“සංචාරකයින්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි යි” – ජනපති

0
74

සංචාරකයින්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ඊට ඇති බාධා ඉවත් කර ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මගින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බව ය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (මාර්තු 24) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“වසරේ පළමු කාර්තුවේදී සංචාරකයන් 260,000කට අධික පිරිසක් පැමිණ සිටිති. එය පසුගිය වසරේ සමස්ත සංචාරකයන්ගේ පැමිණීමට වඩා ඉහළ අගයකි. වසර අවසානය වන විට සංචාරකයන් මිලියන 1.3ක ඉලක්කය සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි. සංචාරක ක්ෂේත්‍රයේ සියලු අංශ ඒ සඳහා සූදානම් කළ යුතුයි,” ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

ඩොලර් බිලියන 10ක මුදලක් වාර්ෂිකව සංචාරක කර්මාන්තයෙන් උපයා ගැනීම රජයේ ඉලක්කය වී ඇති අතර සංචාරක කර්මාන්තය බිඳ දැමීමට විවිධ ආකාරයේ සැලසුම්සහගත ප්‍රචාරණ ගෙන යමින් ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, එවැනි පසුබිමක වුව ද සංචාරකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතින බව ත් පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු බව ත් ය.

ගුවන් සමාගම් සමග සාකච්ඡා කර මෙරටට පැමිණෙන ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට පියවර ගන්නා ලෙස දජනාධිපතිවරයා එහිදී බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.