දුම්රිය ගාස්තු ත් නොකියා ම වැඩි කරලා

0
32

උඩරට දුම්රිය මාර්ගයේ හා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රියවල ‘වෙන් කළ ආසන ගාස්තු’ ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඊයේ (මාර්තු 23) මධ්‍යම රාත්‍රියේ සිට එම සංශෝධිත මිල ගණන් ක්‍රියාත්මක වන බව ය.

මීට අමතරව ඇල්ල දුම්රිය ස්ථානය ද ගාස්තු සලකන කොට්ඨාසයක් ලෙස සලකා කටයුතු කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් දැනුම්දී තිබේ.

මේ සම්බන්ධයෙන් mawbima.lk වෙබ් අඩවිය දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතාගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඔහු සඳහන් කළේ, අදාළ සංශෝධිත ගාස්තු සම්බන්ධ ලේඛන මේ වන විට සැකසෙමින් පවතින අතර ඉදිරියේදී නිකුත් කරන බව ය.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පූර්ව දැනුවත් කිරීමකින් තොරව ඊයේ (මාර්තු 23) දින මෙම මිල සංශෝධනය සිදු කරනු ලැබ ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරයි.

ඔවුන් සඳහන් කළේ, අදාළ ප්‍රවේශපත් නිකුත් කරනු ලබන දුම්රිය ස්ථාන වෙත දුම්රිය දෙපාර්තමේන්තුව මින් පෙර කිසිදු අවස්ථාවක ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කර නොමැති බව ය.