දුම්රිය ගාස්තු උදේ වැඩි වෙයි: හවස අහෝසි වෙයි

0
40

නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියවල සහ දුර ගමන් විශේෂ දුම්රියන්වල කලින් ආසන වෙන් කිරීමේදී අය කළ ගාස්තුව සියයට හැටකින් ඉහළ දමා ඇතැයි දුම්රිය බලධාරීහු ඊයේ (මාර්තු 24) පෙරවරුවේ නිවේදනය කළ නමුත් ඊට පැය කිහිපයකට පසු ප්‍රවාහන ඇමතිවරයා එම ගාස්තු ඉහළ දැමීම වහා ම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළේ ය.

දුම්රිය ගාස්තු ඉහළ දැමීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බැවින් එසේ සාකච්ඡා අතරතුර ගාස්තු ඉහළ දැමීමට කිසිසේත් ම ඉඩ ලබා දිය නොහැකි යැයි ඇමතිවරයා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

දුම්රිය ප්‍රවේශ පත්‍ර සියයට පනහ ත් හැට ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබූ අතර එයට දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෘත්තීය සමිති රැසක් සිය විරුද්ධත්වය පළ කර තිබිණි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීමට මගීන් වැඩි වශයෙන් යොමු වී තිබූ අතර එමගින් දුම්රිය දෙපාර්තමේන්තුවෙහි ආදායම ඉහළ ගොස් ඇති බව එම වෘත්තීය සමිති පෙන්වා දී තිබිණි.

එවන් අවස්ථාවක දුම්රියෙහි ගමන් කරනු ලබන මගීන්ට අවශ්‍ය පහසුකම් සලසන්නේ නැතිව ගාස්තු පමණක් වැඩි කිරීම හෙළා දැකිය යුතු යැයි ද වෘත්තීය සමිති රැසක් කියා තිබේ.

කෙසේ නමුත් ලබන සඳුදා වන විට නව දුම්රිය ගාස්තු සංශෝධනයන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඉන්ධන මිලට සාපේක්ෂව පමණක් ගාස්තුව ඉහළ දැමීමට කටයුතු කරන බවත් ප්‍රවාහන ඇමතිවරයා සඳහන් කළේ ය.