අප්‍රේල් මාසය භයංකරයි වඩාත් දැහැමිව කල් ගෙවන්න

0
42


2022 අප්‍රේල් මාසය බොහෝ දේ උඩු යටිකුරු කරන මාසය ලෙස හැඳින්විය හැකිය. 2023 සඳහා අවශ්‍ය පදනම වැටෙන අති භයානක මාසය ලෙසද 2022 – අප්‍රේල් හැඳින්විය හැකිය. 2022 අප්‍රේල් මාසය යනු වැඩිම ග්‍රහ මාරු සංඛ්‍යාවක් සිදුවන මාසයයි. එනම් ප්‍රධාන ග්‍රහ මාරු 09ක් අප්‍රේල් මස සිදුවන අතර ග්‍රහ යුද්ධ 4ක්ද සිදුවේ. විශේෂයෙන්ම ගුරු තම ස්වක්‍ෂේත්‍ර රාශියටත්, ශනි තම ස්වක්‍ෂේත්‍ර රාශියටත්, රාහු තම සතුරු රාශියටත් ප්‍රවිෂ්ට වීම සිදුවේ. 

එසේම වසර 12 1/2කට පමණ පසු නැප්චූන් හෙවත් ඉන්ද්‍ර තම ස්වක්‍ෂේත්‍ර රාශිය වන මීන රාශියට ප්‍රවිෂ්ට වෙයි. 2009 දෙසැම්බර් 08 අලුයම 2.36ට මීට පෙර නැප්චූන් කුම්භ රාශිගත විය. වසර 12ක් පමණ ලංකා කුම්භ කේන්දරය හරහා ගමන් කරමින් සිටි නැප්චූන් දෙවැන්නට පැමිණීමත්, සෙනසුරු ලග්නගත වීමත්, රාහු වික්‍රමස්ථානගත වීමත්, ගුරු ධන ස්ථානගත වීමත් අමුතු විප්ලවයකින් පසු  ආර්ථික සමෘද්ධියකට පාර කැපීමක් ලෙස පෙන්නුම් කෙරේ. 

මෙවැනි ප්‍රබල ග්‍රහ මාරු රැසක් එක ළඟ සිදුවන විට බොහෝ පුද්ගලයන්ට ක්‍ෂණික පීඩා, මාරක අපල, රෝගාබාධ, රැකියා අහිමි වීම්, නීතිමය ගැටලු ආදිය උදාවිය හැකිය. එනිසා එළැඹෙන අප්‍රේල් මාසය ඔබ අප සැමට අතිශය භයානක මාසයක් වීමේ වැඩි ඉඩක් පවතී. එබැවින් ඔබගේ ජීවිත කාලයේ වඩාත්ම ධාර්මිකව සිටිය යුතු මාසය ලෙස මෙම අප්‍රේල් මාසය හැඳින්විය හැකිය. 

සෙනසුරාදා දිනවල හැකිතාක් නිර්මාංස ආහාර ගැනීම, එළඟිතෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට කෑමට දීම, දුප්පත් අයට වස්ත්‍ර දන්දීම, කුරුලු ජෝඩු නිදහස් කිරීම, බෝමළු පිරිසුදු කිරීම, බෝධීන් වහන්සේට කිරි ආහාර පූජා කිරීම, සිල් සමාදන් වීම, ඔෟෂධ පූජා කිරීම, පිරිසුදු වතුර දන්දීම, පෙරාගත් වතුරෙන් බෝධීන් වහන්සේ නැහැවීම මෙහිදී ඔබට පහසුවෙන් කළ හැකි දේ අතර වේ. 

2022 මාර්තු මස 31වැනි දින නොහොත් මාසය අවසාන දිනයත්, අමාවක දිනයත් එකක් වනසේ එකටම වැටී ඇත. එනම් ව්‍යවහාරික මාර්තු මාසය නිමා වන දිනම චන්ද්‍ර මාස ක්‍රමයද නිමා වීමයි. මැදින් මාසය නිමාවී පසුදින අප්‍රේල් 01දා බක් මහ ලබයි. මෙසේ මාස ක්‍රම දෙකක් එකට නිම වීමද එතරම් ශුභදායී නොවේ. 

කෙසේ වෙතත් අමාවක යනු හඳ නැති අඳුරු දිනයයි. එබැවින් එදින සවස 06.21ත් රාත්‍රි 12.09ත් අතර ඔබට හැකි පරිදි පහත බෝධි පූජාව සිදුකරන්න. 

එළඟිතෙල් පහන් 09ක්, තලතෙල් පහන් 03ක්, අබතෙල් පහන් 4ක්, කහ, නිල්, සුදු, රතු මල්, බෙහෙත් පැන්, පැන් අෂ්ටපාන, දැහැන් විට, කොඩිවැලක් (කැමැති වර්ණ) 

ඉන් අනතුරුව මෙසේ අධිෂ්ඨාන කරන්න. “මෙම අඳුරු අමාවක දින ආලෝකවත් කරමින් සිදුකළ මෙම බෝධි පූජාවේ ශක්තියෙන්, බලයෙන් එළැඹෙන බක් මහ සිදුවන ග්‍රහ මාරුවීම්වලින්, ග්‍රහ යුද්ධවලින් මටත්, මාගේ පවුලේ කිසිවකුටත් කිසිදු හානියක් නොවේවා. නොවේවා. අමාවක අඳුර දුරු වූවා සේ ජීවිතවල අඳුරු තැන් දුරු වේවා” 

ඉන් අනතුරුව මෛත්‍රි භාවනාව සිදු කරන්න. සෑම විටම මෛත්‍රි සිතිවිලි ඇතිව මනා සිහියෙන් කටයුතු කර, තම සකසුරුවම ශක්තිමත් කර අප්‍රේල් මස මහා බාධාව පන්නවා ගැනීමට ඔබට හැකියාව ලැබේවා.

ප්‍රවීණ ජේ‍යාතිර්වේදී, 

වාස්තු විද්‍යාඥ

ආචාර්ය කැලුම් ගුණතිලක

0778995353