සර්ව පාක්ෂික සමුළුව අද

0
16

වත්මන් ආර්ථික අර්බුදයන්ට තිරසර විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (මාර්තු 23) ‘සර්ව පාක්ෂික සමුළුව’ පැවැත්වේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන පක්ෂය ඇතුළු තව ත් සුළු පක්ෂ කිහිපයක් සහ විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය එයට සහභාගි වන බව ප්‍රකාශයට පත්කොට ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහ වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ සහ අතුරලියේ රතන හිමි සහභාගි වන බව මාධ්‍ය වෙත නිවේදනය කර තිබිණි. 

ඩොලර් සංචිත හිඟවීම හේතුවෙන් ගොඩනැගී ඇති අර්බුද විසඳීම සහ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කිරීම මෙම සර්ව පාක්ෂික සමුළුව හරහා සිදු කිරීමට යෝජනා කරන බව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ සහ විපක්ෂ දේශපාලන පක්ෂවල නියෝජිතයන් දැනුම් දී ඇත.

මෙම සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ යන විපක්ෂ දේශපාලන පක්ෂ මේ වන විට දැනුම් දී ඇති අතර ආණ්ඩුව නියෝජනය කරන හිටපු අමාත්‍යවරු වන විමල් වීරවංශ, නීතිඥ උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර නියෝජනය කරන පක්ෂ සහ ලංකා කම්කරු කොංග්‍රසය ද සමළුව වර්ජනය කරයි.

දෙමළ ජාතික ජනතා සන්ධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ද මෙම සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව දන්වා තිබේ.