අද කරන බහුතරයක් නිර්මාණ ගැන සතුටු වෙන්න බෑ

0
19

කොහොමද මේ දවස්වල ජීවිතේ?

ජීවිතේ හොඳින් ගත වෙනවා.

ඔබ මේ දිනවල සම්බන්ධ වන නිර්මාණ කටයුතු මොනවාද?

පසුගිය දවසක පෝය ටෙලි නාට්‍ය දෙකකට පමණ සම්බන්ධ වුණා. අවුරුදු නාට්‍යයකටත් සම්බන්ධ වුණා.

නිර්මාණ සඳහා ආරාධනා ලැබීමේ අඩුවක් තිබෙනවාද? එහෙමත් නැත්නම් ඔබ නිර්මාණවලට සම්බන්ධ වන්නේ අඩුවෙන්ද?

දැන් ආරාධනා ලැබෙන්නේ ටිකක් අඩුවෙන්. දැන් මට අවුරුදු 83ක්. දැන් ඉතින් අපි වයසයිනේ. සීයාගේ චරිත තමයි වැඩිපුරම ලැබෙන්නේ.

සංගීතේ ටෙලිනාට්‍යයේ ඔබේ චරිතය ගැන කතා කළොත්?

ඔව්. මෑත කාලීනව මම දීර්ඝ ටෙලිනාට්‍යයකට කියලා සම්බන්ධ වුණේ සංගීතය ටෙලිනාට්‍යයට. එහි මගේ චරිතය දැනට කතාවේ නැහැ. ඒ චරිතය ආයෙමත් කතාව තුළට එයිද කියලා කියන්න බැහැ. පිටපත ලියන කෙනා තමයි එය දන්නේ.

ඔබ වෘත්තීයමය වශයෙන් රංගන ශිල්පියෙක් ලෙසද කටයුතු කරන කෙනෙක්ද?

නැහැ. මම විශ්‍රාමික රාජ්‍ය සේවකයෙක්. අවුරුදු 30ක් මිනින්‍ෙදා්රු දෙපාර්තමේන්තුවේ මම සේවය කළා. ඉන් පසුව මට සිතියම් විද්‍යා සැලසුම් ශිල්පියෙක් විධියට ඕමාන් රටෙහිත් සේවය කරන්න අවස්ථාවක් ලැබුණා. එහි මම අවුරුදු 10ක් සේවය කළා.

ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසුණු ආකාරය පිළිබඳව කෙටියෙන් සඳහන් කළොත්?

රඟපෑමට, සංගීතයට මා තුළ කැමැත්තක් පෙර සිටම තිබුණා. මම මිනින්‍ෙදා්රු දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණේ 1961දී. ඒ වන විට එහි ධම්ම ජාගොඩ, සැන්ටින් ගුණවර්ධන, මර්වින් ජයතුංග ආදී කලාවට සම්බන්ධ පිරිසක් සිටියා. සැන්ටින් ගුණවර්ධන දවසක් මගෙන් ඇහුවා හුණුවටයේ කතාවට සම්බන්ධ වෙන්න කැමතිද කියලා. මමත් කැමැති වුණා. ඒ විධියට 1967දී හෙන්රි ජයසේන මහත්මයාගේ හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයෙන් තමයි මම ක්ෂේත්‍රයට පිවිසුණේ. පසුගිය මාර්තු 08 වැනිදාට මගේ රංගන ජීවිතයට අවුරුදු 55ක් සම්පූර්ණ වුණා. තවමත් මම හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයේ රඟපානවා. මම මුලින්ම සම්බන්ධ වුණේ අත්වැල් ගායකයෙක් වශයෙන්. මේ වන විට මම එහි චරිත 20ක් පමණ නිරූපණය කරලා තිබෙනවා. ඉන් පසුව මම හෙන්රි ජයසේන මහත්මයාගේ නාට්‍ය බොහෝමයකට සම්බන්ධ වුණා.

