රට හදන තැන

0
56

“ඉඩම් නඩු නිසා තමයි අද වැඩියෙන්ම මරණ ඇතිවන්නේ” : එස්.එම්. චන්ද්‍රසේන

“අද උසාවිවල වැඩියෙන්ම තියෙන්නේ ඉඩම් නඩු. ඉඩම් නඩු නිසා තමයි වැඩියෙන්ම මරණ ඇතිවන්නේ” යැයි ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන පැවැසීය.

නව සංශෝධන අනුව වාරිමාර්ග පහසුකම් සහිත ඉඩම් කොටස අක්කරය දක්වා අඩු කරනවා. මේකට හේතුව ජනගහනය වැඩියි පවුල්වල සාමාජිකයෝ වැඩි වෙනවා. ඒ නිසා මේ හැමෝටම බෙදෙන විධියට තමයි සහනය ලබාදෙන්න කටයුතු කරලා තියෙන්නේ.

අහස් දියෙන් වගාකරනු ලබන ගොඩ ඉඩම් අවම ප්‍රමාණය අක්කර එකයි. ඒ වගේම තේ, රබර්, කුරුඳු වගේ වාණිජ බෝග ඉඩම් අක්කර 02යි. අවම බෙදුම ඒත් මේක අක්කරය දක්වා අඩුකරලා තියෙනවා. මධ්‍යම පන්තියේ ඉඩම් අක්කර 05 අක්කර 2 1/2 දක්වා අඩු කරලා තියෙනවා මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා.

පනත සංශෝධනය කරන්න ප්‍රධාන හේතුව වුණේ දීමනා පත්‍රකරු මියගිය පසු ඉඩම් සංවර්ධනය කළ තැනැත්තාට හෝ එසේ සංවර්ධනයක් නොමැති නම් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වැඩිමහල් දරුවාට උරුමය ලැබෙන පරිදි සංශෝධනය කරලා තියෙනවා. කලින් තිබුණු තත්ත්වය අනුව වැඩිමහල් පිරිමි දරුවාට පමණයි අයිතිය ලැබෙන්නේ. ඒ නිසා පවුල්වල විශාල ආරවුල් ඇති වුණා.

ඒ වගේම ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ දීමනා පත්‍ර ලබාදී ඇත්තේ ගොවි පන්තියේ ජනතාවටයි. එවැනි ඔප්පුවක් බැංකුවකට සහ රජයේ පිළිගත් මූල්‍ය ආයතනවලට උකස් කර තම ඉඩම් සංවර්ධනය කිරීම් සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම පහසු කරලා තියෙනවා.

වාසුදේව නානායක්කාර : “ගත් මුදල ගෙවාගන්න බැරි වුණොත් ඒ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට ඒ ඉඩමේ අයිතිය සන්තකය සින්න වෙන්නේ නැත්නම් ඒ ඉඩම පිළිබඳව දුන්නු මුදල බැංකුවට ආයෙත් අයකර ගන්න විධියක් නෑනේ”

එස්.එම්. චන්ද්‍රසේන – දීමනා පත්‍රයේ තියෙන කොන්දේසි නැති වෙන්නේ නැහැ. සින්නක්කර ඉඩම්වලට පුළුවන් ඒ විධියට කරන්න. ඉතින් ඒක ණය දෙන බැංකු සැලකිල්ලට ගන්න ඕන. ඉතිං ඒ අයිතිය අපි නැති කරලා නැහැ”

එස්.එම්. චන්ද්‍රසේන _ “පැරැණි නීතිය අනුව ඉඩම මැනීමකින් තොරව දීමනා පත්‍රයක් ලබාදීම නිසා ප්‍රමාණය සහ මායිම් නිවැරැදි නොවීම මත ඉඩම් ආරවුල් බහුල වුණා. නමුත් අලුත් සංශෝධනත් එක්ක මැනුම් පොතකින් මැනුමක් සහිත දීමනා පත්‍රයක් නිකුත් කිරීමටත් ආරවුල් තත්ත්වයක් අවම කරන්න බලාපොරොත්තු වෙනවා.”

වංචා සහගතව දීමනා පත්‍ර අවලංගු කිරීම තුළින් එවැනි දීමනා පත්‍ර නිකුත් කිරීමේ ඉඩකඩ අහුරා තිබෙනවා”

ගෙවිඳු කුමාරතුංග – “පාර්ලිමේන්තුවට සම්මත කළ පනතේ තියෙනවා ඉඩම් කොටස බලපත්‍රලාභී වාණිජ බැංකුවක්, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, ලංකා සංවර්ධන මුදල් බැංකුව, ශ්‍රී  ලංකා ජාතික සංවර්ධන බැංකුව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආදී වශයෙන් ඒ උකස් තියන්න ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය අවශ්‍ය වන්නේ නැහැ කියලා. එතකොට ඔබතුමා කියන විදියට උකස් තියලා මුදලක් ලබාගෙන යම් හෙයකින් ඒ ගොවි මහතකුට මුදල ගෙවන්න බැරි වුණොත් ඒක බැංකුව සතු වෙන්නේ නැතිද?

