VAT බදු පනතේ සංශෝධන සඳහා අනුමැතිය

0
75

එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමත වී තිබේ. 

ඒ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මාර්තු 22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී ය.

ඒ අනුව, 2022 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා වැඩි කෙරෙනු ඇත.

මීට අමතරව ඕන ම වසංගත තත්ත්වයක් හෝ මහජන හදිසි තත්ත්වයකදී රජයේ රෝහල් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙත කෙරෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග පමණක් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීම සඳහා මෙම සංශෝධන මගින් ප්‍රතිපාදන සැලසේ.

අදාළ බදු සංශෝධන පනත් කෙටුම්පත ලබන 24 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතිය.

අයවැය යෝජන ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ අංක MF/FP/32/CM/2021/212 සහ 2021 දෙසැම්බර් 14 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් බදු ප්‍රතිපත්ති යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත පිළියෙළ කර තිබේ.