නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයෙන් බැසිල්ගේ මල්වාන නඩුවේ සාක්ෂි විමසීම නවතී

    0
    72

    Tony K Athukoorala-Minuwangoda

    දොම්පේ, මල්වාන, මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට එරෙහි නඩුවේ මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදු නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද (මාර්තු 25) ගම්පහ මහාධිකරණයට දැනුම් දුන්නේ ය.

    නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා මේ බව දැනුම් දුන් අතර එහිදී ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, පැමිණිල්ල විසින් කැඳවන ලද පළවන සාක්ෂිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් කර නොමැති බව ත් ලබා දී ඇති ප්‍රකාශයේ අත්සන පිළිගත නොහැකි බව ත් සාක්ෂි දෙමින් පවසා සිටින හෙයින් අදාළ නඩුවේ මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදු නොකරන බව ය.

    මෙම නඩුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේ ගම්පහ මහාධිකරණයේදී අද විභාගයට ගනු ලැබීය. 

    බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා ද එහිදී මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.

    එමෙන් ම, සාක්ෂිකරුවන් හත්දෙනෙක් මහාධිකරණය මගින් නිකුත් කරන ලද සිතාසිවලට අදාළව මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.

    රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා සහ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ශනිල් කුලරත්න යන මහමහත්වරුන්ගේ  පැමිණිල්ල මෙහෙයවීම මත මෙම නඩුවේ පළවන සාක්ෂිකරු වූ උපුල් කුමාර රාමවික්‍රම පළමුවෙන් ම සාක්ෂි ලබා දෙමින් මෙසේ පැවසී ය.

    “මල්වානේ ඉඩමේ නිවස හදපු බව මා පිළිගන්නවා. ගොඩනැගිලි ඉදිකිරීමට අදාළ තොරතුරු මා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබා දුන්නා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මෙම නඩුවට අදාළව මා පැමිණිල්ලක් කළේ නෑ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මගෙන්  ප්‍රකාශයක් ලබා ගත්තා මාව එක්කගෙන ගිහින්. ගේ හැදුවේ මම ද කියලා ඇහුවා. මම ඔව් කිව්වා. එම ඉදි කිරීමට අදාළව මට මිලියන 30ක් මුදිත ජයකොඩිගෙන් ලබා ගැනීමට නියමිතව තියෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කිව්වා මට ඒ මුදල් ආපසු අරන් දෙන්නම් කියා. ඊට අදාළව මගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. මෙම නඩුවට අදාළව මම එෆ්.සී.අයි.ඩී. එකට පැමිණිල්ලක් කළේ නැහැ.

    (සාක්ෂිකරු ලබා දුන් ප්‍රකාශය පෙන්වයි…)

    මෙපමණ දිග ප්‍රකාශයකට අත්සන් කළේ නෑ. මා විසින් ලබා දුන්නේ කෙටි ප්‍රකාශයක්. එම ප්‍රකාශය මොනවා තිබුණා ද මම දන්නෙ ත් නැහැ,  මට එය කියවන්න දුන්නේ නැහැ. මගෙන් අත්සන් ගත්තා. මෙම ප්‍රකාශයේ තිබෙන අත්සන මා පිළිගන්නේ නැහැ.”

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සාක්ෂිකරු මෙම නඩුවට අදාළව පැමිණිල්ලක් සිදුකර නොමැති බව ත් ලබා දී ඇති ප්‍රකාශයේ අත්සන පිළිනොගන්නා බව ත් පවසා සිටින හෙයින් මින් ඉදිරියේදී මෙම නඩුවට අදාළව සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන බව ත් පැමිණිල්ලේ නඩුව අවසන් කරන බව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මහාධිකරණය හමුවේ පැවසීය.

    ඉන් අනතුරුව සිතාසි මත මහාධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂිකරුවන් මහාධිකරණය විසින් මුදා හරිනු ලැබීය.

    පැමිණිල්ල විසින් නඩුව අවසන් කරනු ලැබ ඇති හෙයින් තම සේවාදායකයින් චෝදනාවලින් නිදහස් කරන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥයෝ ඉල්ලා සිටිහ.

    එම ඉල්ලීමට අදාළ තීන්දුව මැයි මස 13 වන දාට කල් තැබිණි.

    නීතිඥ තිස්ස ගුණවර්ධන මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමග ඩී.ඒ.පී. වීරත්න, නවීන් මාරපන සහ ගාමිණී මාරපන යන ජනාධිපති නීතිඥ මහත්වරු බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නීතිඥ කණ්ඩායමක් සමග තිරුකුමාර් නඩේෂන් වෙනුවෙන් ද මහා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. 

    නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව මැයි මස 13 දිනට කල් තැබිණි.