එස්.එම්. චන්ද්‍රසේන _ “ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය ගන්නේ ඉඩමේ අනන්‍යතාව ඔප්පු කරන්න”

හෙක්ටර් අප්පුහාමි _ “දැන් මේ රටේ දුප්පත් අහිංසක මිනිස්සු ජීවත් වෙලා ඉන්න පුංචි ඉඩම් එක එක ඔප්පු වර්ගවලින් දීලා තිබුණා ඒ අයට ප්‍රශ්න තිබුණා. ඒ අය විකුණුවේ නැහැ. දැන් මේ ක්‍රමයේදී උකස් තියන්න දුන්නා වගේම මේ අයට යම් කෙනකුට අන්සතු කරන්න අවස්ථාවක් මෙයින් ලැබුණොත් ඒක රටේ ලොකු විනාශයක්”

ගයන්ත කරුණාතිලක _ “ප්‍රාදේශීය ලේකම්ගේ අවසරයකින් තොරව උකස් තියන්න මේ සංශෝධනයෙන් ඉඩ ලැබෙනවා. එතකොට යම්කිසි කෙනෙක්ට පුළුවන් හිතාමතාම ණය ගෙවන්නේ නැතිව පැහැර හැරලා ඒ ඉඩම විකිණීමට අවස්ථාවක් සලසලා දෙන්න. අන්න ඒක තමයි අපි අහන්නේ.”

එස්.එම්. චන්ද්‍රසේන _ දැන් මෙතන අපි බලාපොරොත්තු වුණේ තියෙන රස්තියාදුව අඩු කරන්න විතරයි. එහෙම නැතිව ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අවශ්‍ය වන්නේ මේ අනන්‍යතාව තහවුරු කරන්න විතරයි. ඉතින් අනන්‍යතාව තහවුරු කරන්න අපි කියන්නේ මේකට ස්ථීරවම මැනුමකින් ඒ බලපත්‍රයේ ඔප්පුව ලබාදෙනවා.

“ආණ්ඩුව අද මේ රටේ ඉඩම් වෙන්දේසිකරුවෙක් බවට පත්වෙලා” : හර්ෂණ රාජකරුණා

“ආණ්ඩුව අද මේ රටේ ඉඩම් වෙන්දේසිකරුවෙක් බවට පත්වෙලා” යැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රි හර්ෂණ රාජකරුණා පැවැසීය.

දැන් තිබෙන තත්ත්වයත් එක්ක බලනකොට ආණ්ඩුවෙන් රට බේරා ගන්න වෙන තත්ත්වයක් තමයි ඇති වෙලා තිබෙන්නේ. ආණ්ඩුව අද මේ රටේ ඉඩම් වෙන්දේසිකරුවෙක් බවට පත්වෙලා. මේ රටේ ඉතා වටිනා ඉඩම් ගණනාවක් වෙන්දේසි කරන්න කටයුතු කරලා තිබෙනවා. 

අපේ රටේ නැඟෙනහිර ඉඩම් ටික ඉන්දියාවට ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. මුදල් ඇමැතිවරයත් ඉන්දියාවට ගිහිල්ලා තිබෙනවා. මොන කොන්දේසිවලට මොන එකඟතාවලටද දන්නෙ නෑ ඩොලර් බිලියනයක් ලබාදෙන්නේ.

චීනයෙන් ඩොලර් බිලියන දෙකහමාරක් ලබාදෙනවා කියලත් තිබෙනවා. ඒ රටටත් ඉතාම වටිනා ඉඩම් ලබා දෙන්න එකඟතාවලට ඇවිල්ලා තිබෙනවා. ඇමෙරිකාවටත් අපේ රටේ බලශක්තියට පවා අවශ්‍ය ඉඩම් දෙන්න එකඟ වෙලා තිබෙනවා.

ආණ්ඩු පත්වෙන්නේ අවුරුදු හතරකට පහකට තාවකාලික විධියට. හැබැයි තමුන්නාන්සේලා මේ ඉඩම් ලබා දෙන්නේ මතු පරම්පරාවට හිමි විය යුතු ඉඩමුත් වෙනත් රටවලට වෙන්දේසි කරනවා. 

