමින් එම දැනුම ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇති හැකියාව නිසා සමාජයේ පරිවර්තනයක් සිදුකරන්න කලාවට පුළුවන්. සමාජය තුළ සාධනීය පරිවර්තනයක් ඇති කරන්නට එක් පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට නොහැකියි. සමස්ත සමාජයක්ම ඒ සඳහා කටයුතු කළ යුතුයි. පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අප පුද්ගලයන්ට ඥානය ලබා දිය යුතුයි. ඒ සඳහා සුදුසුම මාර්ගය ලෙස කලාව පෙන්වා දිය හැකියි. තමා ඇතුළාන්තයේ සිටින සත්ත්වයා තේරුම් ගැනීම අනෙකාගේ පැවැත්ම තේරුම් ගැනීමේ හැකියාව අපට ලබාදෙන්න පුළුවන් වන්නේ කලාව තුළිනුයි. එය මේ මොහොතේ ප්‍රායෝගිකව කළ හැකි සාධනීය කාර්යයක් ලෙස මා විශ්වාස කරනවා. එය මා විසින් කළ පර්යේෂණ තුළින් ඔප්පු වී තිබෙනවා.

වර්තමාන සමාජ වාතාවරණය සමඟ බලන කල ජනතාවට කලාව සඳහා යොමු වීමට කාලය සහ  හැකියාව තිබෙනවාද?

බොහෝ වෙලාවට සමාජයේ පරිවර්තනයන් උදෙසා විවිධ කාලවලදී, විවිධ සංවිධාන හෝ දේශපාලනික කණ්ඩායම් මැදිහත් වී තිබෙනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු විවිධ රටවල් විකල්පීය ධාරාවේ කලාව තුළින් මිනිසුන් දැනුවත් කිරීම සිදු කළා. ඒවාහිදී වැඩි වශයෙන් සිදුවුණේ ජනතාව අසලට ගොස් දැනුවත් කිරීම් සිදු කිරීමයි. රටක දේශපාලන පසුබිම, අධ්‍යාපනය හා සමාජය පිළිබඳ තිබෙන කියැවීම අනුව තමයි රටක ජනතාව කලාව වෙත යොමුවීම සිදු වන්නේ. පවතින සමාජ ක්‍රමය අනුව මිනිසුන්ට රසවින්දනය වෙනුවෙන් නිදහස් වෙලාවක් සොයා ගැනීමට අපහසු වෙලා තිබෙනවා.

කිසිදු ලාභ පරමාර්ථයකින් තොරව ඔබ කරන මේ ක්‍රියාවලියට බාහිර සමාජයෙන් ලැබෙන සහයෝගය කෙසේද?

මුලින්ම මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ කාලයේ මගේ පියාගේ විශ්‍රාම වැටුප තමයි මම භාවිත කළේ. යම් යම් අවස්ථාවලදී සමහර ආයතන මූල්‍ය දායකත්වයන් ලබා දුන්නා. නමුත් තවමත් මම මේ ක්‍රියාවලිය කරගෙන යන්නේ මගේ පෞද්ගලික මුදල් භාවිත කරමින්. මෙම පර්යේෂණවලට සහභාගි වෙන අය ඉතාම සහයෝගයක් ලබා දෙනවා. ඒ ගැන ස්තූතිවන්ත විය යුතුයි. කිසිම මූල්‍යමය වාසියකින් තොරව ආත්ම තෘප්තිය පමණක් පදනම් කරගෙන තමයි මේ වැඩකටයුතු සිදු කරන්නේ.

ඔබේ මේ උත්සාහයට අනුව මෙමඟින් දරුවන් යම්කිසි හෝ දේශපාලනීකරණයකට ලක්වෙනවා නොවේද?