ඔබ ඉදිරිපත් කළ කතන්දර පිටුව ළමා වැඩසටහන ගැනත් මතක් කරමු නේද?

හඬකැවීම් සඳහා සම්බන්ධ වෙන්න ජාතික රූපවාහිනියට මම නිතර ගියා. ඒ කාලයේ ශ්‍රීමතී ලියනගේ මහත්මියගේ ආරාධනාවෙන් කතන්දර පිටුව ළමා වැඩසටහනට මම සම්බන්ධ වුණා. 

මෙතෙක් ආ ගමන් මඟ ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව් මට බොහොම සතුටුයි. දැන් කාලය බොහොම වෙනස් ඉස්සර වගේ නොවෙයි. ඒ කාලයේ මේ වගේ දීර්ඝ ටෙලිනාට්‍ය තිබුණේ නැහැ. මුල මැද අංග සම්පූර්ණ කළ පිටපතක් අපේ අතට ලැබුණා. නළු නිළියෝ තෝරාගෙන කතාබහ කරලා වැඩකටයුතු කළා. අද මෙගා නාට්‍යයක අවසානය කොහොමද කියලා අපි දන්නේ නැහැ. දැන් පිටපතක් අතට ලැබෙන්නේ නැහැ. අපි රූගත කිරීම් සඳහා ගොස් මේකප් කරගෙන ස්ක්‍රිප්ට් එක ඊමේල් කරනතුරු බලාගෙන සිටිනවා.

නවක පරපුර ගැන මොකද සිතන්නේ?

අලුත් පරපුරේ දක්ෂයෝ බොහෝ පිරිසක් සිටිනවා. ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න සමහර ඇතැම් වෙලාවට අවස්ථා ලැබෙනවා අඩුයිද කියලාත් සිතෙනවා. උදාහරණයක් විධියට මෙගා නාට්‍යයකට සම්බන්ධ වූ කෙනෙක්ට වෙනත් නිර්මාණ සඳහා සම්බන්ධ වීමට ලැබෙන ඉඩකඩ අඩුයි. ඒ තුළින් ඒකාකාරී චරිතවලට කොටු වීමක් සිදුවෙනවා. එවිට ප්‍රේක්ෂකයන් තුළ ඔවුන් පිළිබඳව මැවෙන්නේ වෙනස් ආකල්පයක්. සමහර පිරිස් ජනප්‍රියතාව පමණක් අපේක්ෂා කරමින් ක්ෂේත්‍රයට පැමිණෙනවා. සමහර අය ඊට වඩා වෙනස් යමක් කිරීමේ අපේක්ෂාවෙන් පැමිණෙන අය. ඇත්තටම දක්ෂයන් සිටිනවා. ඔවුන්ගේ රංගන කුසලතා දකින විට අවංක සතුටක් සිතට දැනෙනවා.

ප්‍රවීණයෙක් විධියට නවකයන්ට දෙන්න තිබෙන උපදෙස කුමක්ද?

ඕනෑම ක්ෂේත්‍රයකට පැමිණෙන්න පහසුයි. නමුත් රැඳිලා සිටින්න අපහසුයි. කට්ට කාගෙන සිටියොත් පවතින්න පුළුවන්. තමන් කරන දේ සම්බන්ධව ආදරයක් කැපවීමක් තිබෙනවා නම් පවතින්න පුළුවන්. අවුරුදු පනස් පහක් තිස්සේ එකම වේදිකා නාට්‍යයක රැඳී සිටින්න මට අවස්ථාව ලැබුණේ ඒ නිසයි.

අද බිහිවෙන නිර්මාණ ගැන ඔබේ අදහස කුමක්ද?

