කළුතරදී රුසියානු යුවළකගේ ඩොලර් දහස් ගණනක් කොල්ල කාලා

0
34

Sumith Ranawaka-Pothupitiya

රුසියානු යුවළකට අයත් අමෙරිකානු ඩොලර් 4000 කට ආසන්න මුදලක් සහිත ගමන් මල්ලක් ඊයේ (23) රාත්‍රියේදී යතුරු පැදිකරුවෙකු සොරාගෙන පළා ගිය පුවතක් කළුතර පලාතොට ප්‍රදේශයෙන් වාර්තා වේ.

අප වාර්තාකරු සඳහන් කළේ, මෙම කොල්ලය සම්බන්ධයෙන් අදාළ රුසියානු යුවළ ඊයේ රාත්‍රියේ පොලිසියට පැමිණිලි කර ඇති බව ය.

එම යුවළ කළුතර පලාතොට මාර්ගයේ ගමන් කරමින් සිටියදී අදාළ යතුරු පැදිකරු ඔවුන්ට හස්ත සංඥාවකින් ආචාර කර ඇති අතර පෙරළා ඔවුන් ඔහුට ආචාර කිරීමට යාමේදී ගමන් මල්ල කොල්ල කා පලා ගිය බවට විදෙස් කත සඳහන් කර ඇති බව පොලිසිය පැවසීය.

ඒ අනුව, පොලිස් කණ්ඩායමක් ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කර ඇති අතර අදාළ යතුරු පැදියේ අංකය අනුව ගොස් කළුතර, කිතුලාව ප්‍රදේශයේ සැඟව සිටියදී සැකකරු ඊයේ රාත්‍රියේදී ම අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔහු සන්තකයේ තිබූ විදේශ ගමන් බලපත්‍ර 2 ක්, ජාත්‍යන්තර ගුවන් ගමන් බලපත්‍ර 2 ක්, රුසියානු රියදුරු බලපත්‍ර 2 ක්, ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර 2 ක්, ඇපල් වර්ගයේ ජංගම දුරකතන‍යක්, මාස්ටර් ATM කාඩ්පත් 4ක්, අමෙරිකානු ඩොලර් 4000 කට ආසන්න මුදලක් සහ ශ්‍රී ලංකා රුපියල් හාර දහසකට ආසන්න මුදලක් ඇතුළත් ගමන් මල්ල සොයාගෙන ඇති බව අප වාර්තාකරු වැඩිදුරට ත් පැවසීය.