කිසිසේත්ම දේශපාලනීකරණයකට ලක් වෙන්නේ නැහැ. මොකද කිසිම වෙලාවක අපි කිසියම් කණ්ඩායමකට හෝ කිසියම් දෘෂ්ටිවාදයක් වෙත යොමු කිරීමක් අප සිදු කරන්නේ නැහැ. ස්වාධීනව තමන්ගේ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීම පමණයි සිදුකරන්නේ. විශේෂයෙන් දරුවන් ගැන කතා කළොත්, දරුවන්ට දරුවන්ගේ ලෝකය තුළ ජීවත්වීමට ඉඩ දීමක් පමණයි අප සිදු කරන්නේ. දරුවන්ගේ සිතීමේ නිදහසට හානියක් වන කිසිම දෙයක් සිදු කිරීමට කිසිදු අවස්ථාවක අප උත්සාහ කරන්නේ නැහැ. 

නූතන පරම්පරාවේ රසඥතාව ගැන ඔබේ තක්සේරුව කුමක් ද?

ගීත රසඥතාව වැනි දෙයක් ගතහොත්, නූතන පරම්පරාව අර්ථ විරහිත ගීතවල මුඛරි භාෂාවට හසුවීමක් සහ සංගීත සංයෝජනය ආදී තාක්ෂණික ප්‍රයෝග මඟින් සිදුකරන බාහිර අලංකරණවලට ලලසාවක් ඇති කරගන්නා ආකාරයක් පෙනෙනවා. ඊට අමතරව නූතන පරපුර යූටියුබ් වැනි ඩිජිටල් වේදිකා හරහා ඉක්මනින්ම නිර්මාණ වැලඳගන්නා නමුත් එලෙස නිර්මාණ වැලඳගන්නා හේතුව කුමක්ද යන්න පිළිබඳ නිසි අවබෝධයක් නැහැ. ඒ වගේම කියවීම සහ සංවාදය කියන කාරණා ඔවුන් තුළින් ගිලිහී ගොස් තිබෙන බව පෙනෙනවා. ඒ අනුව ඔවුන් ඒක පුද්ගල රසඥතාවකට යොමුවෙලා තිබෙන බව පෙනෙනවා. තරු සංකල්පය සහ ජනප්‍රියත්වය සඳහා වැඩි ලෙස යොමුවීම තුළ ගුණාත්මක නිර්මාණ කිරීමට වඩා ජනප්‍රිය නිර්මාණ බිහිවීම වැඩිවෙලා තිබෙන්වා. වෙළෙඳකරණය තුළින් රසඥතාවයට බාධා එල්ල වෙලා තිබෙනවා. පත්තරය ටෙලිවිෂනය තුළින් විශ්ලේෂණය කරනවා. පෙර පරම්පරාව පත්තරයක් කියවා, ගීතයක් අසා, කවියක් කියවා සංවාද කළා. නමුත් අද වන විට සංවාදය කියන දේ ගිලිහී ගොස් තිබෙනවා.

ඔබේ මේ වැඩසටහනේ  ඉදිරි වැඩකටයුතු ගැන සහ විශේෂ යමක් තිබෙනවා නම් සඳහන් කරමු?

අපගේ බලාපොරොත්තුව ලංකාව පුරාම විවිධ වැඩමුළු පැවැත්වීමයි. වැඩමුළුවලට අමතරව වෙනත් විවිධ ක්‍රියාකාරකම් සහ පරිත්‍යාගයන් සිදු කිරීමටද අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගාල්ල ප්‍රදේශයේ මගේ පෞද්ගලික ඉඩමක කලා ගම්මානයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් ලංකාවට විදේශ විනිමයක් ගෙන ඒමට සහ ග්‍රාමීය මට්ටමින් ජනතාවට කලාව රසවිඳීමට අවස්ථාවක් ලබාදීමට අපි උත්සාහ කරනවා. මේ සඳහා මූල්‍ය අනුග්‍රහයක් තවම අපට ලැබිලා නැහැ. ඒ සඳහා මූල්‍යමය සහයෝගයක් දක්වන්න කැමති ව්‍යාපාරිකයන්ට සහ පුද්ගල කණ්ඩායම්වලට අපි ආරාධනා කරනවා අපත් සමඟ එකතු වන්න කියලා. ඒ වගේම අපගේ නිල වෙබ් අඩවිය තව මාස දෙකක් ඇතුළත එළිදක්වන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

රමෝද් ජයවර්ධන