චීනයේ Boeing 737 ගුවන් අනතුරෙන් මිය ගිය මගීන්ගේ මළ සිරුරු කොටස් සොයා ගැනේ

0
127

පසුගිය දා කඩා වැටුණු චයිනා ඊස්ටර්න් ගුවන් සමාගමට අයත් Boeing 737 මාදිලියේ ගුවන් යානයේ ගමන් කළ ගුවන් මගීන්ගේ මළ සිරුරුවල කොටස් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, එම ගුවන් අනතුරින් විපතට පත් වූවන්ගේ සංඛ්‍යාව බලධාරීන් තවම ත් ප්‍රකාශයට පත් කර නොමැති බව ය.

කෙසේ නමුත් ගුවන් යානයේ මගීන් 132 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ගෙන් කිසිවෙකු දිවි ගලවා ගෙන ඇති බව ට කිසිදු සලකුණක් මෙතෙක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගුවන් යානා අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර ගුවන් යානයේ දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය පරීක්ෂා කළහොත් යම් හෝඩුවාවක් ලැබෙනු ඇතැයි එරට බලධාරීහු පවසති.

කළු පෙට්ටිය නොහොත් දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය, ගවේෂණ කණ්ඩායම් විසින් දැඩි පරිශ්‍රමයකින් ඊයේ (මාර්තු 24) සොයාගෙන ඇති අතර එයට පිටතින් හානී සිදු වී ඇති බවට බලධාරින් ප්‍රකාශ කර ඇත.

බලධාරීන් වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, එහි ඇතුළත ඇති දත්තවලට හානී සිදු වී නොමැති බව ත් එම දත්ත විශ්ලේෂණය කිරීම සඳහා එය බීජිං නුවරට යවා ඇති බව ත් ය.