“කබ්රාල් පාර්ලිමේන්තුවට වඩා ලොකු ද?” – හර්ෂ ද සිල්වා‌ගේ සංවේදී කතාව

0
48

මෙරට මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ අනෙකුත් සාමාජිකයින් ඇතුළු මුදල් මණ්ඩලයට පාර්ලිමේන්තුවට පැමිණීමට කරන ලද දැනුම්දීමක් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (මාර්තු 24) පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් කළේ ය.

එහිදී ඔහු සඳහන් කළේ, සිකුරාදා දින පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මෙලෙස මුදල් කාරක සභාවේ සභාපතිවරයා දැනුම්දී තිබියදී එදිනට සහභාගී නොවන බවට මහ බැංකු අධිපතිවරයා ෆැක්ස් පණිවිඩයක් එවා ඇති බව ය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, මෙරට ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව රාජය මූල්‍යය පිළිබඳව සම්පූර්ණයෙන් පාලනය වන්නේ පාර්ලිමේන්තුවට වන අතර ඒ අනුව එම බලය නොසලකා මුදල් කාරක සභාවට නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිස නොපැමිණීම පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් ම “හෑල්ලුවකට ලක්කිරීමක්” බව ය.

ඔහු සඳහන් කළේ, තැන් තැන්වල සමුළු පවත්වා රට තුළ පවතින ගැටලුකාරී තත්ත්වය විසඳිය නොහැකි අතර ඒවා විසඳිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව ය.

එමෙන් ම නීති සම්පාදනය කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බව ද ඔහු අවධාරණය කළේ ය.

ජනාධිපති මන්දිරයේදී පවත්වන සමුළුවලට කිසිදු නෛතික වගකීමක් නොමැති අතර සර්ව පාක්ෂික සමුළුව යනු “කතා පෙට්ටියක් පමණක්” වන බව ඔහු සඳහන් කළේ ය.

එබැවින් මහබැංකු අධිපතිවරයා ඇතුළු පිරිස පාර්ලිමේන්තුවේ නොසලකා මෙලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් සොයාබලා ඔවුන්ව කැඳවීමට අදාළ කටයුතු සිදු කරන ලෙස ඔහු එම අවස්ථාවේදී මුලාසනය හෙබවූ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

“මුදල් කාරක සභාවට නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිස නොපැමිණීමෙන් මේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් ම හෑල්ලුවට ලක්කරලා තියෙනවා. එහෙම කරන්න කාටවත් අයිතියක් නෑ. මොන කෙහෙල්මලකට ද මේ පාර්ලිමේන්තුව? අපිට මේක වෙන්න ඉඩ තියන්න බෑ. 

මුදල් ඇමතිවරයා එන්නේ නෑ ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නෑ. මාස 3ක් ඇවිල්ලා නෑ. මහ බැංකුවේ අධිපතිවරයා එන්නෙත් නෑ. එහෙනම් කාටද මේවා කියන්නේ? ඒවට උත්තර දෙන්න එන්නේ නැත්නම් අපි කොහෙන් ද මේවා අහන්නේ? කාට ද මේවා කියන්නේ? පාර්ලිමේන්තුව මේ විදියට හෑල්ලු කරන්න පුළුවන් ද? … අපිට පක්ෂ විපක්ෂ බේදයක් නෑ. අද අපි මෙතන ඉන්න පුළුවන්. හෙට ඔබලා ඉන්න පුළුවන්. නමුත් ව්‍යවස්ථායකයට යම් කිසි බලයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තියෙනවා. මේ විදියට පාර්ලිමේන්තුව හෑල්ලු කරනවා නම් මේ ප්‍රශ්නෙට විසඳුමක් නෑ. කොන්දක් තියෙන්න ඕනෑ ප්‍රශ්නවලට උත්තර දෙන්න. මම ඔබතුමාට නැවතත් මතක් කරනවා වහා ම මේ පිළිබඳව හොයලා බලලා වහා ම තීරණයක් ගන්න වහා ම ඔවුන්ව කැඳවන්න.”

රජයේ මුදල් කාරක සභාව යනු රාජ්‍ය මූල්‍ය කලමනාකරණය පිළිබඳව පවතින ඉහළ ම ප්‍රජාතන්තුවාදී ස්ථානය වේ. 

පාර්ලිමේන්තුව තුළ මුදල් පිළිබඳව කිසිවක් සාකච්ඡා කිරීමට පෙර මුදල් කාරක සභාවේ අනුමැතිය ලබාගත යුතු ය.