“ආණ්ඩුවේ බහුතරය නැති කරනවා”: ”ආයෙ ත් රාජපක්ෂලාට කඩේ යන්නේ නෑ” – විමල්

0
28

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඇති බහුතර බලය අහිමි කිරීමට ඉතා ඉක්මනින් කටයුතු කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

යළි ත් කිසිදු රාජපක්ෂ කෙනෙකු පාලනයට ගෙන ඒමට කටයුතු නොකරන බව ද හිටපු අමාත්‍යවරයා පැවසීය.  

ඊයේ (මාර්තු 23) පැවති සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව ද අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, හිටපු අග්‍රාමාත්‍යවරයාට ආමන්ත්‍රණය කළ ආකාරයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා “උද්දච්ච මිනිහෙකු” බව යළි ත් පෙන්නුම් කළ බව ය. 

“සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝ ම එකතු වෙලා සමගියෙන් වැඩ කරන්න. හිටපු අගමැති කෙනෙකුට ඔයා කියලා කතා කරන්න තරම් උද්දච්ච මිනිහෙක් කියලා මුදල් ඇමතිවරයා ඒකෙ ත් පෙන්නුවා. ඒකෙ ත් ඔහුට ඕනේ සමගියක් නෙමෙයි. එතන ත් ඕනේ ගැටුම. ඉතින් මෙහෙම උද්දච්ච අවලස්සන අමෙරිකානුවෙක් තියාගෙන මේ රටට ඉදිරියට යන්න බෑ.

අපි ඉතා ම ඉක්මනින් මේ ආණ්ඩුවට තියෙන 113ක බහුතරේ නැති කරනවා ඔය උද්දච්ච පාලනය අවසන් කරන්න. අනේ මේ මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයෙත් පාලන තන්ත්‍රයට ගේන්න අපි නම් ජීවිතේට කඩේ යන්න බලාපොරොත්තුවක් නෑ.

අපි මේ රටට ආදරය හින්ද යි දේශපාලනය කරන්නේ. අපේ තනතුරු ගැන අපි වද නොවෙන්නේ. තනතුරු අතහරින මානසිකත්වයක් තියෙන්නේ රටට ආදරය හින්දා. මේ රට වෙනත් රටක කොලනියක් වෙන්න, මේ රටේ සම්පත් විජාතිකයින්ට බිලි දෙන්න ඉඩ දීලා බලන් ඉන්න බෑ අපිට. ඒ නිසයි අපි මේ ක්‍රියාමාර්ග ගන්නේ. 

එහෙම අවංක ක්‍රියාමාර්ග ගනිද්දි ත් කවුරු හරි ඔය වගේ ගොන් කතා කියනවා නම් ඉතින් ඒ මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ ඇයි ඔයා ඔච්චර ගොන් කියලා.”

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, අමාත්‍ය වාසුදේව නානායක්කාර, එක්සත් මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගි වී තිබේ.