“සර්ව පාක්ෂික සමුළුවට ගිහින් පුළුවන් නම් අර කියපු රටවල් 03න් තෙල් ගෙනත් පෙන්නන්න” : ඇමැති ජොන්ස්ටන්

“තමන් යටතේ ආණ්ඩුවක් එන බව පවසා සජිත් ප්‍රේමදාස චූටි ආතල් එකක් ගත්තට කමක් නැතැ”යි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

තමන්ට කිසිදු බලයක් නැතුව සජිත් ප්‍රේමදාස මහතා government to government යනුවෙන් පවසමින් විවිධ අභියෝග කරන අතර එය හාස්‍යජනක බවත් විශේෂයෙන්ම විපක්ෂ නායකවරයා මුලින්ම ජනතාවගේ ගෞරවය ලබා ගැනීමට නම් ඔහු කියන පරිදි රටවල් තුනකින් මේ රටට තෙල් හා ගෑස් ගෙන්වා ගෝඨාභයට වඩා සජිත් දක්ෂ පුද්ගලයෙක් යැයි පෙන්වන ලෙසත් එවිට ජනතාවගේ ගෞරවය ඉබේ ලැබෙනු ඇති බවටත් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අභියෝග කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වරින් වර නැඟූ ප්‍රශ්න කිහිපයකදී ඇතිවූ උණුසුම් සංවාදයේදීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – “ඩෝනියර් යානා ගේන්න හදනවා. ඒ වෙනුවට ඇයි මේ රටට තෙල්, ගෑස් ගෙනල්ලා ප්‍රශ්නය විසඳන්න බැරි. අපේ රට අද වෙන්දේසිලන්තයක් කරලා. භූ දේශපාලන අරගලයෙ ක්ෂේම භූමියක් වෙලා. ඉඩම් සම්පත්, සමුද්‍රය, අහස, දේපළ විතරක් නෙමේ රටේ ජනතාවත් වෙන්දේසි කරන තැනකට පත්වෙලා තිබෙන්නේ.”

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු -“එතුමාට කියනවා 27(2) යටතේ මේ ප්‍රශ්න අහන්න කියලා. එතුමා ඉන්න ඕනේ. අපේ ආණ්ඩුවක් යටතේ හරි එතුමා මේ විදිහට රැකිලා ඉන්න ඕනේ. අනෙක් අයත් එකට ගෙන්නාගන්න. අර උස කෙනා හැර. මෙතුමා තෙල්වල හොරකමක් වෙන්න යන බව කිව්වා. රටවල් තුනකින් ගෑස්, තෙල් ගෙන්නන්න පුළුවන්ලු. සර්ව පාක්ෂික සමුළුවට ගිහින් ඔය රටවල් තුනෙන් තෙල් ගෙනැවිත් ඔබතුමාගේ ජයග්‍රහණය පෙන්වන්නකො. ජනතාව ඉතා ගෞරවයෙන් කතා කරයි. මම බොහොම සද්භාවයෙන් මේවා කියන්නේ. බලය නැති කාලය හරි කරනවා නම් ඒක ජනතාවගේ ගෞරවයට ලක් වේවි. පෙර ජේ.ආර්. ජයවර්ධන මහතාට බණ්ඩාරනායක මැතිනියට උදවු කළේ. ඒවගේම කියයි ප්‍රේමදාස නියම දක්ෂයෙක් කියලා. මොකද ඔබතුමාට කවදා බලයට එන්න ලැබෙයිද කියලා කවුරුත් දන්නෙ නැහැනෙ. ඊට පස්සෙ කියයි ගෝඨාට බැරි දේ සජිත් කරා කියලා.”

සජිත් ප්‍රේමදාස – “මේ සභාවේ මයික්‍රෆෝන හසුරුවන නිලධාරීන්ට මොකක්ද ලෙඩක් තියෙනවා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කතා කරනකොට මයික් එක ඔන් වෙනවා. මගේ කතාවෙදි මයික් එක ඕෆ් වෙනවා. ඔබතුමා ඔය කියන ඒවා පෝලිමේ ඉන්න ජනතාවට ගිහිල්ලා පුළුවන්නම් කියන්නකො.”

ජොන්ස්ටන් ප්‍රනාන්දු -මේ මයික්‍රෆෝන හසුරුවන්න විදිහවත් මෙතුමා දන්නේ නැහැ. නිලධාරීන් බයවෙන්න එපා. නිලධාරීන් කරන්නේ සාධාරණ රාජකාරිය. මට ඔය පෝලිම්වලට යන එක ප්‍රශ්නයක් නෑ. මම ගාල්ලේත් ගිහිල්ලා ආවෙ. government to government ගැන කියනවා. ඊට කලින් රජයක් ගන්න.”