පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව ‘බටහිර කුමන්ත්‍රණයක්’?

0
432

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජයට එරෙහිව පකිස්ථානයේ විරුද්ධ පක්ෂ විශ්වාසභංගයක් ගෙනවිත් තිබේ.

කෙසේ වෙතත්, එම යෝජනාව ඉදිරිපත් නොකර ජාතික සභාව කල් තැබීමට කටයුතු කර ඇති අතර එය මාර්තු 28 වන දා නැවත කැඳවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මන්ත්‍රීවරුන් 342කින් යුත් ජාතික සභාව තුළ තමන්ට ප්‍රමාණවත් සංඛ්‍යාවක් සිටින බවට දෙපාර්ශ්වය ම ප්‍රකාශ කර තිබේ.

විශ්වාසභංගයට පෙර ඉල්ලා අස්වන ලෙස විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය බදාදා (මාර්තු 23) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “කුමක් සිදු වුණ ත් මම ඉල්ලා අස්වන්නේ නෑ,” යනුවෙනි.

එමෙන් ම සටනකින් තොරව තමන් යටත් නොවන බව ත් “තක්කඩියන්ගේ” බලපෑම් මත තමන් ඉවත් විය යුත්තේ මන්දැයි ප්‍රශ්න කරන බව ත් ඔහු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

උද්ධමනය ඉහළ යාම සහ දැඩි ලෙස මිල ඉහළ යාම ත් සමග ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කරන බවට පකිස්ථාන රජයට චෝදනා එල්ල වී ඇත.

එම තත්ත්වය කළමනාකරණය කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් ඉම්රාන් ඛාන්ගේ පක්ෂ සාමාජිකයින් 20 දෙනෙකු පමණ ආණ්ඩුවෙන් ඉවත් වී ඇති අතර ඔහුට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය ප්‍රමුඛ සන්ධානය සාමාජිකයින් 179කගේ සහය ඇතිව පිහිටුවා ගත් අතර එම පක්ෂයට මන්ත්‍රී ආසන 155ක් හිමි වී ඇත.

කෙසේ නමුත් විශ්වාසභංගයේදී තමන් ද විපක්ෂයට එක්වන බවට ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂ තුනක් පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, විපක්ෂය ආසන 163ක් ද PTI පක්ෂය හැර ගිය මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුවේ සිටින විරුද්ධ මතධාරීන් ඉම්රාන් ඛාන්ට එරෙහිව ඡන්දයට එක් වුවහොත් පහසුවෙන් ආණ්ඩුව පෙරළා දැමිය හැකි බව ය.

පකිස්ථානයේ ඉතිහාසය සලකා බැලීමේදී එරට කිසිදු අගමැතිවරයෙකු වසර පහක පූර්ණ ධුර කාලයක් සම්පූර්ණ කර නොමැත.

මෙවන් වටපිටාවක් තුළ එරට මීළඟ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2023 අග භාගයේදී වුව ත් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහමඩ් පවතින ගැටුම සමනය කිරීම සඳහා ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඉඟි කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා තකර තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ඉම්රාන් ඛාන් පකිස්ථානයේ බලවත් හමුදාව සමග ද විරසක වී ඇති බවට වාර්තා වන බව ය.

එරට හමුදාව ඉම්රාන් ඛාන් බලයට ගෙන ඒමට විශාල කාර්යභාරයක් ඉටු කළ බව බොහෝ දෙනා විශ්වාස කරති.

මේ අතර, ඇතැම් දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති මෙම විශ්වාසභංගය පිටුපස ‘ඇමෙරිකාවේ බලපෑමක් පවතින’ බව ය.