වේදිකාව සහ ටෙලිනාට්‍යය යන අංශ දෙකෙන් බිහිවෙන බහුතරයක් නිර්මාණයක් පිළිබඳ සතුටු වෙන්න බැහැ. ඇතැම් නිර්මාණ දකුණු ඉන්දියානු ආභාසයට නිර්මාණය වූ ඒවා. එවැනි නිර්මාණ ගැන නම් මගේ වැඩි කැමැත්තක් නැහැ. නිර්මාණයක් තුළින් ප්‍රේක්ෂකයන්ට යම් රසවින්දනයක් ලැබිය යුතුයි. එය මගේ පෞද්ගලික මතය. හොඳ රසවින්දනයක් ලබා දෙන නිර්මාණත් දැන් බිහිවෙනවා. ඉල්ලුම තිබෙන විධියටනේ නිර්මාණ බිහිවෙන්නේ. හොඳ සහ නරක ඕනෑම ක්ෂේත්‍රයක තුළ දකින්න ලැබෙනවා. එය සාමාන්‍යයි. තමන්ට සුදුසු නිර්මාණ තෝරා බේරා ගෙන නැරැඹීම ප්‍රේක්ෂකයන්ගේ වගකීමක්.

ඔබ නිර්මාණ තෝරා බේරාගෙනද සම්බන්ධ වන්නේ?

වර්තමානයේදී තෝරා බේරා ගැනීම් කරන්න අමාරුයි. මොකද අපිට සම්පූර්ණ පිටපතක් ලැබෙනේ නැහැ. චරිතය කුමක්ද කියලා කියනා පමණයි.  නමුත් කතාව ගලාගෙන යන ආකාරය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. මම ක්ෂේත්‍රයට පිවිසුණේ අවුරුදු 28 පමණ. ටෙලි නාට්‍යයවලට පිවිසුණේ ඊටත් පසුවයි. එම නිසා මට කවදාවත් පෙම්වතාගේ චරිතය නිරූපණය කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ. 

ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු අමතක නොවන ප්‍රතිචාරයක් මතක් කළොත්?

මම ඕමාන් රටේ වැඩ කරන කාලයේ දිනක් ගුවන් තොටුපොළේදී පාස්පෝට් එකෙහි සීල් එක ගහගන්න පෝලිමේ සිටියා. එතැන සිටි නිලධාරිනිය පෝලිමේ සිටි මාව ඉදිරියට කැඳවලා මේ අපේ කතන්දර මාමා නේද කියලා අසා මගේ වැඩේ ඉක්මනින් කර දුන්නා. ඒ වෙලාවේ පෝලිමේ සිටි අය ඒ ගැන මැසිවිලි නැඟුවා. පසුව එම නිලධාරිනිය එතැන පෝලිමේ සිටි අයට මාව අඳුන්වා දුන්නා. ඒ වගේම තවත් දවසක නුවර පැවැති යහළුවකුගේ විවාහයකට සහභාගි වූ අවස්ථාවක එහි සිටි පුද්ගලයෙක් මාව හඳුනාගෙන අද මගේ පුතාගේ උපන් දිනය. අපේ පුතා ඔබතුමාට හරිම කැමතියි. මගේ පුතාට දෙන්න පුළුවන් හොඳම උපන්දින ත්‍යාගය ඔබතුමාව නිවෙසට රැගෙන යන එක. අනේ කොහොම හරි මාත් සමඟ යමු කියලා පැවැසුවා. අවසානයේ මට ඔහුත් සමඟ යන්න වුණා. රාත්‍රි වෙලා නිසා ගෙදර යන්න නොහැකිව එම පුද්ගලයාගේ නිවෙසේම නතර වීමටත් සිදුවුණා. ඒ කාලයේ දුරකථන පහසුකම් තිබුණෙත් නැහැ. මට එදා රෑ ගෙදර ඒමට නොහැකි වන බව දැනුම් දීමට විධියක් තිබුණේ නැහැ. පසුවදා මම ගෙදර යනකොටත් මගේ තාත්තා මඟ බලාගෙන සිටිනවා.

පවුලේ විස්තරත් කියමු?

මගේ පුතා විවාහ වෙලා දැන් ඔහුටත් දරුවන් සිටිනවා. පුතා කුඩා කාලයේ විවිධ ළමා චරිතවලට සම්බන්ධ වුණා. පසුව ඔහු අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දුන්නා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර